ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ඉක්මනින් අවශ්‍යවන්නේ ඇයි?

ඕනෑම  රටක ජාතියක කොඳුනාරටිය  වී ඇත්තේ අධ්‍යාපනය යැයි පැවසුව හොත් එය නිවැරදිය. අධ්‍යාපනය ඒ තරමටම රටක හෝ ජාතියක අනාගත දිශානතීන් සලකුණු කෙරෙන කේන්ද්‍රීය සාධකයකි. එය අද දවසට හෝ හෙට දවසට හෝ නොව සර්ව කාලීනව බලපවත්වන්නකි.

යම් රටක සමෘද්ධිය ,සෞභාග්‍යය, සශ්‍රීකත්වය ,මනිනු ලබන්නේ එරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ  අත්කරගෙන ඇති සඵලතාවය මත යැ යි පැවසිය හැකිය.

අධ්‍යාපනය යනු සෑම මොහොතකම  ක්‍රියාත්මකවන සජීවී ක්‍රියාවලියකි. එලෙස ම අධ්‍යාපනය ද නිරන්තරව වෙනස්ව ඒ මගින් මිනිසා ද වෙනස් කරනු ලබයි. පුද්ගලයන් මෙන්ම ආයතන, සංවිධාන පමණක් නොව  මුලු සමාජක්‍ර‍මයම ද වෙනස්කරනු ලබයි. එම නිසා අධ්‍යාපනය ක්‍රියාකාරී බලවේගයක් ලෙසත් යම් සමාජයක ගාමක බලවේගය ලෙසත් හැඳින්විය හැකිය. මෙවන් බලවේගයකින් ශ්‍රී ලාංකිකයන් ලෙස අප මේවන විට අත්කරගෙන ඇති දෑ පිළිබඳව  විමසා බැලිය යුතු මෙහොතකට අප පැමිණ ඇත්තෙමු.

විදේශීන්ගෙන් ශ්‍රී ලංකාව නිදහස දිනාගත්දා සිට දශක හතකට ආසන්න කාලයක් විවිධ රජයන් යටතේ අප මෙන්ම මෙරට අධ්‍යාපනය ද  ගමන් කොට ඇත. එහෙත් අනෙක් සියලු දේ මෙන්ම  අධ්‍යාපනය ද ඉතාමත් තීරණාත්මක  සංධිස්ථානයකට මේ වන විට පැමිණ ඇත. එනම් අන් සෑම ක්ෂේත්‍රයකම බරපතළ අවුල් වියවුල්,අර්බුදවලින් තෙරපීමට ලක්ව ඇතිවා මෙන්ම අධ්‍යාපනයද  බරපතල අර්බුද රාශියකට ලක්ව ඇත.

 ‍අප රට තුළ ක්‍රියාත්මක වන විධිමත් හෝ අවිධිමත් සංවිධාන  ජාලය අතුරෙන්  ජනසංඛ්‍යාවෙන් වැඩිම කොටසක් සම්බන්ධතා  පවත්වන හා වැඩිම ජන පිරිසකට බලපෑම් කළ හැකි  ක්‍රියාකාරී එකම සංවිධාන ජාලය ඇත්තේ අධ්‍යාපන ක්ෂේත්‍රයට යැ යි කිව හැක. එමෙන් ම අධ්‍යාපනයට සම්බන්ධ ජනතා ජාලය රටපුරා නගරයක් ගමක් පසා  අස්සක් මුල්ලක් නෑර විහිදී තිබිමද තවත් විහේෂිත කරුණකි.

දැනට අධ්‍යාපන පද්ධතියේ විහිද ඇති ආයතන පිළිබඳව සැකෙවින් විමසා බලමු.

(2015 මහබැංකු වාර්ථාවටඅනුව)

