රථවාහනවලින් කෙරෙන මනුෂ්‍ය ඝාතන නවතමු!

ශ්‍රී ලංකාවේ මසකට අනතුරුවලින් මිය යන සංඛ්‍යාව ඉතා විශාල ය. ජේ.සී. අලවතුවල මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ 2017/09/21 වැනි දින ප්‍රකාශ කර තිබුණේ එම ප්‍රමාණය මසකට දෙදහසක් බව යි. එම සංඛ්‍යාව පිළිගත හැකි මට්ටමේ සැබෑ සංඛ්‍යා ලේඛනයක් දැ යි කිව හැකි නොවුණත් අතිවිශාල මරණ සංඛ්‍යාවක් රිය අනතුරුවලින් සිදුවන බව කවුරුත් දන්නා දෙයකි.

මෙම රිය අනතුරුවලින් වැඩි කොටසක් ත්‍රිරෝද රිය සහ යතුරු පැදි සම්බන්ධ අනතුරු ය. ත්‍රිරෝදය පහළ මධ්‍යම පන්තික ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරන වාහනය පමණක් නොවේ. එය ලක්ෂ ගණනකට ආර්ථික සවිය ද සපයන වාහනයකි. මෙරට මේවන විට ලියාපදිංචි ත්‍රිරෝද රථ සංඛ්‍යාව ලක්ෂ 11ක් පමණ බව කියැවේ. ත්‍රිරෝද රථ පැදවීමේ උපරිම වේග සීමාව මෙරට රථවාහන නීතිය අනුව පැයට කිලෝමීටර් 40ක් පමණකි. වේගය වැඩිකෙරෙන තරමට ම අවදානම ද වැඩිවෙන ත්‍රිරෝද රථය අනතුරුදායක වාහනයකි. දැනට ලංකාවේ පවතින වාහන මිල අනුව ත්‍රිරෝද රථය පවා රුපියල් ලක්ෂ 7කට වඩා මිලෙන් අධික ය.

මාර්ග අනතුරු බහුල වශයෙන් සිදු කරන අනෙක් වාහන වර්ග නම් බස් රථ සහ ට්‍රක් රථ යි. බස් රථ අතර සිදු කෙරන තරඟය නිසාවෙන් අහිමි කර ඇති මිනිස් ජීවිත සංඛ්‍යාව අති මහත් ය. අනෙක් අතට වැලි/පස්/ගල් ආදිය පටවාගෙන යන ප්‍රමාණයෙන් විශාල ට්‍රක් රථ විසින් කරන ලද ජීවිත හානි ද සුළු පටු නොවේ. විමසා බැලීමේ දී දැනගන්නට ඇත්තේ, මේවා ද ධාවනය කෙරෙන්නේ තරගකාරිත්වකට අනුව බව ය. එනම්, දිනකට වැඩි වාර සංඛ්‍යාවක් ප්‍රවාහනය කරමින් මුදල් උපයා ගැනීමට බව ය.

රිය අනතුරු සම්බන්ධ අනෙක් ප්‍රධාන ම කරුණ රියදුරු බලපත්‍රය ලබා ගැනීම සහ එය පවත්වාගෙන යෑමේ ක්‍රමවේදය යි. දැනගන්නට ලැබුණු පරිදි ඕස්ට්‍රේලියාව වැනි රටක නම් පූර්ණ රියදුරු බලපත්‍රය ලබා ගත හැකි වන්නේ, අදියර කිහිපයක ප්‍රායෝගික පුහුණ කාලයන් කිහිපයක් පසු කළ පසු බවයි. රියදුරු බලපත්‍රය ලබා ගැනීමේ මෙරට ක්‍රමවේදය අතිශය සරල එකක් බව බැලූ බැල්මට පෙනෙන්නකි. ආචාරධාර්මිකභාවය වැන්නක් කිසිදු අයුරකින් උගන්වන්නේ නැත. එසේ ම රියදුරු බලපත්‍රය පිළිබඳ පරික්ෂණය මෙරට අන් විභාග සේ ම නිවැරදි මැන බැලීමක් නොවේ.

