දුප්පත් ධර්මයුද්ධය සහ මහරාජාගේ දේශපාලනය!

නැවත නිෂ්පාදන සිනමා කෘති යනු තවදුරටත් අමුතු දෙයක් නොවේ. එක් මූල කෘතියක් පාදක කරගෙන විවිධ භාෂාවලින් නිපැයෙන සිනමා බොහොමයකි. මෙහි කේන්ද්‍රය වන්නේ ඉන්දියාව යි.  “ඩ්‍රිෂ්‍යම්” නමින් මලයාලම් බසින් මුල්වරට ද “ඩ්‍රිෂ්‍යා” යනුවෙන් කන්නඩ බසින් ද, “දෘශ්‍යම්” නමින් කන්නඩ බසින් ද, පාපනාසම් නමින් දෙමළ බසින් ද, “ඩ්‍රිෂ්‍යම්” නමින් හින්දි බසින් ද ඉන්දියාවේ නිෂ්පාදනය වූ සිනමාපටය මෙරට නැවත නිෂ්පාදනය කෙරුණේ, “ධර්මයුද්ධය” නමිනි.

සිනමාපටය ප්‍රදර්ශනය ආරම්භයේ සිට ම ප්‍රචාරක යුද්ධය බලවත් බව දක්නට ලැබුණි. කැපිටල් මහරාජා සමාගමේ නිෂ්පාදයනයක් වන බැවින් ඔවුන් සිය රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා ද වෙනත් මාධ්‍ය ද උපයෝගී කරගනිමින් එකී යුද්ධය දියත් කරනු ලැබිණ. සමාජ අවකාශ සිනමාපට නරඹන්නන් සහ විචාරකයන් ද ධර්මයුද්ධය දෙස බැලුවේ සුබවාදී දෘෂ්ටියෙනි. එය නරඹන්න කියා කෙරෙන රෙකමදාරු ද අඩු නොවී ය.

මේ සියලු තත්වයන් මැද්දේ සිනමාපටය නරඹන්නට ගිය අපගේ නම් බලාපොරොත්තු ලත් තැන ම බිඳ වැටුණු බව කිව යුතු ය.

ඉන්දියාවේ මුල් නිෂ්පාදන ලෙසින් ගෙන මෙරට මෑත කාලයේ දී නිෂ්පාදනය වූ “ප්‍රවේගය”, “ආදරණීය කතාවක්” වැනි සිනමාපට ඒ අතින් සිටින්නේ “ධර්මයුද්ධය”ට වඩා ගව් ගණනක් ඉදිරියෙනි. මුල් නිෂ්පාදනයන් සහමුලින් ම මෙගා ටෙලිකරණය කරන ලදුව ප්‍රේක්ෂකයා ඉදිරියට ගෙනැවිත් තිබේ. සිනමාපටයේ මුල් අර්ධයේ ප්‍රධාන ගැටුම තෙක් දිවෙන්නේ පුදුමාකාර අලස ගතියකිනි. තිරයට ගෙනෙන ලද තඩි මෙගාවකින් එහා යමක් එහි දැනෙන්නේ නැත.

ඉන්දියානු සිනමාපටයන් හි ශක්තිමත් ව තිබූ තිරරචනය මෙහි ඉතා අලස අයුරින් ගලා යයි. මෙරට සිනමාවේ අද දවසේ බරපතළ ම ප්‍රශ්නයක් නම් ශක්තිමත් හොඳ තිරපිටපත් හිඟකමයි.ලේඛනයේ බුහුටියන්ගේ අඩුකමයි. සාදා නිමකළ තිරපටතක් ලැබීත් එය මෙතරම් ආලස්‍ය ලෙස ගලා යාමට සැලසීම පුදුමයකි.  සිනමාපටයක දෙබස් කොතරම් දුබල දැ යි පෙන්වන්නට ධර්මයුද්ධය ඉතා හොඳ නිදසුනක් වැන්න. අපට මෙය වඩාත් දැනුණේ පසුගිය දිනෙක මෙරට ජනප්‍රිය සිනමා තිරරචනයේ යෝධයෙක් වන් සෝමපාල ලීලානන්ද මහතා සමඟ කතා-බහක නියැළි උණුසුමේ ම ධර්මයුද්ධය නැරඹූ නිසා ය. ගමේ කඩේ මුදලාලිගේ මුවට නංවන දෙබස් සමුළුවක් ආමන්ත්‍රණය කරන ප්‍රභූවරයෙක්ගේ මෙනි. චණ්ඩි පුතා සිනමාපටයට සෝමපාල ලීලානන්ද ලියූ දෙබස් කණ්ඩයක් මෙහි දී සිහිපත් කිරීම වටී. රංගනය ගාමිණී ෆොන්සේකා ය.

“ගිනි පෙට්ටියෙන් ඕනැද? ටින් කිරි ටින් එකෙන් ඕනැද? ඩප්පියෙන් ඕනැ ද? කියන්න මල්ලි ඕනැ එකක්. නැද්ද ළ`ගදි ගත්ත කැබිනට් සයිස් පින්තූරයක් එහෙම? අහෝ ඛේදයකි කියල ඕනැ ද? අනිච්චාවත සංඛාරා කියල ඕනැ ද? මල්ලි උපත උඹේ ගාණෙ. විපත මගේ ගාණෙ…..”

