ශ්‍රී ලංකාවේ බටහිර වෛද්‍යවරුන්ගේ ඉතිහාසය මෙන්න!

ඕනෑම රටක  අධ්‍යාපනයට හා සෞඛ්‍යට හිමිවන ස්ථානය හා එම කේෂත්‍රවල ඇති දියුණුව අනුව  එම රට‍ සමස්තයක් ලෙස හිමි  කරගන  ඇති ස්ථානය පිළිබදව නිගමනයකට පැමිණිය හැකිය. ඒ අනුව  අපේ රටේ ද වෛද්‍යවරු යනු  සමාජ දේහයේ ඉතාම වැදගත් ස්තරයක්  මෙන්ම සමාජයට ප්‍ර‍බල බලපෑමක් කළ හැකි  පිරිසක් ද වේ. එනිසාම මෑත කාලයක සිට ලංකාවේ වෛද්‍යවරු නිතර දෙවේලේ කතාබහට ලක්වන සමාජ ස්තරයක් බවට  පත්ව ඇත. එලෙසම වෛද්‍ය සිසුන්ද එදිනෙදා ප්‍ර‍වෘත්ති සපයන්නන් බවට පත්ව තිබේ.

වර්තමානයේ ශ්‍රීලංකාවෙහි නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් විශාලම කැප කිරීම කරනුයේ වෛද්‍යය සිසුන් බව ඔවුන්ගේ ම මුවින් මහත් දෝංකාරයක් නගමින් ගිලිහෙන වාර අනන්ත ය. අප්‍ර‍මාණ ය. මාස කිහිපයක් තිස්සේ මහමගම දිවිගෙවන මේ සිසුන් ජල ප්‍ර‍හාරයන්ට හා කඳුලු ගෑස් ප්‍ර‍හාරයන්ට ගොදුරු වූ  වාරයන්ද අසීමිතය. මාස ගණනක් තිස්සේ තම අධ්‍යාපන කටයුතු අත්හැර දමා නිදහස් අධ්‍යාපනය බේරාගැනීමට මෙම පිරිස මෙහෙයවන දේශපාලන බලවේගයන් කිහිපයක්ද මෙම පිරිස පිටුපසින් සිට ඔවුන් දිරිගන්වන බව දකින්නට අැත.

මෙතරම් කතිකාවට බඳුන්වන බටහිර වෛද්‍ය ක්‍රමය ලංකාවේ ඇරඹුණේ කෙසේ ද?

ලංකාව බටහිර ජාතින්ගේ යටත්විජිතයක් බවට පත්වන මොහොත වන තෙක්ම ලංකාව තුළ පැවැතියේ අපටම ආවේණික වූ දේශීය වෛද්‍ය ක්‍ර‍මයකි. මෙරට පැවැති වෛද්‍ය ක්‍ර‍මයට ඉතිහාසයේ ඉතා ඉහළ ස්ථානයක් හිමිව තිබුණි. දේශිය වෙදකම දත් එක් රජතුමෙක් ගැන ඉතිහාසයේ සටහන් වන අතර ඔහු බුද්ධදාස රජු ලෙස හැඳින්වෙයි. මෙකී රජු සතා සිවුපාවුනට පවා සාර්ථකව වෙදකම් කළ බව කියැවෙන අතර එක්තරා නාගයෙකු හට කරන ලද සැත්කමක් පිළිබදව පවා සදහන්ව ඇත.

