රෙදිඅපුල්ලන්නන් ඉගැන්වූ පාඩම! (කම්කරුවාගේ කතාව 21 වන කොටස)

ලංකාවේ කම්කරු පංතියේ ඓතිහාසික විකාශනය  පිළිබදව සැකෙවින් පළ කෙරෙන  මෙම ලිපි පෙළෙහි පසුගිය කොටසෙන්  අප ඔබ හමුවේ තැබුවේ 19 වන ශත වර්ෂයේ අගභාගයේ දී ලංකාවේ පැවැති යටත්විජිත පාලකයන්ට විරුද්ධව සිදුකෙරුණු සාර්ථක මෙන්ම  සංවිධානත්මක මෙන්ම දීර්ඝතම  කම්කරු අරගලය වූ රෙදි අපුල්ලන්ගේ වැඩවර්ජනය සහ ඒ හා බැඳුණු වෙනත් කරුණු පිළිබදවය.

1896 වසරේ ජූලි මස 01වන දින ඇරඹුණු මෙම වර්ජනය පුරා සති තුනක් ඉතාමත් සටන්කාමී අයුරින් ගෙනයන ලදී. රජගෙදර අපුල්ලන්නා  මෙම වර්ජනයට එක්වූයේ මෙම රෙගුලාසියට යටත් වනවාට වඩා මිහිපිට ඇති ඕනෑම  දුකක් විදීම වඩා සැපයයි පවසමිනි. ලංකාවේ මෙන්ම ඉන්දියාවේ  කම්කරුවන්ටද මෙම වර්ජනය  මහත් ආශ්වාදයක් ලබා දුන්ව ඉතිහාසයෙහි සඳහන්ව ඇත.

එහෙත් තම අඹුදරුවන් නඩත්තු කිරීමට තම රැකියාව හැර අන් කිසිදු ක්‍ර‍මයක් නොමැති වර්ජකයන්ට සති තුනක කාලය වසර තුනක කාලයක් සේ දැනෙන්නට විය. නගරයේ සියලු වංශවතුන් මෙන්ම මධ්‍යම පාන්තිකයන් ද වර්ජනය කඩාකප්පල් කිරීමට ගත් උත්සාහයන් හමුවේ යටත් විජිත පාලකයන් මෙන්ම කොළඹ නගර සභා පාලකයන්ද ඉතාමත් දරදඬු ප්‍ර‍තිපත්තියක පිහිටා කටයුතු කිරීම නිසාත් සති තුනකට පසු වර්ජනය අසාර්ථක වන ලකුණු පහළවන්නට විය. වර්ජකයන් වෙනුවෙන් අරමුදලක් ඇති කර තිබුණත් එය ප්‍ර‍මාණවත් වූයේ ඉතාමත් දිළිදු වර්ජකයන්ට යම් සහනයක් ලබාදීමට පමණි. මෙම කාලයේ රටෙහි  පළ වූ  ප්‍ර‍ධාන පුවත්පත් වර්ජකයන්ට කිසිදු සහනයක් නොදෙන මෙන් හා වෙනත් රටවලින් අපුල්ලන්නන් ගෙන්වන ලෙස ද ඉල්ලා සිටියෝ ය. ටයිම්ස් පත්‍ර‍ කියා සිටියේ මොවුනට කිසිදු හෝ සහනයක් ලබා දුනහොත් අප අතර සිටින ඉතා යටහත් පහත් කම්කරුවන් පවා මෙම රෙදිඅපුල්ලන්නන්ගේ නරක ආදර්ශයන් ඉගෙන  ඔවුන්ද අනාගතයේ වර්ජනවලට පෙළඹීමට ඉඩ ඇති බවයි.

මෙම සියලු තත්වයන් යටතේ  වර්ජනය බිඳවැටීමේ තත්වයකට පැමිණ ඇති බව වර්ජකයන්ගේ නායකත්වයට දැනෙන්නට විය. ඒ අනුව ඔවුන් සර් සොලොමන් ඩයස් බණ්ඩාරනායක මහමුදලිතුමාට සංදේශයක් යවමින් 1896 ජූලි 01වන දා ආරම්භ කරන ලද වර්ජනය  ජූලි මස 21වන දා අවසන් කිරීමට තීරණය ලදී. ඒ අනුව එදිනම වර්ජකයන් වැඩිදෙනෙක්   නගරසභාවේ ලියාපදිංචිවීමට ඉදිරි පත් වූහ. එහෙත් වර්ජනය බිද වැටීම හමුවේ ද පොල්වත්තේ ඇතැම් සටන්කාමී වර්ජකයන් ලියාපදිංචිවීමට අකමැත්ත පළකරන ලදී. මෙසේ අකමැත්ත පළ කළ අය වර්ජකයන් අතර සිටිනා ඇට්ටරයන් පිරිසක් ලෙස නම් කළ කොළඹ නගරසභාව එම පිරිස එකඟ කරවා ගැනිමේ කොන්ත්‍රාත්තුව මහමුදලිතුමාටම පවරා දෙනු ලැබීය.  මහමුදලිගේ කරුණු පැහැදිලි කිරීමෙන් පසු  එම පිරිසද ලියාපදිංචි වීමට කැමැත්ත පළ කළහ.

