ඇය සූරිය මලකි (ඩොරින් වික්‍රමසිංහගේ කතාව) 11 කොටස

ශ්‍රීලංකාවේ  කාන්තාවන්ට සම අයිතීන් දිනාගැනීම සදහා  සටන් වැදුණු එක්සත් කාන්තා පෙරමුණ  විසුරුවා හැරීමට සිදුවූ බව  අප පසුගිය කොටසින් ඔබට පැහැදිලි කලෙමු.

කාන්තා පෙරමුණ විසුරුවා හැරීමට සිදුවීම පිළිබදව ඩොරින් ඇතුලු කාන්තා නායිකාවන්ගේ  සිත් තුළ වූයේ කණගාටුවකි. එම සිදුවීමෙන් පසු ඩොරින් නැවතත් තමා වඩාත්ම ප්‍ර‍ගුණ කළ අධ්‍යාපන ක්ෂේත්‍රය වෙත නැවත යොමු වූවා ය. 50 දශකයේ මුලදී ඇය ඇගේ මිතුරු ගුරුවරියන් වූ  සීතා වික්‍ර‍මසූරිය, ශිරානි ගමගේ සහ එවක සුජාතා විද්‍යාලයේ ඇගේ ශිෂ්‍යාවක් වූ  කුසුමා අබේවික්‍ර‍ම යන අය සමග ප්‍රාථමික පාසැල් ළමුන් සදහා පොත් පෙළක් නිර්මාණය කළා ය. මෙම පොත් ‍පෙළ නිර්මාණය කිරීමේ ප්‍ර‍ධාන පරමාර්යථ වූයේ  එකල ලංකාවේ පාසැල් ළමුන් වෙනුවෙන් පැවැති පොත පතෙහි තිබූ නීරස රලු ස්වභාවයට විකල්පයක් ගෙන ඒම යි. තනි කලුපැහැයෙන් පමණක් මුද්‍රීත රූපසටහන්වලින් යුත් මෙම පොත් දුටු පමණින්  ළමයාගේ ඉගෙනිමේ උනන්දුව සිදී ගොස් කියවීමේ හා අකුරු ඉගෙනීමේ ආශාවද පහව යනු ඇය දුටුවාය.

දිගු කාලයක් මෙරටෙහි මෙන්ම බ්‍රිතාන්‍යයෙන්ද නවීන අධ්‍යාපනය හදාරා සිටි ඩොරින් මෙම නව නිර්මාණාත්මක පොත් පෙළ නිර්මාණය කිරිමට තම මිතුරියන්ට නායකත්වය සැපයූවා ය.

වෛර්ණ පිංතූරවලින් සමන්විත වූ මෙම පොත් පෙළෙන් ඉදිරිපත්කරන ලද්දේ සතුන් පිරිසක් සිසුන් ලෙස අධ්‍යාපනය ලබන ආකාරය ඉදිරිපත් කෙරෙන සිල්වා මහතාගේ ඉස්කෝලය ගැනය.

මෙම පොත් පෙළ සාමාන්‍ය කතාකරන සිංහල භාෂාවෙන් නිර්මාණය වූ අතර වෛර්ණ පිංතූර රැසක් යොදාගනිමින් ඉතා ආකර්ෂණීය ලෙස නිමවා තිබුණි. මෙහි විචිත්‍රවත් පිංතූර ඇඳීමට එකල විශිෂ්ඨ කාටුන් ශිල්පියෙකු වූ කොලට් මහතා යොදවා ගැනීමට ඩොරින් වික්‍ර‍මසිංහ සමත් වූවාය.

කිසිදු වර්ණයක් නැති කලු සුදු පිංතූර කිහිපයකින් පමණක් සමන්විත එකල භාවිතයේ පැවැති පාසැල් පොතට වඩා මෙම නවපොත් පෙළ සිසුන්ට ඉතාමත් ආකර්ෂණීය විය. පොත දුටු පමණින් කුල්මත් වූ ළමුන් මෙම පොත් පෙළ ආශාවෙන් වැළඳ ගත්හ.

එහෙත් මෙම පොත්පෙළ එවකට පැවැති ආණ්ඩුව විසින් ප්‍ර‍තික්ෂේප කරන ලද අතර ඔවුන් ඉදිරිපත් කරන ලද තර්කය වූයේ මෙම පොතෙහි බෞද්ධ පන්සල්වල චිත්‍ර ඇළත් වී නැති බවයි. ඉන්පසු ඇය එබඳු සිත්තම් ද ඇතුළත් කර ඇයගේ පෞද්ගලික වියදමෙන් පොත මුද්‍ර‍ණය කරවා දුන් අතර මෙම පොත විමර්ශනයට ලක් කළ එකල සිටී ප්‍ර‍ධාන පෙලේ අධ්‍යපනඥයන් වන මහාචාර්ය ජී.පී මලලසේකර මහතා මෙන්ම  මහාචාර්ය  ඊ.ඩබ්. අධිකාරම් මහතාගේ නොමද ඇගයීමට පාත්‍ර‍විය. එහෙත් ඩොරින්ගේ දේශපාලන කටයුතු ගැන සදහන් කරමින් රජය නැවතත් මෙම පොත් පෙළ  ප්‍ර‍තිකෙෂ්ප කළේ ය. මෙලෙස රජය විසින් කරන ලද බරපතළ විරෝධය නිසාවෙන් ශ්‍රී ලංකාවේ ළමුන් වෙනුවෙන් නවීන ඉගැන්වීමේ ක්‍ර‍ම ඉදිරිපත් කිරීමට ඇයට තිබූ අනුපමය අවස්තාව මගහැරී ගියේය.

