Five In One (කෙටිකතාව)

හරිම ලස්සන දවසක්. අපේ නිවසට ඇතුල් වෙන පාරේ දෙපස රෝස මල් පිපිලා. පුදුම ලස්සනක්. මගේ ලියන මේසයට පෙනෙන්නේ මල්වල උඩ කොටස විතරයි. හරියට ම රතු පලසක් අතුරලා වගේ. මේ ගෙදර අපි පස් දෙනෙක් ඉන්නවා. රෙඩ්, පින්ක්, වයිට්, ග්‍රීන්, බ්ලූ. ඒ අපේ නික් නේම්ස්. රෝස මල්වලට වැඩින්ම  ආස මම නෙවේ පින්ක්. එයා තමා එයාට හිතෙන වෙලාවට ඒවාට සාත්තු කරන්නේ. වයිට්
ආසම පරිසරය එක්ක ඉන්න. ඒ වගේම ආගමික දේවල්වලට. රෙඩ් ටිකක් වසයි. ඒ වගේම හරිම ලස්සනයි එයාගේ සිතිවිලි.  බ්ලූ කැමති ම සංගීතයට. වයලීනය වාදනයට එයා හරිම දක්ෂයි. මම ග්‍රීන්. මම ටිකක් නිහඬ, දේවල් විමර්ශනය කර, ඒ වගේම නොසන්සිදෙන කුතුහලයකින් යුතු කෙනෙක්. මම ආසම ලියන්න. විශේෂම කියලා දෙයක් නැතත් ඔන්න ඔහේ මොනවා හරි. ඒත් අපි පස්දෙනා අතර නිතරම මේ ආසා දේවල් සම්බන්ධයෙන් ගැටුම් ඇතිවෙනවා. නිතරම තමන්ව මතු කරගන්න අනෙකාට ඕන වෙන නිසා. ඉතින් අනෙක් හතර දෙනාම නිදි වෙලාවේ මට නිදහසේ ලියන්න පුළුවන්. කවුරුත් මා සමඟ මේ කරන වැඩේ ගැන වාද කරන්න එන්නේ නැහැ.

අපි පස් දෙනාටම පෙම්වතුන් පස් දෙනෙක් ඉන්නවා. එයාලත් අපටම නියම විදියට ගැලපෙන හරිම ආදරණිය අය. ඒත් ඒ ගැලපීම තියෙන්නේ හරියටම අදාළ පුද්ගලයා එක්කදී විතරයි. අපි ඇතුළතින් වෙනස් වුණාට පිටතින් හරිම සමානයි. කාටවත් හොයාගන්න බැහැ. ඉතින් පොඩි පොඩි පටලැවිලි සිද්ධ වෙනවා. පින්ක්ගේ පෙම්වතා මා සමඟ සවස්වරුව ගත කිරීම වගේ ඒවා. ඉතින් බොහෝවිට ඒවා ඉවරවෙන්නේ ලොකු රණ්ඩුවක් එක්ක. මොකද ප්‍රධානම හේතුව නොගැලපීම. ඒ විතරක් නෙවේ සුළු මොහොතකින් ඔහු තේරුම් ගන්නවා මේ ඉන්නේ වෙන කෙනෙක් බව. ඉතින් ඔහු දන්නේ නැති නිසා අප පස්දෙනෙක් ඉන්න බව, ඔහු සැක කරන්නට ගන්නවා. චෝදනා කරනවා. අන්තිමට ටික දවසකට නරක අවසානයකින් කෙලවර වෙනවා. ඒ නිසා අප පස්දෙනාම මේ ගැන දන්නා නිසා ඉතාමත්ම පරිස්සමින් ආදරය සම්බන්ධ කටයුතුවල නියැලෙනවා.

