ඇතුළෙත් කුණු පිටත් කුණු!

මේ වසරේ සිංහල-හින්දු අලුත් අවුරුදු සංස්කෘතික උත්සවය අවසන් වූයේ අතිශය ඛේදනීය සිදුවීමකිනි. ශ්‍රී ලංකාව නම් රාජ්‍යයේ අසමත්කම නැවත වතාවක් විදහා පාමින් කොළඹ කුණු ගෙන ගොස් සැඟවූ ස්ථානය එනම් මීතොටමුල්ල මහා කුණු පර්වතය නාය යෑමට ලක් වූයේ කුඩා දරුවන් ද ඇතුළු විශාල පිරිසකගේ ජීවිත කුණු කඳු අතර සඟවාලමිනි. ඒ දිනවල කාගෙ කාගෙත් පාහේ කතාව තිබුණේ කසළ කළමනාකරණය ආදී මාතෘකා සම්බන්ධයෙනි. පසුව නේක නේක නව මාතෘකා සැපයුණු අතර කසළ ප්‍රශ්නයට තිබූ ස්ථානය ස්වභාවිකව ම වියැකී ගියේ ය.

මේ දිනවල කසළ දහනය කර විදුලිය නිපදවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කෙරෙතැ යි මාධ්‍ය වාර්තා පළ කෙරුණේ ය. කෙසේ වෙතත් මීතොටමුල්ල ඛේදවාචකයෙන් පසුව කොළඹ තැන තැන කසළ එක්රැස් වුණු සහ නියමිත පරිදි කසළ ඉවත් කිරීම නොකෙරුණු තත්වයක් ද තිබී යළි එය සමහන් ව ගියේ ජනපතිවරයා ද ඊට මැදිහත්වීමෙන් පසුව ය.

එයටත් පසුව දැන් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ කසළ එකතු කරනු ලබන්නේ වෙන් කරනු ලැබීමකින් පසුව ය. කසළ වෙන්කොට භාර දෙන්නැ යි ජනතාව ද දැනුම්වත් කර තිබේ. කොළඹ සෑම ප්‍රසිද්ධ ස්ථානයක ම පාහේ කසළ වෙන් කර දැමීම සඳහා බඳුන් කිහිපය බැගින් තබා තිබෙන අයුරු දැකගන්නට තිබේ. මේ එක් ස්ථානයකි, විහාරමහා දේවි උද්‍යානය. ඒ වෙත දිනකට ඇදෙන පිරිස සුළුපටු නොවේ.

අප මේ කියන දිනයේ උද්‍යානයේ තබා තිබෙන කසළ බඳුන් ආසන්නයේ සිවිල් ආරක්ෂක බළකායට අයත් සෙබළෙක් සිටිනු දකින්නට ලැබුණි. ටික වෙලාවකින් දකින්නට ලැබුණේ උක්ත සෙබළා ඉක්මන් ගමනින් ගොස් එක්තරා “මහත්මයෙකු” කසළ බඳුන් දෙසට කැඳවාගෙන එන අයුරු සහ එහි දමා ඇති කසළ ඔහු ලවා වෙන් කරමින් නැවත බහාලන අයුරු යි. කටයුත්ත නිම වූ පසුව එහි ගොස් සෙබළා හමුවූ අප කරුණු විමසූයෙමු.

ඔහු පැවසුවේ, මෙලෙස ලොකු අකුරින් මුද්‍රිත දැන්වීම් සමඟින් බඳුන් තබා තිබුණත් බොහෝ දෙනා කිසිදු වෙන්කිරීමකින් තොරව ඉබාගාතේ එක ම බඳුනකට කසළ දමා යන බවයි. සිවිල් ආරක්ෂක සෙබළු කසළ බඳුන් තබන ස්ථානයකට එක් අයෙක් බැගින් යොදවා ඇත්තේ එලෙස කසළ ඉබාගාතේ දැමීම වැළැක්වීම පිණිස බව යි.

රටෙහි සිදුවූ එතරම් බරපළ ඛේදවාචකයට පසුවත් ජනතාවගේ හැසිරීම එබඳු ය. පිටත ඇති කසළ ගැන විපරම් කරන්නට සිවිල් ආරක්ෂක බළකා සෙබළු හෝ යෙදවිය හැකි ය. ඇතුළත තිබෙන කසළ සම්බන්ධයෙන් කළ හැක්කේ කුමක් ද?

Comments are closed.