ලංකා ඉතිහාසයේ 1947 වසර විශේෂිතව  සටහන් වී ඇත්තේ සෝල්බෙරි ආණ්ක්‍ර‍මය අනුව ලංකාවේ පැවැති පළමු මහමැතිවරණය නිසාය. එමෙන්ම මෙම මහමැතිවරණය ලංකාවේ වමේ පක්ෂවලටද  වැදගත් වූයේ නිදහසින් පසු ලංකාවේ පැවැති  පළමු මහමැතිවරණයෙන් සැලකිය යුතු ජයග්‍ර‍ණයක් අත්කරගැනිමට වාමාංශික පක්ෂවලට හැකියාවක් ලැබීම නිසා ය.

එකල ආසන 95කින් සමන්විතවූ පාර්ලිමේන්තුව සඳහා පැවැති මෙම මැතිවරණයෙන් දක්ෂිණාංශික පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයට හිමිවූ ආසන ගනන 42කි. ලංකා සමසමාජ පක්ෂය ඇතුළු වාමාංශික තක්ෂවලට දිනාගැනීමට හැකිවූ ආසන සංඛ්‍යාව 20 ක් විය. ස්වාධීන මන්ත්‍රීවරුන් ගනන 26කි. මෙම පළමු පාර්ලිමේන්තුවේම ආණ්ඩු බලය ලබා ගැනිමට වමට හැකියාව තිබුණ ද එම කටයුත්ත සදහා ශ්‍රී නිශ්ශංක මහතාගේ ප්‍රධානත්වයෙන් ස්වාධින ම‍න්ත්‍රීවරුන් සමග කරන ලද යමුනා සාකච්ඡාව අසාර්ථක කිරීමට සමසමාජ මන්ත්‍රීවරුන් ක්‍රියා කිරීම නිසා ආණ්ඩු බලය වමට අහිමිවූ බව පෙනේ.

එමෙන්ම 1952 වසරේදී පැවැති දෙවැනි මහමැතිවරණය ද ලංකා මැතිවරණ ඉතිහාසයේ යම් යම් සුවිශේෂතා සටහන් කළ මැතිවරණයක්  විය. මෙම මැතිවරණයේදී ලංකා කොමියුනිස්ට් පක්ෂය ආසන වැඩිප්‍ර‍මාණයක් සඳහා තරග කල අතර ඩොරින් වික්‍ර‍මසිංහද මාතර අකුරැස්ස ආසනය සදහා කොමියුනිස්ට් පකෂය නියෝජනය කරමින් තරග කළාය. වික්‍රමසිංහ සිය අසුන වූ අකුරැස්ස අසුන ඇයට ඉඩදී යාබද අසුන වූ හක්මණ ආසනයට තරග කළේය.

ඩොරින් වික්‍ර‍මසිංහට තරග කිරීමට සිදුවූයේ එක්සත් ජාතික පක්ෂයේ බලකණුවක් මෙන්ම ප්‍ර‍ධාන පෙළේ ඉඩම් හිමි වැවිලිකරුවකු වූ සරත් විජේසිංහ  සමගය. මෙම මැතිවරණ සටන දෙස ලංකාවේ බොහෝ දෙනා විමසිල්ල‍ෙන් බලා සිටි සටනක් වූයේ පළමු වතාවට විදේශීය කාන්තාවක් ලංකාවේ මැතිවරණයක් සදහා ඉදිරිපත්ව තිබීම නිසා ය.  එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයාගේ ප්‍ර‍ධාන තර්කය වූයේ ඇය විදේශීය කාන්තාවක් වීමත් තමන් සිංහල බෞද්ධ වීමත් ය. මහා පරිමාණයෙන් මුදල් වියදම් කළ එක්සත් ජාතික පක්ෂය සිංහල බෞද්ධකම බෙහෙවින් අලෙවි කළ නමුත් ඩොරින් නොබියව සටනට අවතීර්ණ වූවාය. ඉතා රළු මංපෙත් ඔස්සේ ඇත ගම්දනව් කරා ගිය ඇය දිළිදු ජනතාව අමතා සිංහලෙන් කරුණු පැහැදිලි කරදීම ඡන්දදායකයින්ට මහත් ආශ්වාදයක් විය.

මැතිවරණ ප්‍ර‍තිඵලය  වූයේ එක්සත් ජාතික පක්ෂයේ සරත් විජේසිංහ ලබාගත් ඡන්ද ප්‍ර‍මාණය  16626ක් වෙද්දී ඩොරීන් වික්‍රමසිංහ ලබාගත් ඡන්ද ප්‍ර‍මාණය වූයේ 17627ක් වීම ය . ඒ අනුව වැඩිඡන්ද 1001කින් ජය ගත් ඇය ලංකාවේ දෙවැනි පාර්ලිමේතුවේ කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් අසුන් ගත්තාය. ඇය එකවර සුවිශේෂී වාර්තා කිහිපයක් තැබුවාය. ලංකාවේ මැතිවරණයක් සදහා තරග කල පළමු විදේශීය කන්තාව මෙන්ම ජය‍ ලැබූ පළමු කාන්තාවද විය. එලෙසම කොමියුනිස්ට් පකෂයෙන් තරග කල පළමු කාන්තාවද වූ අතර ආසියාවේද මැතිවරණයක් සදහා ඉදිරිපත් වී ජය ගත් පළමු විදේශිය කාන්තාවද වූවා ය.

සරත් රත්නායක

මතු සබැඳේ.
මුල් කොටස්වලට මෙතැනින් යන්න

ඇය සූරිය මලකි (ඩොරින් වික්‍රමසිංහගේ කතාව) 10 කොටස

Comments are closed.