අර්හත් ධජයේ බලය සහ මිනිස් නිදහස

 

‘‘ධනපති පංතිය ආධිපත්‍යය ලැබූ හැම තැනෙකම සියලූ රදළවාදී පීතෘ මූලික පරමාදර්ශී (චාන් ගැමි ජීවිත) සබඳකම් විනාශ කළේය. ”ස්වාභාවික ස්වාමිවරුන්ට” මිනිසා බැඳ තිබුනු අනේකවිධ රදළවාදී බන්ධනයන් අනුකම්පා විරහිත ලෙස සිඳ බිඳ දැමූ ධනපති පංතිය මිනිහකු සහ මිනිහකු අතර නග්න ස්වාර්ථකාමය හැර, අනුකම්පා විරහිත ලෙස මුදල් ගෙවීම හැර, වෙනත් කිසිදු සබඳකමක් ඉතිරි නොකළේය. ආගමික භක්තියද ධීර – වීර උනන්දුවද අවරසිකවාදී අනුරක්තතාවයද අරභයා වූ ස්වර්ගමය ආනන්දයන් ආත්මාර්ථකාමී ගණන් බැලීම නැමැති අයිස් වතුරෙහි ගිල්වා දමන ලදී. එය පෞද්ගලික අගය හුවමාරු වටිනාකම බවට පෙරළන ලදී. එමෙන්ම සංඛ්‍යා විරහිත, උදුරාගත නොහැකි, වර සහිත නිදහස් අයිතීන් වෙනුවට හෘද සාක්ෂියට කොහොත් ම එකඟ නොවන එකම නිදහස වන වෙළඳාම් කිරීමේ නිදහස පිහිටුවාලී ය. වචනයකින් කියතොත් ආගමික සහ දේශපාලනික මායාවන්ගෙන් වාසා තිබුණු සූරාකෑම වෙනුවට එය විවෘත ලජ්ජා විරහිත සෘජු කෲර සූරාකෑම ආදේශ කළේය…’’
-කොමියුනිස්ට් ප‍්‍රකාශනය

බොහෝ දෙනා කලෙක සිට දන්නා කොමියුනිස්ට් ප‍්‍රකාශනයේ උක්ත කොටස උපුටා ගනු ලැබුවේ, ආගමික බලපෑම කෙරෙහි මෙරට මුල් බැස ගෙන ඇති අවරසිකවාදී අනුරක්තතාව නිසා සිදුවන විප‍්‍රකාර ගැන යමක් කියන්නට ය. පුරුද්දේ බලය විසින් ද දෘෂ්ටිවාදය විසින් ද වහලූන් කැර ඇති මෙරට ජනතාවගේ සමාජ, ආර්ථික, දේශපාලන සහ සංස්කෘතිය විෂයෙහි කරන ආගමික සංස්ථාවන්ගේ මැදිහත්වීමේ නොමනාකම් ගැන වචනයක් කියන්නට ය.

උක්ත කරුණ ගැන මෙරට යම් බඳු සමාජ, දේශපාලන හෝ සිවිල් බලයක් ඇති ව්‍යාපාර හෝ පුද්ගලයන් කතා-බහ කරන්නේ ඉතා ම අරපරෙස්සමින් වචන තෝරා බේරා ගෙන ය. ශ‍්‍රී ලංකාව මත බෞද්ධ භික්ෂුවගේ බලය යනු එතරම් දෙයකි.

අප දන්නා කියන ගමේ පන්සලක පොඩි හාමුදුරුවන් භික්ෂුවකට තරම් නොවන අපචාරී පැවැත්මකින් යුක්ත විය. නිතර දෙවේලේ මධුපැනින් සප්පායම්ව සිටීම සුලබ දැකුමක් විය. එක් දිනක් දහම් පාසලෙහි සිසු-සිසුවියන් පංච ශීලයෙහි සමාදන් කරමින් සිටිද්දී වෙරිමතින් ඇදගෙන ද වැටිණ. තවත් දිනක් බීමතින් පන්සලේ මෝටර් රිය පදවාගෙන යත් දී අනතුරතට ලක් විය. ගම්මුන් සියල්ල ඉවසා සිටියේ අර්හත් ධජය හෙවත් බුද්ධ චීවරය වෙත ඇති භක්තිය නිසා ය.

