ආගන්තුකයා

එදා නත්තල් දවසට කලින් දවස. හරියට පුලුන් කරත්තයක් හැලිල වගේ හතර අතේ හිම වැටිල. ගෙවල් මිදුල් කලඑළි වෙලා. පාට පාට විදුලි බුබුළු, බරාඳවලට දේදුනුපාටවල් වත්කරලා තිබුණ. නත්තලට නැතුවම බැරි කැරොල් කාණ්ඩ මිහිරි ගීතවලින් හැම ගෙදරක්ම උත්සවශ්‍රීයෙන් බබළවන්න රුකුල් දුන්න.

වෙබ්ස්ටර් යුවළ එයාලගෙ ගෙයි දොරකඩ හිටගෙන තමන්ගෙ සාදයට එන ආගන්තුකයන්ව පිළිගනිමින් හිටියෙ දෝරෙගලන සතුටකින්. ගේ ඇතුලට ආව අමුත්තො වෙබ්ස්ටර් නෝන හදපු කෑම කමින්, බීම බොමින් බොහොම ප්‍රීතියෙන් සැහැල්ලුවෙන් කතා- බහ කරමින් හිටිය. හැමෝම කතා වුණේත් සියල්ල හොඳින් සිද්ධ වෙන එක ගැනයි. සංගීත රසය හැම අස්සක් මුල්ලක් නෑරම ගිහින් නොපිරුණු හැම තැනක්ම පුරවල දැම්ම. මේ අස්සේ ළමයි රෑන ම එකතු වෙලා නත්තල් ගහ යට පුරවල තිබුන වයිවාරණ විදිහේ තෑගි බෝග ගැන අනාවැකි පළකරන්න ගත්තෙ නත්තල එන්නෙ එයාලටම කියන්න වගෙයි. හෙට වෙද්දි ඒ හැම තෑග්ගක්ම ළමයින්ට ඇරල බලන්න අවස්ථාව හම්බුණාම හැමෝටම සෙල්ලම්බඩුවක හිමිකාරයෙක් වෙන්න තරම් නත්තල ආශ්වාදය ගෙනැල්ල තිබුණෙ.

ආගන්තුකයො ඇවිල්ල දොරේ සීනුව නාද කළා ම තවත් ආගන්තුකයෙක්ම ගිහිල්ල දොර ඇරල, කෑ ගහල අලුතෙන් ආව ආගන්තුකයව බොහොම උණුසුම්ව පිළිගත්ත. ‘සුභ නත්තලක් වේවා! එන්න, එන්න ඇතුලට එන්න‍. වෙබ්ස්ටර් නෝනගෙ කෑම රසයි කන්න. කැමති දෙයක් බොන්න. ඕන තැනකින් වාඩි වෙන්න’.

සාදය ජයටම ගලාගෙන ගියා. හැමෝම සතුටු වුණේ තවත් කාලෙකට තමන්ට මේ වගේ අවස්ථාවක් උදාවෙන්නෙ නැහැ වගේ හිතාගෙන. ඔන්න ආයෙමත් දොර සීනුව නාද වුණා. පරණ අමුත්තෙක් ගිහිල්ල, අලුත් අමුත්තව කෑ ගහල පිළිඅරගත්තෙ ලොකු පහේ හිනාවකුත් එක්කමයි.

කුඩා මනුස්සයෙක් ශාලාවට ආවා. පරණ අමුත්තො දෙන්නෙක් ලොකු කෑම පිඟානක් එක්ක බීම එකක් එයාගෙ අත්දෙකේ පිරෙවුවා. කුඩා මිනිසා විසිත්ත කාමරයට ගිහින් පුටුවක හරි බැරි ගැහිල අතේ තිබුණ පිඟාන හිස් කරල බීම වීදුරුවත් බීල දැම්ම. කීප දෙනෙක් ඇවිල්ල කුඩා මනුස්සය එක්ක එදිනෙදා දේවල් ගැන කථා බහ කළා. ඒ විතරක් නෙවෙයි වෙබ්ස්ටර් මහත්මය එක්කත් ඔහු සීත දේශගුණය ගැන ටිකක් කථා කරමින් හිටිය. කාලය ගත වෙලා ගියා. කුඩා මනුස්සය තමන් සතුටෙන් ඉන්න වගක් දැනෙවුවෙ. එයා විතරක් නෙවෙයි සාදයෙ හිටිය හැමෝම සතුටෙන් මත්වෙලා හිටියෙ. මොනව වුණත් ඒකනම් හරිම ප්‍රීතිමත් කාලයක් වුණා.