එවන් ‍‍වෛද්‍ය ක්‍ර‍මයක් පැවැති දිවයිනෙහි  මුහුදු බඩපළාත් අල්ලාගැනීමට පෘතුග්‍රිසින් 1505 දී සමත්විය. එතැන් සිට 1656 දක්වා ලංකාවේ මූදුබඩ පළාත්වල පාලන බලය අල්ලාගන සිටි පෘතුගීසීන්  විසින් පළමුවරට ලංකාවට  බටහිර වෛද්‍ය ක්‍ර‍මය ගෙන ආ බව ඉතිහාසයෙහි සටහන් ව තිබේ. එහෙත් පෘතුගීසින්ගෙන් පාලන බලය පැහැරගත් ලන්දේසින්ගේ මුහුදුබඩ පාලනය පෘතුගීසින්ට වඩා කාර්යක්ෂමව හා තිව්‍රව ගෙනගොස් ඇති බව දකින්නට පුළුවන. ඔවුන් යටතේ පැවැති ප්‍රදේශවල වාරි කර්මාන්තය නගා සිටුවීමට කරන ලද‍ ඇතැම් කුඩා වාරි යෝජනා ක්‍රම පිළිබදව ඉතිහාසය හදාරන්නන්ගේ ඇගයීමට ලක්ව අති අතර ඒවා  අදටත් ක්‍රියාත්මකව පවතී.

කෙසේ වුවත් 18 වන සියවස අවසන් වන විට වෙරළබඩ  ප්‍රදේශයේ ඔවුන් සතුව බලය පැවැති සෑම ලන්දේසි කොටුවක ම පාහේ බටහිර වෛද්‍යවරුන් සේවය කරන රෝහල් පද්ධතියක්  පිහිටුවා තිබුණි. ඒ අනුව කොළඔ පිහිටුවා තිබූ රෝහලෙහි රෝගින් 300කට පමණ  ඉඩ පහසුකම් සැලසුණු අතර යාපනය හා ගාල්ල රෝහල්වල ධාරිතාවය රෝගීන්  100 සිට 500 දක්වාත් ත්‍රීකුණාමලය රෝගීන්  60 සිට 80 දක්වාත්  පහසුකම්  ඇති රෝහල් පද්ධතියක්  පිහිටුවා තිබු බව පැරණි දත්ත සටහන් පෙන්වා දෙයි. මෙම රෝහල් සදහා අවශ්‍ය ඖෂධ  වර්ග ආනයන කොට පෙට්ටගම්වල ගබඩා කොට තිබූ බව එහි සඳහනි.

ලන්දේසින් ඔවුගේ පාලනයට නතුව තිබූ ප්‍රදේශවල ජනගහණයට ප්‍ර‍මාණවත් අයුරින් රෝහල්  පද්ධතිය ගොඩ නගා තිබුණද  ප්‍ර‍මාණවත් තරම් බටහිර වෛද්‍ය්‍යවරුන් නොසිටීම ඔවුනට ගැටලුවක්ව තිබිණි. එහෙත් එම ගැටලුව ඉතාමත්  බුද්ධිමත්ව කළමනාකරණය කරගැනීමට  ඔවුන් සමත් ව තිබු බව පෙනේ. ඔවුන් මේ සදහා පිළියමක් ලෙස  ගම් මට්ටමේ දේශීය වෙදකමට මෙන්ම දේශීය ඖෂධ වර්ග භාවියට අනුග්‍ර‍හය ලබා දී තිබීම එ් වෙනුවෙන් කළ එක් පිළියමකි.

රෝග බෝවීම මෙන්ම පැතිරීම වැලැක් වීම සදහාද ඔවුන් විශේෂ පියවර කිහිපයක් ගන්නා ලදී. මේවා අතර ප්‍ර‍ධාන ස්ථානයක් ගනු ලබන්නේ කැලි-කසළ ඉවත්කිරීමේ ක්‍ර‍ම සහ වැසිකිළි භාවිතය හඳුන්වා දීමයි. ලංකාවට පළමුවෙන්ම ජලමුද්‍රිත වැසිකිළිය හඳුවා දී ඇත්තේ ද ලන්දේසින් විසින් බව ඉතිහාසය පිරික්සීමේ දී පෙනී යන්නකි.

