ඇය සූරිය මලකි (ඩොරින් වික්‍රමසිංහගේ කතාව) 10 කොටස

දෙවන ලෝක යුධ උණුසුම හමුවේ  ඩොරින් වික්‍ර‍මසිංහ තම මොඩන් පාසැල වසා දමා දරු දෙදෙනා සමඟ මහනුවරට  ගිය බව අප පසුගිය කොටසින් ඔබ හමුවේ තැබුවෙමු. මහනුවරට ගොස් නොබෝ දිනකින් බණ්ඩාරවෙල ප්‍රදේශයේ කුඩා නිවසක් කුලියට ගෙන තෙමසක් පමණ දරු දෙදෙනා සමග එහි ජීවත්වූ අතර අනතුරුව මාතර අතුරලියේ වික්‍ර‍මසිංහයන්ගේ පාරම්පරික නිවසේ කෙටි කාලයකුත් වාසය කළෝ ය. එවකට අතුරලියේ සිට මාතර නගරයට පැමිණීමට ඇති මාර්ග දුෂ්කරතා හා දේශපාලන කටයුතුවලට හා සම්බන්ධීකරණයට අැති දුෂ්කරතා නිසා මාතර වැල්ලමඩම හා දෙවුන්දර අතර මුහුදට සමීප මනරම් කඳු මුදුනක හා ස්වාභාවික  පරිසරයක පිහිටි පැරණි නිවසක් කුලියට ගත් අතර සැබැවින්ම මෙම නිවස ඔවුනගේ බලාපොරොත්තුව වූ දේශපාලන කටයුතු සදහා ඉතාමත් හොඳින් ගැලපුණු අතර ඉතා කෙටි කාලයක දී මෙම නිවස ප්‍ර‍බල දේශපාලන කේන්ද්‍ර‍්ථානයක් බවට ද පත්විය.

මේවනවිට මුලු ලොවම භීතියට පත්කර පීඩාවට පත්කර රටවල් ආක්‍ර‍ණය කරමින් සිටි පැසිස්ට්වාදයට එදිරිව ළදරු සෝවියට් සංගමයද යුද්ධයට සම්බන්ධ වූ අතර පැසිසිට්වාදින්ට විරුද්ධව මිත්‍ර‍පාක්ෂික පෙරමුණක් නිර්මාණය විය. මෙම ප්‍ර‍වණතාවයත් සමඟ ලොව පුරා කම්කරු පංති සංවිධාන හා පැසිස්ට් විරෝධි සංවිධාන සෝවියට් දේශයට සහයෝගය පළකරන්නට විය.

පැසිස්ට්වාදයට විරුද්ධව ගොඩනැගුණු මිත්‍ර‍පාක්ෂික හවුළෙහි හවුල්කරුවෙකුවූ මහා බ්‍රිතාන්‍යය සතු විශාල යුධ හමුදා කඳවුරක්   කොග්ගල පිහිටුවා තිබිණ. එකල යුධඋපායික වශයෙන් ලංකාවේ භූගෝලීය පිහිටීම ඉතා වැදගත්වීම නිසා මහා බ්‍රිතාන්‍යයට අප රට කේන්ද්‍රස්ථාන‍ යක් වශයෙන් වැදගත් විය. මෙලෙස පැසිසිට් විරෝධී පෙරමුණක් ලෙස  යුද්ධයට සම්බන්ධ වීමේදී බොහෝ රටවල සිටි වාමාංශික අදහස් දරන අය පවා යුධ හමුදාවට බැදී පැසිස්ට්වාදය පරාජය කිරීමට යුධ පෙරමුණට යාමට ඉදිරිපත් වී තිබුණි. එලෙස බ්‍රිතාන්‍යය යුධ හමුදාවට සම්බන්ධවූ වාමාංශික අදහස් දැරූ යුධ හමුදා භටයන් පිරිසක්  කොග්ගල කඳවුරේ ද වූඅතර ඔවුන්ගෙන් බොහෝ දෙනා බ්‍රිතාන්‍යය කම්කරු පක්ෂයට සම්බන්ධ අය විය.