ලංකාවේ පිහිටි මුලු පාසැල් සංඛ්‍යාව 10971

  1. රජයේ පාසැල් ප්‍ර‍මාණය           – 10144

  2. පිරිවෙන්                                  – 747

  3. පෞද්ගලික හා විශේෂ පාසැල් – 104

  4. මුලු ශිෂ්‍ය සංඛ්‍යාව                    – 4418173

  5. මුලු ගුරුවරු සංඛ්‍යාව                – 259967

  6. ජාතික අධ්‍යාපන පීඨ සංඛ්‍යාව   – 19

  7. විශ්ව විද්‍යාල සංඛ්‍යාව               – 15

  8. අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන -18

මෙයට අමතරව තවත් බොහෝ ආයතන හා සංවිධානජාලත්, ඇමැත‍ිවරයාගේ සිට නියෝජ්‍ය ඇමති උසස් අධ්‍යාපන ඇමති, පළාත් සභා ඇමැතිවරුන් මෙන්ම අමත්‍යංශ ලේකම්වරයාගේ අමාත්‍යංශයේ සිට කොට්ඨාස කාර්යාලය දක්වාත් ජාතික අධ්‍යාපන ආයතනයේ සිට විශ්ව විද්‍යාල ප්‍ර‍තිපාදන කොමිසම දක්වාත් තවත් ආයතන හා සංවිධාන බොහෝමයක් ඇත. මෙලෙස යම්තාක් දුරකට සවිස්තරව තොරතුරු දැක් වූයේ අධ්‍යාපන පද්ධතිය කෙතරම් විශාල දැ යි ඒත්තුගැන්වීම සඳහා ය. සංවිධාන ජාලය කෙතරම් විශාල වුවත්, නිළදරුවන් ගේ ගණන කොපමණ වැඩිවුවත් අමාත්‍යවරුන්ගේ ගණන වැඩි වුවත් ලෝකයේ අධ්‍යාපනය අතින් අප අත්කරගන ඇති ප්‍ර‍ගතිය නම් ඉතාමත් පහත් තත්වයක පවතින බව අප අමුතුවෙන් කිව යුතු නොවේ.ඒ බව කුඩා දරුවෙකුට පාසලක් ලබාගැනීමට දෙමාපියන් දරන වෙහෙස මහන්සිය පීළිබඳව සිහිපත් කිරීමේදී පෙනී යන කරුණකි. එමෙන්ම මේ සා විශාල ජාලයක් හා පුද්ගලයන් පිරිසක් නඩත්තු කරනුයේ ද මහජනතාවගේ මුදලින් බවද සිහිපත් කළ යුතු ය.

නිදහස ලත් දා සිට ම මේ වන තෙක්  අධ්‍යාපනය සැලසුම් කිරීමෙහි ඇති දුර්වලතාවය මෙන්ම වරින් වර වෙනස් වන අධ්‍යාපන ප්‍ර‍තිපත්ති නිසාම අද ජාතියේ දරුවන් ගේ ළමා කාලය මුලුමනින් ම ටියුෂන් කඩකාරයන්ට අත්පත් කර දීඇත. 70 දශකයේ අවසනය වන තෙක් ගමේ පාසලෙන් පමණක් ප්‍ර‍මාණවත් ගුණාත්මක අධ්‍යාපනයක් ලැබූ පාසැල් දරුවා අද මහත් මානසික පීඩනයකට පත්කොට  ඇති අතර දරුවාගේ සිතුම් පැතුම් පවා අගතිගාමී ලෙස වෙනස් කිරීමට වත්මන් අධ්‍යාපන ක්‍ර‍මය කටයුතු කරමින් තිබේ. උපකාරක පංති හෝ පෞද්ගලික අධ්‍යාපන ආයතන හෝ නියාමනය කිරීමට කිසිදු රජයකින් කිසිදු පියවරක් නොගැනීම නිසා පෞද්ගලික අධ්‍යාපන ජාලය  අහිංසක දෙමාපියන් ගේ මිල මුදල් මෙන්ම ළමාපරපුර ද ගිලගන්නා තත්වයකට මේ වන විට පත්ව ඇත. මේ මොහොත වන විට විද්‍යුත් නාලිකා මගින් පවා ප්‍ර‍චාරය  ලබා ගන්නා ටියුෂන් සංස්කෘතිය මාෆියාවක් බවට පත්ව ඇත.  එමෙන්ම රජයේ සේවයේ  නිරත ගුරුවරුන්ද ගුරු සේවය අනුව ඔවුනට ලැබිය යුතු වැටුප කප්පාදුවෙන් නිසාවෙන් ක්‍රමයෙන් ආර්ථිකය ජයගන්නා  කෙටි මාර්ගයක් සේ  මෙම අගතිදායක ප්‍රවේශයට පත්වීමද කණගාටුවට කරුණකි.

