සී.සී.ටී.වී. ලොකු සහෝදරයා ඔබ දෙස බලා සිටියි!

සමකාලීන රූපවාහිනී ප‍්‍රවෘත්ති විකාශයන්ගේ කාල පරාසයෙන් ඉතා වැඩි කොටසක් අයත් වෙන්නේ සී.සී.ටී.වී. කැමරා දර්ශනයන් වෙතින් ලබා ගත් දර්ශන විකාශය කරන්නට ය. මේ ඔස්සේ රිය අනතුරු, මංකොල්ලකෑම්, සොරකම් පමණක් නොව, ග‍්‍රීස් යකුන් පවා ඇවිද යන හැටි විස්මපත් දෙනෙතින් බොහෝ දෙනා බලා සිටිති. මෙකී කැමරා භාවිතය වනාහී ගමරාළගේ වංගෙඩි ය, සෑම කටයුත්තක් වෙත ම භාවිතා කරනවා සේ ය. විශ්ව කර්ම දිව්‍ය පුත‍්‍රයාට බැරි දෙයක් වුවත් මේ කැමරා දර්ශන පරික්ෂාවෙන් සොයා ගන්නට පුළුවන. යාන්තමින් කුඩාවට ඇරඹෙන සිල්ලර වෙළඳසැලක වුව කැමරා පද්ධතියක් සවි කිරීම ප‍්‍රමුඛ කාරණයක් ව තිබේ.

මරා දැමූ, ඡන්දය කිට්ටුවන විට එළියට එන ප‍්‍රකට රගර් ක‍්‍රීඩක තාජුඞීන්ට වඩා උක්ත කැමරා තාක්ෂණය මෙරට ජනප‍්‍රිය විය. පොලිසියට වඩා ජනතාවට සී.සී.ටී.වී දර්ශන විශ්වාස සේ ය. පොලිස්පතිවරයා පවා සිල් බිඳ ගත්තේ මේවා නිසා ය.

ඇත්ත වශයෙන් ම සලකා බලන කල නම් මෙකියන සී.සී.ටී.වී. කැමරා සම්බන්ධ පොදු ජන හැඟීම නම් එය කිසියම් හොඳ දායකත්වයක් ලබා දෙන්නක් වන බව යි. එය සැබෑවක් ද?

බැහැර කටයුත්තක් උදෙසා කොළඹ කොටුවෙන් පිටත් වූ එක්තරා පෞද්ගලික බස් රථයක සතර අත සී.සී.ටී.වී. කැමරා සවි කර තිබුණු අතර රියදුරුට ඉහළින් පිහිටෙව් තිරයක එවේලෙහි ම එහි වූ දසුන් නරඹන්නට හැකියාව තිබුණි. බස් රථයේ විවිධ තැන්වල සිටින ගැහැනු-මිනිසුන්ගේ කාය විකාර, මුඛ විකාර ඈ ඕනෑම දසුනක් එතැනට දැකිය හැකි විය. එපමණක් නොව බස් හිමියාට අන්තර්ජාලය හරහා ඒ සියල්ලක් ම ම නැරඹිය හැකිව තිබෙනවාට ද සැක නැත.

අප හිතවත් නාට්‍යකරුවෙක් සිය නාට්‍ය පෙර පුහුණුවක් සඳහා එක්තරා විහාරස්ථානයක් ලබා ගෙන තිබුණි. ඕනෑ ම වෙලාවක එහි වැඩ වසන භික්ෂුව පිටව යන්නේ දොර ජනෙල් හැර දමා බැවින් විපරම් කර බැලූ විට ඔහුට දකින්නට ලැබී ඇත්තේ සැම අතම සවි කැර ඇති සී.සී.ටී.වී. කැමරා ය. කිසිවෙක් මේ ගැන අවධානයෙන් නැති බවත් කවුරුත් පාහේ සිය දෛනික කටයුතු කරගෙන යන බව ය.
ඔබ ඔබගේ සාමාන්‍ය හැසිරීම කැරගෙන යන අතර කවරෙක් හෝ ඔබ වෙත අවධානයෙන් සිටියි. ඔබ කරන සියලු කුදු මහත් කටයුතු කරන්නේ කවරෙකුගේ හෝ ඇස් බැල්මට යටත් ව බව සිතන විට ඔබට අමුත්තක් දැනෙන්නේ නැති ද?

අනෙක් බරපතළ ම කාරණය නම් බොහෝ කාර්යාල සහ වැඩබිම් ඇතුළත සවි කැර තිබෙන මේ සී.සී.ටී.වී. කැමරා පද්ධතීන් ය. පළමු කොට ම මේ කැමරා සවි කරනු ලැබුවේ කාර්යාල පරිශ‍්‍රයන්ගෙන් පිටත ය. දැන් දැන් ඒවා බොහෝ කාර්යාල ඇතුළත සවි කැරෙන්නට පටන් ගෙන තිබේ. යුවතියන්, කාන්තාවන් කටයුතු කරන කාර්යාල කාමර අස්සේ ද මේවා සවි කරලා ය. දැනට මෙයින් ගැලවී තිබෙන්නේ වැසිකිළි පමණි. සමහර මනස් විකාරකාරයින් රහසිගත ව ඒ ස්ථානයන් හි ද කැමරා සවි කැර ඇති බව ඉඳ හිට අසන්නට ලැබෙන බැවින් ඒවා ද නිදහස් යැ යි කිව හැකි නොවේ.