මිගෙට්ටුවත්තේ සුමිත්ත නමැති භික්ෂුවක් පසුගිය කාලයේ බන්ධනාගාරගත වූයේ ඒ.කේ.47 වර්ගයේ ගිනි අවි සහිතව සිටීම නිසා බව මතක ය.

බෞද්ධ අන්තවාදීත්වයක ලකුණු විදහන සංවිධානයක් වන බොදු බල සේනා සංවිධානයේ මහලේකම් යැ යි කියන ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවට බීමත් ව රිය පැදවීමේ වරදට උසාවියෙන් දඬුවම් නිය කැරිණි. උසාවියට අපහාස කිරීම, පොලිසියේ කටයුතුවලට බාධා එල්ල කිරීම වැනි චෝදනාවලට ඔහුට විරුද්ධව නඩු ගණනාවකි.

බණ්ඩාරනායක ඝාතනයට වරදකරු වූයේ වරදකරුවෙක් වූයේ තල්දූවේ සෝමාරාම නම් භික්ෂුවකි. එකල හිමිනමකට පාරක තොටක යෑමට වත් දනට-පිනට යමක් ලබා කියා ගැනීමටත් නොහැකි වී යැ යි එකල තොරතුරු දන්නෝ කියති. කෙසේ වෙතත්, දැන් මෙහි වෙසෙන බුද්ධ චීවර දරන සාතිශය බහුතරයක් විෂයෙහි නිරාගමිකයන් විෂයෙහි පමණක් නොව සල්ලහුක, අල්පේච්ඡු සැබෑ බුදු දහම අනුයන ජනයාගේ සිත්-සතන්හි පවා ඇත්තේ සාධනීය ආකල්ප නොවේ.

දැනට දශක කිහිපයකට පෙර මෙරට එකලු කළ යතිවරුන් සම කළ හැකි ධර්මධර හෝ විනයධර යතිවර ලකුණක් මේ යැ යි කියන්නට සමකාලීනව කවුරුන් හෝ වෙසෙත් ද? ලෝක සම්භාවනාවට පාත‍්‍ර වූ වල්පොළ රාහුල හිමි වැනි විශිෂ්ටයෙක්? යක්කඩුවේ ප‍්‍රඥාරාම හිමි වැනි තෙරනමක්? හික්කඩුවේ සුමංගල වැනි? අපට දැනෙන හැෙ`ගන පරිදි ශාස්ත‍්‍රීය වශයෙන් ධීර හිමිවරුන් මෙරට වර්තමානයේ ඇත්තේ නැත. දකින දකින තැන පෙර සඳහන් කළ තාලයේ අයවලූන් ය. කෝටි ගණන්වල සුඛෝපභෝගී වාහනවලින් පැමිණ හුදීජනයන්ට අත්හැරීම දෙසන භික්ෂූන් ය.

එනමුත් උහු පෙර ගුණවෘද්ධ, ඥානවෘද්ධ, තපෝවෘද්ධ තෙරවරුන්ට තිබුණු සංකේත බලය, සිවිල් බලය සහ මැදිහත්වීමේ බලය මේ සිරුරෙන් සේ ම වස්තුවෙන් මහත් වුවත් ගුණයෙන් සහ ඥානයෙන් හීන මේ භික්ෂූන් බලාපොරොත්තු වෙති. තම කුඩා මොළය නම් සපත්තුවට ගැළපෙන පරිදි විවෘත සමාජය නමැති කකුළ කපන්නට වැර-වෑයම් දරති. දරුවන් වැදීමේ සිට අජටාකාශ විද්‍යාව දක්වා සියලූ කුදු මහත් කටයුතුවලට මැදිහත් වෙති. අර්හත් ධජය, අර්හත් ධජය, අහෝ චීවරය යැ යි කියමින් අන්ධානුකාරක ජනයා ඒ මත්තේ හැපෙති. සුවහසක් ජනයාට යෑමට ඇති ප‍්‍රධාන පාරවල් කාක බෝ ගස් නිසා තවදුරටත් කුඩාවට ම ජනපීඩා සහිතව ම තිබෙන්නට හැරෙන්නේ ඒ නිසා ය.

