ශ්‍රී ලංකාවේ බටහිර වෛද්‍යවරුන්ගේ ඉතිහාසය මෙන්න! (ii කොටස)

ලංකාවේ බටහිර වෛද්‍ය ක්‍ර‍මයේ විකාශනය පිළිබද ලිපිපෙළේ පළමු කොටසින් පෘතුගීසින්, ලන්දේසින්, ඉංග්‍රීසින්  විසින් එය ලංකාවේ ව්‍යාප්ත කළ අන්දම අප ඔබ හමුවේ තැබුවෙමු. එමෙන්ම වසූරිය වසංගතයත් සමග ලංකාවේ ස්වදේශීය වෛද්‍යය ආයතනය නමින් පිහිටුවන ලද ආයතනය පිළිබදවත් එහි අන්තර්ගතය පිළිබදවත් අප ඔබට විස්තර කළෙමු.

බ්‍රිතාන්‍ය පාලනයේ මුල් කාලයේ රෝහල්වල ආධිපත්‍යය තිබූයේ බ්‍රිතාන්‍ය යුධහමුදා වෛද්‍යවරුන් යටතේ බව අප පසුගිය ලිපියෙන් පැහැදිලි කළෙමු. ඒ අනුව හමුදා රෝහල් තුළ ඉගැන්වීම් කටයුතුද සායනික පුහුණුවද ඇරඹීමට කටයුතු කරන ලදි. මෙලෙස ලංකාවේ පළමුවෙන් ආරම්භ කරන ලද වෛද්‍ය සිසු පුහුණුව පිළිබද ඉතිහාසය පිරික්සීමේ දී එම කටයුත්තට මුල්වූ බ්‍රිතාන්‍යය ජාතික වෛද්‍යවරයෙක් පිළිබදව සනිටුහන්ව ඇත. ඔහු  නමින්  දොස්තර කේවෙට්  ය. 1835 වසරේදී තරුණ ශිෂ්‍යයන් පුහුණු කිරීම සදහා වෛද්‍ය පාසලක් ආරම්භ කළ බවත් පලමු ශිෂ්‍ය කණ්ඩායම සිසුන්  7දෙනකුගෙන් සමන්විත වූ බවත් ඉන් 05 දෙනකු ම බර්ගර් ජාතිකයන් වූ බවද සඳහන්ව ඇත.  එමෙන්ම මෙම පාසල අරඹා  වසර කිහිපයකට පසු එනම් 1839 වසරේදී බ්‍රිතන්‍ය ආණ්ඩුව විසින්  ඉන්දියාවේ කල්කටා නගරයෙහි පිහිටුවා තිබූ වෛද්‍ය විද්‍යාලයෙහි මෙරට  තරුණ වෛද්‍යවරුන් පුහුණු කිරීමට වැඩ සටහනක් ආරම්භ කෙරුණි. 1970 වසරේ කොළඹ වෛද්‍ය පාසල පිහිටුවන තෙක්ම මෙම පුහුණු වැඩසටහන පවත්වාගෙන ගිය බව පෙනෙයි.

19 වන සියවස බ්‍රිතාන්‍යයට මෙන්ම ඔවුන්ගේ යටත් විජිතවලටද සෞඛ්‍ය  අතින් ඉතා වැදගත් කාල පරාසයක්  විය. අපිරිසිදුකම, දිළිඳුකම නිසා පැතිරයන වසංගත රෝග කෙරෙහි  බ්‍රිතාන්‍ය තුළම විවිධ සමාජ බලවේගවල විවිධ මතිමතාන්තර පැතිර ගිය කාලක් විය. පුවත්පත්වල  පිරිසිදුකම හා සෞඛ්‍ය පිළිබදව  විශේෂිත ලිපි පළවන්නට විය. අධිරාජ්‍යයවාදයේ කවියා ලෙස විරුදාවලිය ලත්  “රඩ්යාඩ් කිප්ලිං”  ජනයා ශීලාචාර කිරීමේ මෙහෙවරක නිරතව සිට ලෙඩ රෝග තුරන් කිරීමට පෙරට එන ලෙස ආයාචනය කළ බව ද සඳහන් වේ. මෙම වකවානුව බ්‍රිතාන්‍යය ඉතිහාසයේ මින් පෙර නොවූ අයුරින්  පිරිසිදුකම හා සෞඛ්‍ය  හා සෞඛ්‍ය සේවය පිළිබදව විවිධ සමාජ ව්‍යාපාර බිහිවෙමින් පැවැති අවදියක් විය.

