වංචාව, දූෂණය හා බලය බෙදීම

මේ දිනවල අප ඇස් පනාපිටම ප්‍රත්‍යක්ෂ වන කාරණයක් නම් මුළු මහත් සමාජය වසා පැතිර සිටින දූෂණය හා වංචාවයි. මීට පෙර නොතිබුණා නොවේ. දූෂණය හා වංචාව මීට පෙර නොතිබුණා නොවේ. මානව ඉතිහාසයේ සමාරම්භයේ සිටම දූෂණය හා වංචාව පැවතිණි. බුදුන් වහන්සේට අනුව අග්ගඤ්ඤ සූත්‍රයේ වදාළ පරිදි පෞද්ගලික දේපළ අයිතිය ඇතිවීමත් සමඟ සොරකම, දූෂණය, වංචාව, මිනීමැරුම්, පැහැරගැනීම් පහළවීම සිදුවී ඇත.

මාක්ස් හා එංගල්ස්ට අනුව ද සමාජයේ පවතින බරපතළ අපරාධවලට මුල්වී ඇත්තේ පෞද්ගලික දේපළ ක්‍රමය ක්‍රියාත්මක වීම ය. මාක්ස් ප්‍රාග්ධනය හැ‍ඳින්වූයේ සොරබඩු ලෙසට ය. මූලික ඝණ ගෝත්‍රික සමාජයේ පශ්චාත් අවධියේ සිට පැවැති වහල්, වැඩවසම්, ධනපති ආදී සෑම සමාජ ආර්ථික සැකැස්මකම සොරකම, වංචාව, දූෂණය, අපචාරය ගතිලක්ෂණ ලෙස පැවතියේ ය.

ධනේශ්වර සමාජ ක්‍රමයේ පදනම සොරකම, වංචාව හා දූෂණය යි. අඩු වැඩි වශයෙන් අප සැවොම මෙකී විෂම චක්‍රයට පැටළී සිටිමු.

ඒ අනුව පූර්ණ ලෙස දූෂණය, සොරකම, වංචාව නොමැති සමාජයක් ගොඩ නැගීම බරපතළ කාර්යභාරයක් බව පැහැදිලි ය. ඇතැම් දියුණු සමාජවල සොරකම, වංචාව, දූෂණය පිටුදැකීම හෝ සීමා කිරීම සඳහා සමාජ ආර්ථික දේශපාලන සංවර්ධන ගමන් මග උපයෝගි කොට ගෙන ඇත.

බලය බෙදීම පිළිබඳ සිද්ධාන්තය මතුවී ඇත්තේ ඒ අනුව ය. පුරාණයේ ඉන්දියාවේ හා ලංකාවේ පැවැති ග්‍රමා රාජ්‍ය ක්‍රමය තුළ ගම්වලට බලය බෙදීයාම තුළත් සමූහාණ්ඩු ක්‍රමය තුළත් මේ සඳහා යම් උත්සාහයක් දරා ඇත.

එමෙන් ම ආගමික සංකල්ප තුළින් මතුකර ගන්නා ලද දේශපාලන සංකල්ප ලෙස මනුස්මෘතිය, දශරාජ ධර්මය, සතර සංග්‍රහ වස්තු වැනි සංකල්ප ද මේ ස‍ඳහා යොදා ගනු ලැබිණි.

නූතන යුගයේ බලය බෙදීම පිළිබඳ දේශපාලන අදහස කරළියට එන්නේ ප්‍රංශයේ මොන්ටෙස්ක්‍යු විසින් ඉදිරිපත් කරන ලද බලතල බෙදීමේ න්‍යාය ඇසුරෙනි.

රාජ්‍යයේ ප්‍රධානීත්වය දරත්ණ ‍ෙ රජු හෝ වෙනත් අධිපති පිරිසකගේ රාජ්‍ය බලය අසහාය, අද්විතීය, අසමාන අත්‍යුත්තම බලයක් වීම වැලැක්වීම සඳහා මොන්ටෙස්ක්‍යු යෝජනා කරන ලද්දේ රාජ්‍ය බලය ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ වශයෙන් එකිනෙකට යටත් නොවූ ආයතන තුනක් වශයෙන් පවත්වා ගත යුතු යන්න ය. එසේ  යෝජනා කිරීමට හේතුව ඒ වන විට රාජ්‍යයේ එකී කටයුතු 3ම එක් ආයතනයකට නතුකර තිබීම තුළ ගොඩනැගුණු අත්තනෝමතික, ඒකාධිපතිවාදී පරමේශ්වරත්වය තුළ ජනතාවගේ මූලික අයිතිවාසිකම් බරපතළ ලෙස අහිමි වන තත්වයක් මතුව තිබීමයි.

පසුකාලයේ ද මේ කතිකාව තවදුරටත් වැඩි දියුණු කිරීම තුළ කේන්ද්‍රෙය් බලය පරිධිය දක්වා විකේන්ද්‍රණය කිරීමේ සිට ජාතීන්ගේ ස්වයං තීරණ අයිතිය දක්වා පුළුල්කිරීම සමාජවාදී වෙන්ම ධනවාදී දේශපාලන දාර්ශනිකයන් විසින් සිදුකොට ඇත. ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1871 දී ප්‍රකාශයට පත්කරන  විට මෙම අදහස් සැලකිල්ලට ගනිමින් සන්ධීය හෙවත් ෆෙඩරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ලෙසින් ඉදිරිපත් කෙරෙයි. අප අසල ඉන්දියාව මෙන් ම ජර්මනිය, ස්විට්සර්ලන්තය මෙන් ම තවත් බොහෝ ධනපති රටවල ද මෙම අදහස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේ දී පදනම් කර තිබේ.

එක්සත් ජාතින්ගේ සංවිධානයේ මූලික ලේඛනවල ද මෙම අදහස් අඩංගු කර ඇත.

මේ අනුව ෆෙඩරල් ක්‍රමය හා ජාතීන්ගේ ස්වයංතීරණ අයිතිය මානව සමාජයේ නිදහස්කාමී ප්‍රජාතන්ත්‍රවාදී ඉදිරිගමනේ වැදගත් සංධිස්ථානයක් ලෙස සැලකේ.

මතු සම්බන්ධයි

ගුණසේන ඩයස් දහනායක

 

Comments are closed.