ලියමින් සිටිද්දී  මට ටිකක් කම්මැලි හිතෙනවා. එළියට ගියොත් මට මගේ ආදරවන්තයා හමුවෙන්න පුලුවන් කියලා මම දන්නවා. අනෙක් හතර දෙනාම හොඳටම නිදි. මේ තමා සුදුසුම වෙලාව. මම හෙමින් සැරේ දොර වහගෙන පාරට බැස්සා. මම ඇඳගෙන හිටියේ කොළපාට අත් දිග ටී එකක්. මගේ පෙම්වතා ඒකට හරිම ආසයි. මග දෙපස හරිම නිසංසලයි. පුංචි බලු පැටියෙක් මගේ තනිවට වගේ මගේ පසෙකින් ඇවිදගෙන ආවා. මග දෙපස පේළියට සමාන උසකින් තියෙන ගස්වල දලු විතරක් නළවන සිනිඳු සුළඟක් හමා ගියා. ඒ එක්කම එය තරමක් වැඩි වේගයකින් ,ඊට පසු ඊටත් ටිකක් වැඩි වේගයකින් හමා ආවා .ඒ වෙලාවේම මගේ පෙම්වතා පාරේ එහා පැත්තේ ඉඳලා මට අත වැනුවා. ඔව් මේ හොඳම වෙලාව ඔහුව හමුවෙන්න. අනෙක් හතරදෙනාම නිදි වෙලාව. ඔහුව සතුටු කරන්නට, ඔහු සමඟ සතුටුවෙන්නට, ඒ වගේම මාව සතුටෙන් තබන්නට සුදුසුම වෙලාව. මම හරිම සතුටකින් සහ උද්‍යෝගයකින් පාර පනින්නට හදනවත් එක්කම පින්ක්ගේ පෙම්වතාගේ වාහනය ගෑවී නොගෑවී මා අසල නතර වුණා. මට මතක් වුණා ඔහු අද උදේ පින්ක්ට කතා කළ බවත් අද හමුවිය නොහැකි බව පින්ක් පැවසූ බවත්. ඔහු මා පින්ක් ලෙස සිතා වාහනයෙන් බැස මා අසලට ආවා. තරමක නොසන්සුන් ව්‍යාකුල පෙනුමක් ඔහු වෙත තිබුණේ. මට තේරුණා මම ඔහුව රැවටූ බව ඔහු සිතමින් සිටින බව. ඒත් මේ මම. මම ග්‍රීන්. බාහිරින් වෙනසක් නැතත් අපි ඇතුළෙන් වෙනස්. ඒ සමඟම මගේ පෙම්වතා පාර පැන අප අසලට ආව . යුද්ධය ඇරඹුණා පාර මැද්දෙම. මම කිව්වා මම ග්‍රීන් බවත්, පින්ක් ගෙදර නිදාගෙන සිටින බවත්. ඒත් ඔවුන් එය තේරුම් ගත්තේ නැහැ. අද දවස ආරම්භයේම මා සිතුවා අද ලස්සන දවසක් බව ……….ඒත් පින්ක් ගේ පෙම්වතා සියල්ල විනාශ කළා. ඔහු චෝදනා කළා මා ඔහුව රැවටු බව. පසුව මගේ පෙම්වතාත් ඔහු සමඟ එකඟ වුණා. සෙනග පිරුණා. මා කළ හැකි කිසිවක් නොදැන බිම බලාගෙන සිටියා. එයත් ඔවුන්ගේ වෛරයට පාත්‍ර වුණා. “කොල්ලෝ බර ගානක් රවටලා ඉන්න හැටි නිකන් බිම බලාගෙන තොත්ත බබා වගේ…………” දෙදෙනාම චෝදනා කළා. එහෙත් මා දන්නවා මා කිසිවෙකුත් නොරැවටු බවත් ,සැම විටම ඔහුව ඉතාමත්ම සතුටින් තබන්නට මා නිතරම උත්සාහ කළ බවත්, ඒ තරමටම ඔහු සතුටින් සිටි බවත්. අනෙක මම ග්‍රීන්. ඇයි පින්ක්ගේ පෙම්වතාවත් මගේ පෙම්වතාවත් එය තේරුම් නොගන්නේ ………..?

පසු සටහන
ප්‍රවෘත්ති සිරස්තල
එකම කාන්තාව පෙම්වතුන් පස් දෙනෙක් එකවර ඇසුරු කරයි! හොරේ මාට්ටු!! පෙම්වතුන් දෙදෙනෙක් එකවර පැමිණිලා මානසික රෝගී තත්වයෙන් පෙලෙන කාන්තාවක් නිසා කළබලයක්. එක එක මූඩ් එකට වෙන වෙනම පෙම්වතුන් ඇසුරු කළ කාන්තාවක් මානසික රෝහලට….

මට හොඳටම හිනා මේවට. ඒ මිනිස්සු කිව්වට මම එක්කෙනෙක් කියලා අපි ඇත්තටම පස් දෙනෙක්. සමහර වෙලාවට ඊටත් වැඩි ඇති. ඒ වුණාට පැහැදිලිවම පස් දෙනෙක් ඉන්නවා කියලා මම අඳුනගෙන තියෙන්නේ……. එයාලට පෙන්නේ නැත්තේ ඇයි කියලයි මට හිතාගන්න බැරි .තවම කිසිම කෙනෙක් පිළිගන්නේ නැහැ. අඩුගානේ මේ වෛද්‍යවරුවත්. එයාල හැමදාම කියන්නේ ඔයා එක්කෙනෙක් කියලා ඔයාට හිතෙන දවසට ඔන්න  බය නැතිව ගෙදර යන්න පුළුවන් කියලයි. එතකන් මෙහෙ ඉන්න වෙනවා කියලා.

අනේ මන්දා ……..!


චම්මි ඉරේෂා ජසෙන්තු

Leave a Comment