විශේෂයෙන් මෙතෙක් කල් නිවෙස්හි කල්ගෙවු බ්‍රිතාන්‍ය මධ්‍යම පාන්තික කාන්තාවන් සෞඛ්‍ය හා සමාජ ප්‍ර‍තිසංස්කරණ කටයුතු සදහා නිවෙස්වලින් බාහිරව සංවිධාන ගතවූ කාලයකි මේ. ඉතාමත් ක්‍රියාශීලිව මෙම කටයුතු වල නිරත වූ කාන්තාවන් “බෙසී රේනර් පාක්ස් ” නැමැති කාන්තාවගේ නායකත්වයෙන්  1859 වසරේදී කාන්තාවන්ගේ සනීපාරක්ෂක සංගමය නමින් සංගමයක් පිහිටුවාගත්හ. මෙම සංවිධානයේ මූලික ඉල්ලිම වූයේ ස්ත්‍රීන්ට පිරිසිදු ජලය, පිරිසිදු වාතය හා සබන් සදහා වන අවශ්‍යතාවයයි. මෙලෙස සෞඛ්‍යය හා සනීපාරක්ෂාව පිළිබදව විශාල සමාජ ව්‍යාපාරයක් ලෙස පැන නැගුණු සමාජ බලවේගය බ්‍රිතාන්‍යය පාලනය තුළ සෞඛ්‍යය කේෂ්ත්‍රයේ‍ ප්‍ර‍බල වෙනසක් ඉල්ලා සිටියහ. මෙම බලවේගයට මහරැජිනගේ සිට සියලු දේශපාලකයන් මෙන්ම නිලධාරීන් පවා පෙළගැසීමට තරම් ප්‍ර‍බල විය.

මෙම ව්‍යාපාරයන් විසින් ඉල්ලා සිටි ප්‍ර‍තිසංස්කරණ අතර පහත සදහන් ඉල්ලිම් ප්‍ර‍මුඛස්ථානයක් ගන්නා ලදී .

01. නීරෝගි ලෙස ජීවත්වීමේ ක්‍ර‍ම ජනතාව අතර දැනුවත් කිරිමේ ක්‍ර‍මවේදයක්.

02. හෙද කම වෘත්තියක් බවට පත්කිරීම.

03. වින්නඹු කාන්තාවන් පුහුණු කිරිම.

04. කාන්තාවන්ට වෛද්‍ය වෘත්තියට ඇතුළත් විමට අවස්ථාව ලබාදීම.

05. කාන්තා රෝහල් ඇති කිරීම.

මෙම ඉල්ලීම් මුල්කරගත් සමාජ බලවේගයට නායකත්වය දුන් කාන්තා නායිකාවන් අතර සිටි මේරි කාපෙන්ටර්, එළිසබෙත් ෆ්‍ර‍යි, ජොසපින් බට්ලර්, සහ ලෝරනස් නයිටින්ගේල්ස් යන කාන්තාවන්ට එකල බ්‍රිතාන්‍ය සමාජයෙහි මෙන්ම විදෙස්වල පවා විශේෂ පිළිගැනිමකට පාත්‍ර‍ විය.

මෙම ප්‍ර‍තිසංස්කරණ ව්‍යාපාරයේ තිබූ තවත් විශේෂ ලක්ෂණයක් වූයේ මෙම සෞඛ්‍ය ව්‍යාපාරය ලොව පුරා මෙන්ම විශේෂයෙන් යටත්විජිතවල ද වහා ක්‍රියාත්මක කළ යුතු යැ යි එකඟතාවයකට පැමිණ තිබීමයි.

මෙවැනි ජාත්‍යන්තර තත්වයක  යටත්විජිතයක්ව තිබූ ලංකාවේ ද  1870 ජුනි මාසයේදි ලංකාවේ ආණ්ඩුකාරයා විසින් පළමු වෛද්‍ය පාසල විවෘත කරන ලදී. ඉන් අනතුරුව 1880 වසරේදී එවකට ප්‍ර‍ධාන සිවිල් වෛද්‍ය වරයා වූ ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ නිලලත් මන්ත්‍රීවරයෙකු ලෙස සිට පසුව කොළඹ මහනගරසභාවේ මන්ත්‍රීවරයෙක්ද වූ දොස්තර ඩබ්.ආර්. කින්ස්ලිගේ නිර්දේශය අනුව මෙම වෛද්‍ය පාසල වෛද්‍ය විද්‍යාලයක් බවට උසස් කරන ලදී.

ඉතිරිය ඉදිරියට

සරත් රත්නායක

පළමු කොටසට මෙතැනින් පිවිසෙන්න.

ශ්‍රී ලංකාවේ බටහිර වෛද්‍යවරුන්ගේ ඉතිහාසය මෙන්න!

Comments are closed.