ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කුමකට ද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු කිසියම් රාජ්‍යයක ක්‍රියාකාරී බලාධිකාරය වන ආණ්ඩුව සස්ථාපනය කරන, මෙහෙයවන අහෝසි කරන නීති පද්ධතිය අඩංගු ලේඛනය යි. එය රාජ්‍යයක ප්‍රධානතම නීතිය වන්නේ ය. එහි රාජ්‍යයක පුරවැසියන්ගේ අයිතිවාසිකම්, යුතුකම්, බලතල සහ වරප්‍රසාද ද ඇතුළත් විය යුතු ය.

අාණ්ඩුවක මෙකී කටයුතු ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ වශයෙන් බෙදා හදා ගනු ලබන අතර මේවායේ සමවාය උසස් ආණ්ඩුක්‍රමයක ලක්ෂණ ලෙස සලකනු ලැබේ.

එක් අතකින් බලන කල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාලක පාලිත දෙපාර්ශ්වය අතර ගිවිසුමක් හෝ සම්මුතියක් ලෙසින් ද සලකනු ලැබේ. ඒ සමාජ සම්මුතිවාදී දේශපාලන දර්ශනයට අනුව ය. පෙරදිග රටවලද මෙකී අදහස මහා සම්මත සංකල්පය තුළ අඩංගු වී ඇත.

මානව ශිෂ්ටාචාරයේ ඈත අතීතයේ සිටම කිසියම් ආණ්ඩුක්‍රමයක් හා ආණ්ඩුක්‍රම නීතියක් (ව්‍යවස්ථාවක්) පිළිබඳ අදහස දක්නට ලැබේ. එසේ වුව ද විධිමත් වූත් වඩාත් සංවිධානාත්මක වූත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් පිළිබඳ සාකච්ඡාව ආරම්භවන්නේ ධනේශ්වර ක්‍රමයේ ආරම්භයත් සමග ය.

පුරාතන ලෝකයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බොහෝදුරට ආගමික වූත්, සාම්ප්‍රදායගත වූත් චාරිත්‍ර-වාරිත්‍ර ලෙසින් පැවතියේ ය.

ධනේශ්වර සමාජ ක්‍රමයේ ආරම්භය සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් කිරීමට ධනේශ්වර දේශපාලන විද්වත්හු වගබලාගත්හ.

ඒ අනුව ඔවුන්ගේ සුවිශේෂ අවධානය යොමු වූයේ රාජ්‍යයක ජනතාව වෙත නොව රාජ්‍යයක භූමිය හා ස්වභාවික සම්පත්වල බලාධිකාරය සම්බන්ධව ය. රාජ්‍යයක ඒකීයභාවය, ස්වෛරීයභාවය සහ භෞමික අඛණ්තාව යන සංකල්පය ඉස්මතු කෙරෙනුයේ ඒ අනුව ය.

එහෙත් මෑතක් වන විට දිනෙන් දින ඉහළට යන ජාතික හා ජාත්‍යන්තර ජනතා අරගල මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ වැඩි අවධානය රාජ්‍යයක ජනතාවගේ මූලික අයිතීන්, වගකීම්, යුතුකම්, බලතල සුරක්ෂිත කොට පාලක බලධාරිත්වය විසින් සිදුකෙරෙන මර්දනය, පීඩනය, දූෂණය ආදියට එරෙහිවීමට ඇති ඉඩකඩ සංරක්ෂණය කිරීම කෙරෙහි යොමු වී ඇත.

සංවාදයට විවෘතයි.

-ගුණසේන ඩයස් දහනායක

Leave a Comment