දුක්විඳ උසස් පෙළ සමත්වන සියලු සිසුනට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබාදීමට පවා රජය  අසමත්ව ඇත.මේ වනවිට උසස් පෙලින් සමත්ව විශ්වවිද්‍යාලයට යාමට සුදුසුකම් ලබන්නන්ගේ ප්‍ර‍තිශතය 51.43%ක් වුවත් විශ්වවිද්‍යාලයට ඇතුළත් කරගනුලබන්නේ 18.61%ක් පමණි. එසේ නම් ලංකාවේ අධ්‍යාපන ක්‍ර‍මය සැකසී ඇත්තේ  ලමුන් විශිෂ්ටයන් කරනු වෙනුවට ඔවුන් කප්පාදු කර අශිෂ්ටයන් බවට පත්කිරීමට බව ඉතා පැහැදිලි කාරණයකි. මෙම තත්වය ශ්‍රීලාංකික ජාතියම අගාධයට ගෙන යන ඉතාමත් බිහිසුණු ක්‍ර‍මවේදයක් බව රට කරවන අයටත් ඔවුන් පත්කර යවන මහජනතාවටත් මේ වන තෙක් ධාරණය නොවීම මුලු ජාතියේ ම අභාග්‍යයක් බව ඉතා පැහැදිලි ය. අධිරාජ්‍යයවාදී කුමන්ත්‍රණ ගැන බෙරිහන් දෙන දේශප්‍රේමින්ට තමන්ගේ රටේ වසර 40 ක පමණ සිට ක්‍රියාත්මකවන මෙම ව්‍යසනකාරී කුමන්ත්‍රණය නොපෙනෙනුයේ ඔවුනගේ මන්ද බුද්ධිකභාවය නිසාදැයි සැකයක් මතුවෙයි. තත්වය මෙසේ නම් ලංකාවේ පුරවැසියන් ලෙස අප සියලු දෙනා මෙම තත්වය වෙනස් කර රටට ජාතියට අවශ්‍ය ආකාරයේ අධ්‍යාපනයක්  හා එය ඉදිරියට ගෙනයාමට  හැකි ජාතික අධ්‍යාපන ප්‍ර‍තිපත්තියක් සකසා ගතයුතු ව ඇත.

ඒ සඳහා ප්‍ර‍මාණික දැනුමැති බුද්ධිමතුන්ගේ ද අධ්‍යාපනඥයන්ගේ ද සහායෙන් කෙරෙන කතිකාවක් මතින් ජාතික අධ්‍යාපන ප්‍ර‍තිපත්තියක්   සැකසීම වහා කළ යුතු යැ යි සටන් වැදිය යුතු වන්නෙමු. එවැන්නක් නිර්මාණය වන්නේ නම් මින් ඉදිරියට සයිටම් වැනි අර්බුද වෙනුවෙන් සරසවි සිසුන්ගේ අධ්‍යාපනය බිලි දිය යුතු නොවෙනු ඇත. තමන්ගේ දරුවා පාසැලට ඇතුල් කරගැනීමට පගාව දීම හෝ වංචනික ක්‍රියාවල යෙදීමට දෙමාපියනට සිදුනොවනු ඇත. එමෙන්ම මුලුමහත් සිසුපරපුරට ම ඔවුනගේ ළමාකාලය කෙළිදෙලෙන් ගතකිරීමට ඇවැසි නිදහස ලැබෙනුඇත. සෑම පවුලකම ළමයාට ලැබිය යුතු ආදරය සෙනෙහස  නොඅඩුව ලැබෙනු ඇත. පාසැල් නොයන සියලුම දිළිඳු ළමුන් පාසැල් යනු ඇත.

සත්‍ය ලෙස ම අප රටට ඇවැසි වන්නේ තෘප්තිමත් ගුරු පරපුරක් විසින් දැයට දායාද කරනුලබන විශිෂ්යටන් පිරිසකි.

එවැන්නක් සඳහා දේශපාලන පක්ෂ-පාට පසෙක තබා ජාතිය වෙනුවෙන් කෙරෙන මහඟු සත්කාරයක් ලෙස සලකා කටයුතු කළ යුතු ය. ඉතාමත් පසුගාමී දේශපාලන චින්තනයන්ගෙන් සරසවි සිසුන් අතරමං කරනවා වෙනුවට මුලු මහත් අධ්‍යාපන ක්‍ර‍මය තුල ම ඇති ප්‍රශ්නයට විසදුමක් ලබා‍ දිය යුතු කාලය මෙය බව – බලය සදහා සටන්පාඨ සපයන අසරණ සරසවි සිසුන්ගේ වටිනාම කාලය ඔවුනගේ දේශපාලන අපේක්ෂාවන් සඳහා ඇපයට තබාගන ඇති  සියලුම දේශපාලුවන් ද  තරයේ සිතහි තබා ගැනීම වැදගත් වනු ඇත.

සාම්ප්‍රදායික අධ්‍යාපනය අළලා නිපැයුණු, සම්මාන විශාල ගණනාවක් දිනාගත් කෙටි චිත්‍රපටයකි මේ.

සරත් රත්නායක

Comments are closed.