රටෙහි බහුතරය ව්‍යවස්ථාව වෙනස් කිරීම වෙනුවෙන් ඡුන්දය පාවිච්චි කර තිබෙද්දී ව්‍යවස්ථා වෙනසක් අවශ්‍ය නැතැ යි කියමින් නිවේදන නිකුත් කරන්නට තරම් බලයක් මේ ඊනියා සංඝ සමාජය අත් කැර ගෙන තිබේ. පොදු මහජනතාව විෂයෙහි මහත් ඵල මහත් ආනිශංස ලැබෙන පියවරක් වුවත් ගන්නට තරම් කිසිදු බලධාරියෙක්ට කොන්දක් ඇත්තේ නැත. කොන්දේසි විරහිතව වරදට වරද යැ යි කියන්නට තරම් පෞර්ෂයක් ඇති නායකයෙක් බලධාරියෙක් සොයාගත නොහැකි ය.

මෑතක ම ලැබුණු ආරංචිය නම් කදුරුවෙල පැත්තේ ඥානහීන භික්ෂුවක් කළ බව කියන ඝෝෂාව යි. තමන් මැදිහත් වී පෝය දිනයට නගරයේ සියලු කඩ සාප්පු වසා දැමූ බවත් එහෙත් එකී අණට අකීකරු වී තවදුරටත් බස් නැවතුම්පලෙහි කඩ කිහිපයක් පෝය දිනයට විවෘතව තබන බවට තමන්ට දැනගන්නට ලැබී ඇති බවත් ඒවා වසා දමන ලෙසත් ගර්ජන ස්වරූපයෙන් පවසා ඇත. ජන සමාජයේ දෛනික ජීවිතයට මේ පිරිස කරන මැදිහත්වීම සුළුපටු නොවන බව උක්ත අමනෝඥ ක‍්‍රියාව ඉතා හොඳින් පැහැදිලි කරයි.

මිනිසකු සහ මිනිසකු අතර නග්න ස්වාර්ථකාමය හැරෙන්නට අන් යමක් නැති බව අප ඉපිටූ කොමියුනිස්ට් ප‍්‍රකාශනයේ කොටසෙහි එයි. ශුද්ධ වූ සියල්ල කෙළෙසී ඇති බව කවුරුත් පාහේ දනිති. ලංකාවේ හොඳම පන්නයේ මත්පැන් එකතු ඇති පන්සල් තිබෙන බව අපි දනිමු. සිවුරට යටින් පච්චා පමණක් නොව ටී. 56 පවා තිබෙන බව අපි දනිමු. සැබෑ බෞද්ධයන් කවරෙකු හෝ වෙත් නම්, මෙසමයෙහි තම සැබෑ දහම බේරාගත යුත්තේ හිමිවරුන්ගෙනි. සැබෑ බෞද්ධ සාරධර්ම අනුයන තෙරවරුන් නැති බව අප කියනු නොවේ. ඔවුන් ඇත්තේ ප‍්‍රධාන කතිකාවට බොහෝ එපිටිනි. මැද්දට පැන යකා නටන වැඩ ඔවුන් සතුව ඇත්තේ නැත.

අර්හත් ධජයේ බලය යැ යි කියමින් මිනිසුන්ට හිමිව ඇති සීමිත මිනිස් නිදහසේ කේන්ද්‍රයට කඩා පනින මේ අඥාන භික්ෂූන්ගේ බලහත්කාරීත්වයට එරෙහි සමාජ ව්‍යාපාරයක අවශ්‍යතාව අති මහත් ය. එසේ නොවන්නේ නම් සියලූ කුදු මහත් කටයුතුවලට නිර්ණායක නිමවා අවසන මෛථූනයේ යෙදිය යුතු වාර ගණන ආදිය පවා ඔවුන් තීරණය කරන යුගය නුදුරේ එළැඹෙනු ඇත.

-සඳුන් ප‍්‍රියංකර විතානගේ

Leave a Comment