වෙනස සැප ද?

2015 ජනවාරිය ලංකාවේ බොහෝ දේ වෙනස් කළේ ය. කෙසේවත් වෙනස් කළ නොහැකියැ යි පාරම් බෑ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජයවීමෙන් එම රෙජිමයේ පාලනයද වෙනස්විය . නමුත් එය නාමික ව පමණක් සිදු වූවක් ය. ඉතාමත් කෙටි කාලයක් තුළ අහම්බෙන් පොදු අපේක්ෂකයා වූ මෛත්‍රී රටේ විධායක ජනාධිපතිවරයා විය.

රටේ රාජ්‍යය බලය ගැනීමට කිසිම සූදානමක් නොමැතිව සිටි රනිල් වික්‍ර‍මසිංහ රටේ අගමැතිවරයා විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාට එදිරිව සටන්කළ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නිතරගයෙන්ම පක්ෂයේ නායකයා බවට පත්විය. බැලූ බැල්මටම අප රටේ දේශපාලනය ගලා ගිය ස්වරූපය හා සන්සන්දනය කිරීමේ දී සිදුවීම් සියල්ල ඉතාමත් අහඹු සිදුවීම් ලෙස පෙනී යනවා ඇත. ඒ අලුතින් පිහිටවූ රජය පැත්තෙනි.

කිසිසේත්ම නොසිතූ පරාජයක් අත්කරගෙන බලවත් කම්පනයකින් අගමැති රනිල් සැපයූ හෙලිකොප්ටරයකින් මැදමුලන බලා පසුබැස ගෙදර ජනේලයේ එල්ලී ජනතාව ඇමතූ හිටපු ජනපතිවරයා පෙරට වඩා ඒ මොහොතේ බොහෝ වෙනස් ව සිටියේ ය. ඇත්තෙන්ම අත්වූ පරාජය නිසා ඔහු බලවත්ලෙස කම්පනයට පත්ව සිටියේය. එපමණක් නොව බියටද පත්ව සිටියේ යැ යි පැවසුවහොත් එයද අතිශෝක්තියක් නොවනු ඇත. එනිසාම ඔහු පක්ෂයේ සභාපති තනතුර මෛත්‍රීපාල ජනාධිපතිවරයාට නොමිලයේම පිරිනැමීමට හිත හදාගත්තේය. එය ද බරපතල වෙනසක් විය.

අනෙක් වෙනස වන්නේ  පරාජිත මහින්ද දැක බලාගැනීම සදහා දිවයිනේ නන්දෙසින් තංගල්ලේ කාල්ටන් නිවස වෙත මහජනතාව ගෙන්වා ගැනීමට ඉතාමත් සියුම්ව යෙදන ලද උපාය මාර්ගයයි.

පසුව එළඹුණු මහමැතිවරණයට මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගලින් තරග කිරීමද සෑහෙන වෙනසක් විය. ඉන් අනතුරුව රැස්වූ පාර්ලිමෙන්තුවේ විපක්ෂ නායකයා ලෙස සම්බන්දන් මහතා පත්වීම ද තවත් බරපතල වෙනසකි.  අනෙක වන්නේ පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍ර‍ථමවරට ඒකාබද්ධ විපක්ෂය නමින් තවත් විපක්ෂයක් නිර්මාණය වීමයි. මෙම සිදුවීම්වලට සමගාමීව එකාබද්ධ විපක්ෂය නියෝජනය කරන්නන් විසින් සංවිධානය කරනු ලැබූ පොල් ගැසීමේ  ව්‍යාපාරද තරමක වෙනසක් ගෙනාවේ ය.

ඉන්පසු රටට බරපතලම වෙනස ගෙනෙනු ලබන්නේ යහපාලන රජය විසින් පත් කරන ලද ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපතිවරයා විසිනි. ඒ බැඳුම්කරය යි.  නවපාර්ලිමෙන්තුව රැස්වූදා සිට ම පාර්ලිමේන්තුවේද බරපතල වෙනසක් දක්නට ලැබෙන අතර එයනම් පාර්ලිමේන්තු සම්ප්‍ර‍දායන්ට අනුව එක දිගට රැස්වීමක් පැවැත්වාගෙන යාමට නොහැකි වීමය. දෙතුන් වතාවක් සභාව කල් තැබීමෙන් පසුවද ඉතා උණුසුම්ව පාර්ලිමේන්තු රැස්වීම් පවත්වා ගෙනයාමට හැකිවීම ද තවත් වෙනසකි.