මේ සියලු කරුණු බලපෑමෙන් මිය යන සංඛ්‍යාව සුළුපටු නොවන අතර අවාසනාවන්ත ලෙස විකලාංගව ආබාධිත බවට පත්වෙන පිරිසද ගණනයක්වත් නොකෙරෙයි. මේ සියල්ල අනතුරු ගණයට ම දැමිය හැකි නොවේ. මන්දයත්, අනෙකාගේ ජීවිතය ගැන තඹයකුදු මායිම් නොකර, කිසිදු ආචාරශීලිත්වයකින් තොරව රිය පැදවීම නිසා සිදුවන මරණ හැඳින්විය යුත්තේ මනුෂ්‍ය ඝාතන ලෙස බැවිනි. මේ ලිපියෙහි සිරසට මනුෂ්‍ය ඝාතන නවතමු යනුවෙන් සිරසක් යෙදුවේ එහෙයිනි. සී.සී.ටී.වී. කැමරා පද්ධතිවල පටිගතව ඇති රිය අනතුරු බොහොමයක් නිරීක්ෂණය කළ විට මේවා අනතුරු නොව ඝාතන ලෙස වර නැගීමට දෙවරක් සිතෙන්නේ නැත.

රථ-වාහන වැරදි සම්බන්ධයෙන් වන දඩ මුදල් ඉහළ දැමීම පිළිබඳ පණත පැමිණි අවස්ථාවේ බස්රථ සංගම් වර්ජනයක් පවා ආරම්භ කරමින් ඉල්ලා සිටියේ මනුෂ්‍ය ඝාතනයට ඇති අයිතිය නොවේ නම් කවරක් ද? එකී කාලවකවානුවේ රියදුරු බලපත් ලබාගැනීමට දහස් ගණන් පිරිස පැමිණ තදබදවීම මතින් පෙන්නුම් කරනු ලැබුවේ ද මහාමාර්ගවල සුවෙන් වාහන පැදවූ සුවහසක් දෙනා රියදුරු බලපත්‍රය පවා නැතිව එසේ කළ බව නොවේ ද?

රිය පැදවීම සම්බන්ධ විනය ඇතිකිරීමට ඉවහල් වන සහ අනතුරු අවම කිරීමටත් මාර්ග තදබදය අවම කිරීමටත් සහය වෙන මෝටර් වාහන (සංශෝධන) පණත පාර්ලිමේන්තුවේ සම්මත වී ඇත්තේ සියලු පක්ෂවල කැමැත්තෙනි. එය අතිශය කාලෝචිත ක්‍රියාවක් බව කිව යුතු ය.

එසේ ම කොතරම් පණත් සම්මත කළද මාර්ගයේ වාහන පදවන රියදුරන් විනයවත් නොවේ නම්, ඒවායෙන් පලක් නොවේ. රියදුරන් විනයවත්වීම ප්‍රධාන කරුණකි. රථවාහන පොලිසිය ළඟ සිටිතැ යි ඉදිරියෙන් එන රථයට ප්‍රධාන විදුලි පහන් දල්වා දෙන සංඥාව නැවතීමේ සිට රියදුරන් විනයවත් විය යුතු ය. ඔබ ඒ දෙන සංඥාව මනුෂ්‍ය ඝාතනයකට ඉඩක් සලසන බව සිතට ගත යුතු ය.

මෙම පොලිසිය ළඟ වෙතැ යි පැවසෙන සංඥාව පැන නගින්නේ ද ශ්‍රී ලංකා පොලිසියේ රථ වාහන අංශයේ බහුතරයක්වන අමනෝඥයන්ගේ ක්‍රියා පිළිවෙත නිසා බව ද සැක නැත. බොරු චෝදනා නගමින් දඩ කොළ ලිවීමටත්, කීයක් හරි කඩා වඩා ගැනීමටත් බොහෝ එවැනි නිලධාරින් කැස කවන බව රහසක් නොවේ. උක්ත පණත සාර්ථක කරගන්නට රියදුරන් විනයවත් කරන්නට නම් මෙවැනි කරුණු කෙරෙහිත් අවධානය යොමු කළ යුතු ය. එසේ ම වරදක් නොකළ අවස්ථාවක බොරු වරදක් පටවන්නට දරන උත්සාහයන්වලදී එයට එරෙහිවන්නට හැකි වන කොන්ද පුරවැසියන් ලෙස ශක්තිමත් කරගැනීම ද යෙහෙකි.

මහපාරේ සිදුවන මනුෂ්‍ය ඝාතන නවතන්නට පුරවැසියන් ලෙස අපගේ කොටස ඉටු කිරීමට උත්සාහ කළ යුතු ය. නොඑසේ නම්, අපගේ දෑත්වල ද ලේ තැවරෙනු ඇත්තේ අප ද නොදැනී ම ය.

 

Comments are closed.