නියඟය තවත් බලවත් වෙයි!

රට පුරා දිස්ත්‍රික්ක 15කට පමණ නියඟය නිසා දැඩි බලපෑම් සිදුව ඇති බව වාර්තා වෙයි. ඒ අතරිනුත් පොළොන්නරුව, අනුරාධපුරය, පුත්තලම, මන්නාරම සහ වව්නියාව සහ කිලිනොච්චි, මුලතිව් යන දිස්ත‍්‍රික්කවලට මේ බලපෑම උග්‍ර වී ඇති අතර බීමට පවා ජලය සොයා ගැනීමට බැරි තත්වයක් උද්ගත වී තිබේ.

මේ හේතුවෙන් පීඩාවට පත්ව සිටින සංඛ්‍යාව ලක්ෂ 15කට ආසන්න බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ට්‍රැක්ටර් සහ ජලටැංකි ආදිය දිගින් දිගට ම ලබා දෙමින් සහන සලසමින් සිටින බව ඔවුන් තවදුරටත් පවසයි.

කෙසේ වෙතත්, ක්ෂණික ජීවිත හානි වාර්තා නොවන බැවින් දෝ මේ දැඩි නියඟය සම්බන්ධයෙන් රටේ එපමණට කතිකාවක් පැන නැගී ඇත්තේ නැත. ගංවතුර විපත අවස්ථාවේ බරපතළ ලෙස සේ ම පැසසුම්සහගත අයුරින් මැදිහත් වූ සමාජ මාධ්‍ය ද මේ තත්වයේ දී එතරම් මැදිහත්වීමක් දක්නට නැත. එසේ ම ගංවතුර විපත අවස්ථාවේ දී ජනතාවගෙන් එකතු කළ බඩු-භාණ්ඩ තමාගෙ නම ගසා අවතැන්වූවන්ට ලබා දුන් මජර විද්‍යුත් නාලිකා ද නියං පීඩාව ගැන වගේ වගක් නැති අයුරින් කටයුතු කරනු පෙනේ.

අනෙක් අතට සහල් නිෂ්පාදනය අතින් වැඩි ම දායකත්වයක් රටට සපයන මේ දිස්ත්‍රික්කයන් තවදුරටත් නියඟයේ වෙළී පැවතුණහොත් එය නුදුරේ සහල් මිල ඉහළ යෑමට ද බලපෑම් කරනු ඇත. තවදුරටත් නියඟය පැවතුණහොත් රට පුරා ජාතික වශයෙන් මැදිහත් විය යුතු තත්වයක් පැන නගින බව පෙනෙන්නට තිබේ. වගකිව යුතු අංශ සේ ම මාධ්‍ය ද මේ ගැන වැඩි සැලකිල්ලක් යොමනු වටී.

Leave a Comment