පැයකට විතර පස්සෙ කුඩා මනුස්සය ආයෙමත් වතාවක් වෙබ්ස්ටර් මහත්තයට කතාකරන්න ගියා.

‘ඔබ දන්නවද මම මේ සාදයෙ ඉන්න කාවවත් අඳුරන්නෙ නෑ. ඇත්තටම මම ආවෙ අනාරාධිතව’. ඔහු තියුණු එහෙත් නිවුණු ස්වරයකින් කිවුවා.

‘ඔහ්’ වෙබ්ස්ටර් උන්නැහැගෙ පුදුමය කටින් පිට පැන්නෙ එහෙම. ‘මේක මගෙ ගෙදර. ඒ වගේම මට හොඳටම විස්වාසයි මම ඔහෙට ආරාධනා කළේ නැති වගට. මං හිතුවෙ ඔහෙ ඇවිත් උන්නෙ මගෙ කවුරුහරි මිත්‍රයෙක් එක්ක කියල’.

‘නෑ නෑ කොහෙත්ම නෑ’. මිනිහ උත්තර බැන්ඳ. ‘මම මෙතන කිසිම කෙනෙක්ව දන්නෙ නෑ. ඒ විතරක් නෙවෙයි, මීට කලින් මම කිසිම දවසක ඔබව හෝ ඔබගේ බිරිඳව මුණගැහිල කථා බහ කර නැහැ’.

‘ඒක නම් හොඳම විහිළුවක් තමයි’. වෙබ්ස්ටර් උන්නැහැ උත්තර දුන්නෙ පරළු විදිහට. ‘ඔහෙ අපිව දන්නෙත් නැත්තං, ඔහෙව කවුරුවත් මෙහෙට කැන්ඳගෙන ආවෙත් නැත්තං, ඔහෙ කොහොමද මෙහෙට රිංගුවෙ?.

‘මං ඉන්නෙ එහා ගෙදර’. කුඩා මිනිහ කියන්න ගත්ත. ‘මම මගේ නෝනා එක්ක ටවුම කෙළවරේ ඉන්න අපේ පුතාව බලන්න යමින් ගමන්’.

‘ඔහෙගෙ පවුලත් මෙහෙද එතකොට? වෙබ්ස්ටර් උන්නැහැ කාමරය සිසාරා ඇස් කරකවන ගමන් වචන අතෑරිය.

‘නෑ අනේ නෑ. එයා කාර් එකේ ඉඳගෙන ඇති’. කුඩා මිනිහ පිළිවදන් දුන්නෙ හැඟීම්බර හඬකින්.

‘මොනවා…. මේ තරම් වෙලා ඔහෙගෙ පවුල කාර්එකේ බලා උන්නා’. වෙබ්ස්ටර් උන්නැහැ පුදුමයෙන් බෙරිහන් දුන්නා.

‘ඔවු. දැන් පැයකට වැඩියි’. කුඩා මිනිස් හඬ සංසුන්.

‘ඇය මොනවද මේ තරම් වෙලා කාර් එකේ කරන්නෙ’. ඒ බාල වුණු වෙබ්ස්ටර් මහත්මයගෙ කට හඬ.

‘මේකයි කාරණය’. කුඩා මනුස්සයාගෙ වචන බොහොම අවධාරණයෙන් සාදය පුරා ඇදිල ගියා.

‘අපි දෙන්න හැන්දෑවෙ කාර් එකට නැග්ගෙ පුතාගෙ ගෙදර යන්න හිතාගෙන. හැබැයි ඔබගෙ සාදයට ආව අමුත්තෙක් ඔහුගෙ වාහනය අපේ ගේට්ටුව ඉස්සරහ නතර කරල ගිහිල්ල තිබුණ. ඇත්තටම ඒ නිසා අපේ කාර් එක කොහොමටවත්ම එළියට ගන්න පුලුවන් කමක් තිබුනෙ නෑ. මං ආවෙ කාර් එකේ අයිතිකරුගෙන් ඒක ටිකක් එහාට කරගන්න පුළුවන්ද අහන්න. මං හිතනව මගේ බිරිඳ දැන් ටිකක් කලබල වෙලා ඇති මම කොහෙ ගියාද කියල’.

– විදෙස් කතාවක පරිවර්තනය

ජීවන්ති කෝසලා

Comments are closed.