සියලු වෙනස්කම් අතර දක්නට ලැබෙන තවත් ප්‍ර‍ධානතම වෙනස්කම වනුයේ යහපාලන රජය ඇරඹි දා සිට රටපුරා පැතිර යන උද්ඝෝෂණ රැල්ල හා විරෝධතා සහ වැඩවර්ජන ක්‍රියාවලිය යි.  මෙම ක්‍රියාවලියේ ද පැහැදිලි වෙනසක් දක්නට ඇත. එනම් බොහෝ විරෝධතා හා උද්ඝෝෂණ වලින් පැවැසෙන කාරණය කලින් රාජපක්ෂ රජය විසින් නිර්මාණයකර යහපාලනයට ප්‍රදානය කරන ලද ඒවා ය. එසේම  වත්මනෙහි ඒවා පිටුපස මෙහෙයුම් කටයුතු වල නියැළී සිටිනුයේ ද කලින් රජයේ මැති ඇමැතිවරුන් වීම තවත් කැපී පෙනෙන වෙනසකි. මුලින්ම ටෙලිකොම් හා විදුලිබල මණ්ඩලයේ මෑන්පවර් සේවකයන් විසින් අරඹන ලද මෙම වෙනස අනතුරුව ආබාධිත රණවිරුවන් හරහා බොදුබල සේනා ඥානසාර හිමියන් අධිකරණය ඉදිරියේ සිදුකරන ලද අතිගෞරවනීය හැසිරීම ද ඒ වෙනුවෙන් ඉදිරිපත් වූ මහානායක හිමිවරුනගේ අතිපූජනීය ප්‍ර‍කාශයන්ද රටේ ජනතාවට භක්ත්‍යාදර වෙනසක් හිමි කරදුන්නේ ය. එමෙන්ම දැනට මාස කිහිපයක සිට කොලඹ නගරයේ සියලු මාවත් අවහිර කරමින් අ.වි.ශි.බ.ය විසින් පවත්වන විරෝධතා මාලාව හා පොලීසිය විසින් ඔවුනට එළව එළවා පිරිනමන ජලප්‍ර‍හාරයන් මෙන්ම කඳුළු ගෑස් ප්‍ර‍දානයන්ද සිසු නායකයන් පොලීසිය විසින් රක්ෂිත බන්ධනාගාරය වෙත මහත් ආදරයෙන් කැඳවාගන යාමද අමුතුම ආකාරයේ වෙනසක් නිර්මාණය කර තිබේ.

එමෙන්ම තමන්ගේ දරුවන් පමණක් රටේ උසස් විදුහල්වලට ඇතුලු කර ගැනීමට ඉසුරුපායේ සත්‍යග්‍ර‍හ කළ රජයේ වෛද්‍යවරු නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට සයිටම් වසා දැමීමටත් දරන අපරිමිත උත්සාහයද බරපතල වෙනසක් සපයමින් ඇත. එම සටන වෙනුවෙන් ඔවුනට රිසි රිසි සේ වර්ජනය කිරීමට ලබාදී ඇති අයිතිය ද මෙරට රෝහල්වල සිටින අසරණ රෝගීන්ටද  අනුවේදනීය වෙනසක් ලබා දී ඇත. ලංකා ඉතිහාසයේ ප්‍ර‍ථම වතාවට සූරියවැව ක්‍රීඩාංගනයේ තාවකාලිකව සේවයට ගත් අයගේ කලිසම ගලවා ගැනීමෙන්  ඉතාමත් පැහැදිලි වෙනසක් ක්‍රිකට් බලධාරින් විසින් සිදුකළෝ ය.

ජනවාරි 8 වෙනිදායින් පසුව මේ රටේ සිවිල් පුරවැසියන් භුක්ති විඳි මේ අසිමිත වෙනස ඛනිජ තෙල් සේවකයන්ගේ වර්ජනයෙන් අමන්දානන්දයට පත්කර ඇත. ඛනිජ තෙල් සේවකයන් සාම්ප්‍ර‍දායික වෘත්තිය සමිති ඉල්ලීම්වල වෙනසක් කරමින් ඔවුන්ගේ ඉල්ලීම් මාලාවට රටේ දේපළ රැකගැනීමේ දේශපාලන ඉල්ලීම ද ඇතුළත් කොට අනෙක් වෘත්තීය සමිතිවලට ආදර්ශයක් සැපයීම ද සැබෑ වෙනසක් විය. එලෙසම මුලු රටම අකර්මන්‍ය කරලීමට හැකියාවක් තිබූ එම අරගලයට බාධා පමුණුවමින් රජය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කර හමුදාව යොදවා තෙල්බෙදාහැරීමට කටයුතු කිරීමද යහපාලන රජයේ  රට පාලනය කිරීමේ වෙනසක් සනිටුහන් කරනු ඇත.

ඉතා කෙටියෙන් දැක්වූ මෙම සිදුවීම් මාලාව සමග බැඳී පවතින සරල සත්‍යය නම් යහපාලන රජයට වඩා ඒකාබද්ධ විපක්ෂයට, ඔවුන් විසින් වසර 15ක පමණ සිට ස්ථානගත කරන ලද නිලධාරී පෙළැන්තිය තවමත් සේවය කරමින් ඇති බවය. ඉහළ අමාත්‍යංශ ලේකම්වරයාගේ සිට ගමේ සමෘද්ධි නියාමකවරයා දක්වා එය පැතිර ඇත. ඒවා අමු අමුවේ එළියට ආ අවස්ථා ලෙස සූරියවැව ක්‍රිකට් ක්‍රිඩාංගනයේ සිදුකල කලිසම් ගලවා ගැනීමත් රයන් ජයලත් අත්අඩංගුවට ගැනීම සඳහා අනුගමනය කළ ක්‍ර‍මවේදයත් පමණක්  සලකා බැලීම සෑහෙනු ඇත. යහපාලනයට නුවණ නැතිවුවද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය රොටිය ඕනෑම අවස්ථාවක  පුළුස්සාගැනීමට හැකිවන පරිදි තැටියේ රස්නය කෙසේවත් අඩුවීමට ඉඩක් නොතබා රත් කරනා බව  දේශපාලනය ගැන ඉවක් ඇති අයට පසක්වනුඇත. ඒ සඳහා ඔවුන් රණවිරු ලේබලයත් සිංහල බෞද්ධ ජාතිවාදයත්, බෞද්ධ භික්ෂුවත් අඩුවැඩි වශයෙන්  ප්‍රයෝජනයට ගන්නා බව පැහැදිලි කරුණකි.

– සරත් රත්නායක

Leave a Comment