මෙලෙස බටහිර වෛද්‍යවරුන් මෙන්ම  බටහිර ඖෂධ වර්ග මෙන්ම බටහිර වෛද්‍ය  ක්‍ර‍මය ලංකාවට ගෙන ඒමේ ආරම්භය පෘතුගීන්ගෙන් වුවත්  එය  ක්‍ර‍මයක් ලෙස ස්ථාවර ව රෝහල් පද්ධතියක් ගොඩ නගා ස්ථාවර කරන ලද්දේ ලන්දේසින් විසින් බව පෙනේ.

එහෙත් 1796 න් පසුව ලන්දේසින්ගෙන් බලය පැහැර ගන්නා ඉංග්‍රීසින් තම පාලනයේ මුල් කාලයේදී  ප්‍ර‍ධාන වශයෙන් වෛද්‍ය ක්‍රමය පවත්වාගෙ යන ලද්දේ යුධමය අවශ්‍යතා  සපුරාලීම සදහා වුවත් කොළඹ, යාපනය, සහ ත්‍රීකුණාමලය ද පසුව ගාල්ලේ ද  යුධ හමුදා රෝහල් පිහිටුවීමට  කටයුතු කර ඇත. මෙලෙස රෝහල් පිහිටුවීමේදී ලන්දේසින් විසින් පිහිටුවා තිබූ රෝහල්ද ප්‍රයෝජනයට  ගන්නට ඇති බවට අනුමාන කෙරේ. එහෙත් මෙම රෝහල්වල ප්‍ර‍තිකාර කටයුතු සිදුකරනු ලැබ ඇත්තේ නිසැකයෙන්ම බ්‍රිතාන්‍යය හමුදා වෛද්‍යවරුන් ය.

එහෙත් වැඩිකල් නොගොස් ඇතිවූ වසංගත තත්වයන් නිසා  – විශේෂයෙන්ම මැලේරියාවට හා වසූරිය රෝගයට හමුදා භටයන් ගොදුරුවීම නිසාවෙන් මුල් කාලයේ සිටි බ්‍රිතාන්‍යය ජාතික හමුදා වෛද්‍යයවරුන් ප්‍ර‍මාණවත් නොවීය.  1802 වසරේ දී සහ 1812 වසරවල දී බ්‍රිතාන්‍ය බලකොටුවල මැලේරියාව මෙන්ම වසූරිය රෝගය ද හමුදා භටයන් අතර පැතිරයාම බරපතල සෞඛ්‍ය උවදුරක්ව තිබිණ. මෙලෙස උද්ගතවූ සෞඛ්‍ය තත්වය  අනුව ස්වදේශිකයන් අතර අතිරේක  වෛද්‍යය සහකරුවන් පුහුණු කිරීමේ බහුජන ව්‍යාපාරක් සංවිධානය කරන ලදී. සුදුසුකම් සහිත හමුදා වෛද්‍ය්‍යවරුන් යටතේ පුහුණුකරන ලද මොවුන්  “ස්දේශික වෛද්‍ය ආයතනය” නමින් හදුන්වන ලදහ. මෙහිදී ස්වදේශික නමින් අරුත් ගන්වන ලද්දේ  ඉංග්‍රීසින් බලය පැහැරගත් පසු ඔවුන් යටතේ ලංකාවේ වාසය කිරීමට කැමැත්ත පළකරන ලද ලන්දේසින් හා බර්ගර් වැසියන් අතරින් තෝරාගන්නා ලද පිරිසකි. මොවුන් ඉංග්‍රීසි පාලකයන් විසින් නම් කරනු ලැබුවේ වෛද්‍යය උප සහකරුවන් යනුවෙනි. කෙසේ වෙතත් මොවුන් අතර දොස්තර ඇස්වෑන්ඩේ ලෑන්, ජෑන් ලෝරන්ස්,  ජේ.බී. මිසෝ, පාමර් ඉසිදචෝර්, කීගල්ද යාපනේ ජෑන්ස්කු, මාතර පීටර්ස්, ගාල්ලේ ලුඩෝවිසි, කලුතර ඩී.හොට් යන අය ද  වූ බව සඳහන් වේ.

ඉතිරිය ඉදිරියට

සරත් රත්නායක

 

Comments are closed.