සාමාන්‍ය දෛනික වැඩ කටයුතු කරන අතරතුර කැමරාවක් තමා වෙත එල්ල වී තිබෙන බව කවරෙකුට වුවත් අමතකව යන බව අමුතුවෙන් කිය යුතු නොවේ. මේ වැඩ කටයුතු කරන අතර මේ කැමරා ඔස්සේ සිය සේවක සේවිකාවන් දෙස බලා සිටින ආයතනයේ ප‍්‍රධානියා ය. වැඩ කරන සේවක-සේවිකාවන්ගේ, විශේෂයෙන් ම කාන්තාවන්ගේ සියලු ඉරියවු නැරඹීම තම දෛනික චර්යාව කරගත් අය මේ අතර වෙසෙති.
හැරත් ශ‍්‍රී ලංකාව යනු ගූග්ල් සෙවුම් යන්ත‍්‍ර ආධාරයෙන් අන්තර්ජාලය ඔස්සේ සෙක්ස් සොයා කප් ගැසූ රටකි. එවැනි රටකට නූතන තාක්ෂණයේ මෙවැනි දෙපිට කැපෙන උපකරණ පැමිණීම අප තෝරා බේරාගත යුත්තේ කෙසේ ද?

මෙය අප සිතනවාට වඩා බරපතළ තත්වයකි. මෙයට ගැලපෙන කදිම සාදෘශ්‍යක් අපට හමුවන්නේ ජෝර්ජ් ඕවල්ගේ 1984 කෘතියේ දී ය. ‘ලොකු සහෝදරයා ඔබ දෙස බලා සිටියි’ යන්නයි ඒ. මේ අයුරින් මිනිසුන්ගේ පෞද්ගලිකත්වය (privacy) උල්ලංඝනය කෙරුණ ද ඒ ගැන කටයුතු කරන්නට තරම් නීති ප‍්‍රතිපාදනයක් රටෙහි මූලික නීතියෙහි හමුවන්නේ නැත. 70 දශකයේ අගභාගයේ කෙටුම්පත් කැරුණු වත්මන් ව්‍යවස්ථාව සැකසුණු සන්දර්භයේ මෙවන් ගැටලු එකී සම්පාදකයන්ට අභිමුඛ නොවීම ද එක් හේතුවක් වන්නට පිළිවන. කෙසේ වෙතත් නීති ක්ෂේත‍්‍රයෙන් විමසූ විට දැනගන්නට ඇත්තේ මෙයින් රැකවරණයක් ලැබිය හැකි නම් ඒ වත්මන් ව්‍යවස්ථාවේ ඇති මූලික මිනිස් අයිතිවාසිකම් සම්බන්ධ ප‍්‍රතිපාදනවලින් පමණක් බව ය.

නව ව්‍යවස්ථා කෙටුම්පතෙහි නම් මේ හා සම්බන්ධ වෙන කරුණු ප‍්‍රමාණයක් ඇතුළත් වන බව දැනගන්නට ඇති වුවත් එකී ව්‍යවස්ථාව බාලගිරි දෝෂයක සෙයියාවක් පෙන්වන බැවින් ඒ ගැන වධවීමෙන් පළක් නොවේ.

සී.සී.ටී.වී. කැමරා සහමුලින් ඉවත් කිරීම කළ යුතු ය වැනි අමනෝඥ යෝජනා අපවෙත ඇත්තේ නැත. නමුත් එහි අනෙක් පසෙන් ක‍්‍රියාත්මක කෙරෙන අශ්ලීලත්වයට වැට කඩොලු බැඳීමට හැකි විධික‍්‍රමයක් සොයාගත යුතු ව තිබේ. ශ‍්‍රී ලංකාවේ නීතියද මෙවැනි අපහරණයට ලක්වන්නන් කෙරෙහිවන යුක්තියක් ඉටු කරන්නට ප‍්‍රතිපාදන අතින් නොසමත් බව පෙනෙන්නට තිබේ.

වගකිය යුතු අංශ, ජනතා සංවිධාන සහ ජනතාවට වගකියන දේශපාලන ව්‍යාපාර, පුරවැසි අයිතිවාසිකම් කෙරෙහි උනන්දුවක් දක්වන ව්‍යාපාර (එවැනි ඒවා තිබේනම්) යුහුව මේ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු බව අපගේ හැඟීම ය.
එතෙක්, සී.සී.ටී.වී. ලොකු සහෝදරයා ඔබ දෙස බලා සිටිනු ඇත.

සඳුන් ප‍්‍රියංකර විතානගේ

 

Comments are closed.