එළියේ රෙදි ගැලවේ!

ගෝඨාභය රාජපක්ෂ සිය සොයුරා ජනාධිපති ව සිටි සමයේ මෙරට අනභිභවනීය ආරක්ෂක ලේකම්වරයා ය. ඔහුගේ හිසට ඉහළින් අමාත්‍යංශ ලේකම් කාක්කෙකුටවත් පියාඹන්නට බැරි බව කාටත් මතක ය. ගෝඨාගේ වචනය ම නීතිය වූ වකවානුවක් තිබිණ. ලසන්ත වික්‍රමතුංග මහ දවාලේ අධිආරක්ෂිත කලාපයක් තුළ මරාදැමීම, අද වන තුරු සොයාගැනීමට නොහැකි වන ලෙස ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් කිරීම, වැලිකඩ රැඳවියන් නාමලේඛනානුගතව ඝාතනය කිරීම ආදී මෙකී-නොකී කාරණා විශාල ප්‍රමාණයකට ගෝඨාභයට චෝදනා පිට චෝදනා එල්ල විය. මේවා සම්බන්ධයෙන් ඊනියා යහපාලන ආණ්ඩුව ද තඹ දොයිතුවකට මායිම් කර නැති බව වෙන ම කතාවකි.

ගැත්තෝ විසින් ගෝඨාභය රකින්නට එළිය නමින් සංවිධානයක් පිහිටුවා ගත්තෝ නුදුරේ දී ය. මේ සිර අඳුරට යන්නට සපුරා නියමිත ගෝඨාභය එළියට ගන්නට අල්ලන පානක එළියක් බව සැකයක් නැත. මේ සංවිධානය ගැන ඊයේ (14) මරදාන CSR ශාලාවේදී පුරවැසි සංවිධාන එකමුතුව කැඳවා තිබු මාධ්‍ය හමුවක දී ද අදහස් පළ කෙරුණි. එහි දී පුරවැසි සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු අකලංක හෙට්ටිආරච්චි පැවසුවේ,

“මාධ්‍යවේදීන් අමු අමුවේ ඝාතනය කරපු, කටුනායක,හලාවත නිරායුධ උද්ඝෝෂකයින්ට හමුදාව යොදවලා පහර දීල මරපු, වැලිකඩ සිරගෙදරට පැනලා ආරක්ෂක අංශ විසින් සිරකරුවන් මරා දැමුණු බවට චෝදනා ලබපු යුගයක රටේ ආරක්ෂාව භාර ප්‍රධානියා වුනේ ගෝඨාභය රාජපක්ෂ. ඔහු මේ සිදුවුණු සිදුවීම් වලට යුක්තිය ඉටුකරන්න ආරක්ෂක ප්‍රධානියා විදිහට කිසිවක් සිදුකලේ නෑ එකල. ඒකනිසා මේ රටේ මිනිස්සුන්ට සාධාරණ සැකයක් එදා ඉඳල අද වෙනකම් තිබෙනවා මේ ඝාතන වලට ඔහු වගකිව යුතුයි කියලා.

මේ සම්බන්ධව සාධාරණ පරීක්ෂණයක් තවම සිදුවෙලා නෑ. ලසන්තගේ ඝාතනය, ප්‍රගීත්ගේ අතුරුදන් වීම සම්බන්ධව පමණක් නෙමෙයි අහිංසක පාසල් සිසුන්, ව්‍යාපාරිකයින් කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් ඝාතනය කිරීම් වලට පවා ආරක්ෂක අංශ වල ඇතැම් පිරිස් සම්බන්ධයි කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබෙනවා. ඉතින් රටක ආරක්ෂාව භාර ප්‍රධානියා නොදැන එහෙම දේවල් වෙන්න පුලුවන්ද? මේ සම්බන්ධ පරීක්ෂණ කඩිනමින් ක්‍රියාත්මක වෙලා එම අත්අඩංගුවට ගත්ත නිලධාරීන්ට අණදුන් පුද්ගලයින් සොයා ගන්නා තුරු අප වසර දෙකක් තිස්සේ දෑස් අයා බලාගෙන ඉන්නවා.

එහෙව් තත්ත්වයක් තිබෙද්දී මිනිස්සු මැරිලා ඉපදිලා කියලා හිතලද දන්නේ නෑ අලුත් අලුත් සංවිධාන හදාගෙන මේ චෝදනා වලට ලක් වෙච්ච උදවිය අලුත් වටයකින් පව් සමා කරගෙන දේශපාලන පිම්මක් පනින්න හදන්නේ. අපි දැක්කා පසුගිය දා ගෝඨාභය රාජපක්ෂ “එලිය” කියලා අලුත් සංවිධානයක් හදාගෙන අලුත් වටයකින් කළඑළි බහින්න සූදානම් වෙන ආකාරය. සුපිරි හෝටල්වල මේ විදිහට සංවිධාන එළිදක්වන්න මේ මිනිස්සුන්ට සල්ලි කොහෙන්ද? අපි දැක්කා කවුද ඒ සංවිධානය එළි දක්වන්න ඇවිත් හිටියේ කියලා. ජාතිවාදය අවුලුවලා පසුගිය කාලයේ රට ගිනිතියපු මිනිස්සු තමයි හිටියේ එතන. යුද්ධෙන් පස්සේ මේ රටේ සංහිඳියාව ඇතිකරලා සමාජ පරිවර්තන යුගයකට යන්න තිබුණ අවස්ථාව නැතිකරලා, පලිගැනීම් වලින් දේශපාලන අවස්ථාවාදයට පාර කපපු මිනිස්සු මේ පෙන්නන “එළි” භූත ‘එළි’ මිසක් දේවතා ‘එළි’ නොවන බව මේ රටේ මිනිස්සු දන්නවා. මේ එළි පස්සේ යන උන්ට වෙන්නේ පහන් දැල්ල පස්සේ යන පලගැටියන්ට වෙන දේ බව අමුතුවෙන් කියන්න ඕනෑ නෑ.” 

යනුවෙනි. කෙසේ වෙතත් මේ එළිකාරයන් සිතා සිටින්නේ මෙරට ජනතාව අමන මරි මෝඩ රැළක් කියා විය යුතු ය. නැත්නම් මෙවැනි එළි දල්වන්නට යන්නේ නැත. අනෙක් අතට ගෝඨාලා මෙතරම් නටන්නේ යහපාළන කියාගන්නා ආණ්ඩුව අප පෙර සඳහන් කළ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් හෝ වෙනත් චෝදනා සම්බන්ධයෙන් හරි හැටි පියවර නොගන්නා නිසා බව ද ලියා තැබිය යුතු ය.

Comments are closed.