මේ අය ඉතා කෙටි කාලයකින් ලංකාවේ පැසිස්ට් විරෝධී කටයුතුවල නිරතවෙමින් සෝවියට් සංගමයට සහය පළකරන වික්‍ර‍මසිංහ පවුල සමඟ සම්බන්ධකම් ගොඩනගා ගත් අතර නිතරනිතර මාතර වැල්ලමඩමේ නිවසට පැමිණීමටද පුරුදුව සිටියහ. මෙම හේතුව නිසාවෙන් මෙරට වමේ ව්‍යාපාරයේ ක්‍රියාකාරීව සිටි බොහෝ දෙනෙකුටද මොවුන්ගේ ඇසුර වික්‍ර‍මසිංහ නිවසේදී ලැබිණ. ඉතාමත් ලබැඳි ඇසුරක් වූ මෙය මෙරට බොහෝ වාමාංශික ක්‍රියාකාරිකයන්ට නවමු අත්දැකීමක් විය. මෙම ඇසුර කොතෙක් ආකර්ශණීය වූවා දැ යි කිවහොත් මාතර ප්‍රදේශයේ සිටි සමාජවාදී හිතවතෙකු වූ ක්ලයිව් පෙරේරා දේවගැතිතුමා සැම ඉරු දිනකම ඔහුගේ නිවසෙහි මෙලෙස පැමිණෙන පැසිස්ට් විරෝධී යුධ භටයනට විශේෂ සංග්‍ර‍හයක් පැවැත්වීමටද කටයුතු යොදා තිබිණ.

මෙලෙස කරුණු සිදුවෙමින් පැවැතියදී වික්‍ර‍මසිංහ යුවළගේ මූලික ඉලක්කය වූයේ ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ගොඩනැගීමේ මූලික කටයුත්ත ය. ඔවුන් ඒ වෙනුවෙන් දිවාරැ නෙබලා සංවිධාන කටයුතු මෙහෙයවා 1943 දී  පක්ෂය පිහිටුවීමේ කටයුත්ත සම්පූර්ණ කෙරුවෝ ය.

මෙම කටයුතු සියල්ල අතරතුර ඩොරින් හා හේඩි කේනමන් එක්ව කොමිනිස්ට් නොවන ප්‍ර‍තිශීලි අදහස් ඇති දේශපාලනඥයන් හා වෘත්තීය බුද්ධිමතුන් සංවිධානය කොට සෝවියට් මිත්‍ර‍සංගමය පිහිටුවාලූහ. ඒ තුළින් ඔවුන් සෝවියට් ජන ජීවිතය  පිළිබද හා සෝවියට් ජයග්‍ර‍හණ පිළිබදව ප්‍ර‍දර්ශන, රැස්විම්, සම්මන්ත්‍ර‍ණ සඟරා මගින්  ජනතාව දැනුවත් කිරීමත් සිදුකෙරිණි. සෝවියට් දේශයට සහය පළකිරීමටත්  සෝවියට් දේශය සමග සම්බන්ධතා ගොඩ නගා ගැනීමටත්  මෙය කදිම පාලමක් වූවාට සැක නැත.

1945 වසරේදී පැසිට්වාදය පරාජයකොට මිත්‍ර‍ සන්ධානය ජයගත් අතර ලොව පළමු වරට සමාජවාදී රාජ්‍යය පද්ධතියක් ද බිහිවිය.

දිගුකාලයක් එකදිගටම පක්ෂය ගොඩනැගීමේ කටයුතුවල හා දේශපාලන කටයුතුවල නිරතව සිටී ඩොරින් තම දරු දෙදෙනා සමග කෙටි නිවාඩුවකට තම මවුබිම බලා ගියා ය.

සරත් රත්නායක

මතු සබැඳේ.
මුල් කොටස්වලට මෙතැනින් යන්න

ඇය සූරිය මලකි (ඩොරින් වික්‍රමසිංහගේ කතාව) 09 කොටස

Comments are closed.