මිනිසුන් අතර ජීවත් වෙමින් ඔවුන්ගේ හදගැස්ම හඳුනාගැනීමට අසමත්වීමත් සහ දෛනික සමාජ ජීවිතයත්, ජීවිතය පිළිබඳ ඇසූ පිරූ තැන් නැතිවීමත් විසින් දෙබස් රචනය අසාර්ථකත්වයට පමුණුවයි.

රංගනය පැත්තෙන් ද සිනමාපටය පෙන්වන්නේ දුගීකමකි. ජැක්සන් ඇන්තනි සැමදාම වාගේ සිය සාධාරණය කෘතිය වෙනුවෙන් ඉටු කිරීමේ සතුටට අමතරව තිසුරි යුවනිකා බලාපොරොත්තු සහගත රංගනයක් ගෙන එයි. හරිශ්චන්ද්‍ර (ජැක්සන්)ගේ ආයතනයේ සේවකයා ලෙස රඟන තරුණ නළුවා අන්තිම අසාර්ථක ය. රොෂාන් පිලපිටියගේ රංගනයද ගලා යන්නේ ඉතා ම පැතැලි තලයක ය. කුමාර තිරිමාදුර ද පිටපත මත්තේ තමන්ට දිය හැකි දායකත්වය ලබා දී තිබේ. කෙසේ වෙතත් වෙසෙසින් සඳහන් කළ යුත්තේ, ඝාතනයට ලක්වන තරුණයා ලෙස රඟන නළුවාගේ රංගනය ඉතා ප්‍රශස්ත බව ය.

අවසාන වශයෙන් සටහන් කළ යුත්තේ මේ සිනමාපටයෙන් ගෙනෙන සිරසේ දෘෂ්ටිවාදය ගැනයි. කිලී මහරාජාගේ මාධ්‍ය ප්‍රවාහය යනු තවදුරටත් මාධ්‍ය ආයතන සමූහයක් පමණක් නොවේ. කවුරුත් දන්නා පරිදි එය දේශපාලන සංවිධානයකි. ඔහු සතුව දැනට සැලකිය යුතු පාර්ලිමේන්තු බලයක් තිබේ. මෙයින් අවසන තහවුරු කරන්නට හදන දෘෂ්ටිවාදය නම් පිළිතුර ඇත්තේ තමන්  සතුව බව යි.

සිනමාපටය පුරා හරිශ්චන්ද්‍ර නරඹන්නේ මහරාජාගේ චැනල් ය. හරිශ්චන්ද්‍රගේ ප්‍රශ්නය මාධ්‍ය මසවුළක් බවට පත්වෙද්දී දුවගෙන එන්නේ නිව්ස් ෆ’ස්ට් ය. මාධ්‍ය හරහා ආවරණය කරමින් මිනීමැරුම සඟවා දැමීමේ දෘෂ්ටිවාදය යුක්ති යුක්ත ද? සැකකරුවන් මරා දැමීමේ සිට තම සතුරන් මරා දැමීම දක්වා ගමන් ගත් ඝාතන ක්‍රියාවලීන් ගැන අප නොදන්නවා නොවේ. බන්ධනාගාරයට ඇතුළු වී ලැයිස්තු කියවා සැකකරුවන් මරා දැමූ ක්‍රියාවලීන් ගැන අප නොදන්නවා නොවේ.

රටෙහි දේශපාලනය අන්තිම නරක ලෙස කුණු වී ඕජස් ගලමින් ජරාජීර්ණ වී ඇති බව ඇත්ත ය. නීතිපතිවරයා අලුත් අවුරුද්දට ගොස් ජනාධිපතිගේ නිවසේ අවුරුදු කෑයේ මහින්ද යුගයේ ය. නීතිය නැවීම ගැන කියන්නේ මෑත යුගයේ ය. විනිසුරන් උසාවිය අස්සේ කාන්තාවන් දූෂණය කරයි. පද්ධතිය සම්බන්ධයෙන්, නීතිය සම්බන්ධයෙන් වන විශ්වාසය ජනයා කෙරෙන් තුරන් ව යමින් තිබේ. මේ අවකාශය පිරැවිය යුත්තේ කිලී මහරාජාගේ දේශපාලන ව්‍යාපාරය විසින් ද? ඝාතනය සිදු කරන්නේ, ආත්මාරක්ෂාවට හෝ එවැන්නක් විය හැකි වුව ද එ් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කළ යුත්තේ රටක පවතින නීතිය මගින් නොවේ ද?

නීතිය සම්බන්ධයෙන් වන විශ්වාසය බිඳෙමින් පවතින යුගයක සැලකිය යුතු පාර්ලිමේන්තු පාර්ලිමේන්තු බලයක් හිමි කිලී මහරාජා ස්ථාපිත කරන්නට තතනන මේ මතවාදය කිසිසේත් ම අහිංසක නොවන බව කිව යුතු ය.

ප්‍රචාරක යුද්ධය පොහොසත් වුවත් “ධර්මයුද්ධය” නිර්මාණාත්මක අතින් දුගී සේ ම ස්ථාපිත කරන්නට තනන මතවාදය අතින් දුෂ්ට ය!

 

  • සඳුන් ප්‍රියංකර විතානගේ

Comments are closed.