මෙම වර්ජනය පරාජයෙන් අවසන් වුවද  එය ලාංකේය කම්කරු පන්තියට විශ්මයෙජනක අත්දැකීමක්  වූ අතර ඉන් ජනසමාජයට කරන ලද සවිඥානක බලපෑම ද අතිමහත්ය. එමෙන්ම මෙම අරගලය නිසාවෙන් ලංකාවේ රෙදිඅපුල්ලන්නන්ට ලැබුන ප්‍ර‍චාරාත්මක වාසියද  විශාල එකකි.

අරගලය තුළ ගොඩනැගුන සංවිධානාත්මක ස්වරූපයේ ශක්තිමත් බව තේරුම්ගත් පිටකොටුව ප්‍රදේශයේ රෙදි අපුල්ලනන්  පිරිසක්  සංවිධානයක් පිහිටුවාගෙන සාමාජිකයන්ගේ  ඕනෑ-එපාකම් වෙනුවෙන් පෙනී සිට ඇති බව ඉතිහාසයෙහි සටහන්ව ඇත. බලධාරින් ද පසු කාලයේ දී  ඔවුනට යම් යම් සහනදායී උපකාරයන් ලබාදීමට පවා කටයුතු කර ඇති බවට වන වාර්තා ඇත. උදාහරණයක් ලෙස ගතහොත්  ඉහතින් සඳහන් කළ සංගමය ඉදිරිපත්වී රු .1300 .00 වියදම් දරමින්ඉදිකරන ලද වතුර ටැංකි 20ක් සඳහා වියදම රෙදිඅපුල්ලන්ගේ සංගමය විසින් දැරීමත් ඒ සඳහා නාමමාත්‍ර‍ බද්දකට ඉඩම යුධහමුදාව විසින් සැපයිමත් හා කොළඹ නගරසභාව විසින් පහසු ලාභදායී මිලකට ජලය සැපයීම වැනි එකඟතා ගිවිසුම්වලට පවා එළඹ ඇති බව සනිටුහන්ව ඇත. මේ සියලු පිළිගැනීම් ඔවුනට ලැබුනේ ඔවුන් විසින් වැඩවර්ජනයේ දී ප්‍ර‍ර්ශනය කළ සටන්කාමී සංවිධානාත්මක ස්වරූපය නිසාම බව පැහැදිලි ය.

19 වන සියවසෙහි ලංකාවේ කම්කරු පංති ව්‍යාපාරයට තියුණු අරුණාලෝකයක් ලබාදුන් රෙදි අපුල්ලන්නන්ගේ අරගලයෙන් පසුව තවත් අරගල රාශියක් එම සියවස අග දී වාර්තා වී ඇත. කෙසේ වුවද ලංකාවේ කම්කරු පංතිය, මේ කාලය වන විට සංවිධානය වී තම ඉල්ලීම් දිනාගැනීම සදහා අරගල කළ යුතු බව යම් පමණකට තේරුම් ගනිමින් සිට ඇති බව පෙනී යයි. 19 වන සියවස ද අවසන්භාගයේ ලංකාවේ සිදුවූ කම්කරු අරගල අතර 1897 සැප්තැම්බරයේදී  රාජකීය ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ සේවකයන් 200 දෙනෙකුගේ එකතුවෙන් ඇතිවූ වැඩවර්ජනය, 1898 ජනවාරියේදී කොලඹ වරායේ සේවය කරන ලද කරත්තකරුවන්ගේ වර්ජනය, 1898 ජනවාරියේ ටයිම්ස් ඔෆ් සිලෝන් මුද්‍ර‍ණාලයේ කම්කරු වර්ජනයද එයින් පසුව ඇති වූ කතා-බහට ලක් වූ වැඩ වර්ජනයන් ය.

 

෴ සරත් රත්නායක ලියයි.

කුමාරි ජයවර්ධනගේ “ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ නැඟීම” කෘතිය ඇසුරෙනි.

පෙර කොටසට පිවිසෙන්න..

අතීත වර්ජනවලට ලැබුණු ප්‍රතිචාර! (කම්කරුවාගේ කථාව 20 කොටස)

Comments are closed.