රවි දැන් ඇති – බැස යන්න!

රවි කරුණානායක සංසිද්ධිය සැමගේ ම ප්‍රධාන මාතෘකාව බවට පත් ව තිබේ. රවි කරුණානායක මුදල් ඇමැතිවරයා ලෙස පත්වීමේ ඇති නිර්ආචාරධාර්මිකත්වය පිළිබඳ “නිවහල්” අප කතා කළේ මේ සිදුවීම් සිදුවන්නට පෙර ය. ප්‍රකට ව්‍යාපාරිකයෙක් මුදල් ඇමැති ලෙස පත්වීමේ ආචාරධාර්මිකත්වය අපි එදා ප්‍රශ්න කළෙමු. ඒ බව සඳහන් කරමින් නිවහල් අප ලියූ ලිපි පහත සබැඳි ලෙස පළ කරමු.

කෙසේ වෙතත්, මේ වන විට දුමින්ද සිල්වා සින්ඩ්‍රෝමය වැළඳී තිබෙන අයුරක් බැඳුම්කර විමර්ශන විශේෂ ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි දෙන අයුරෙන් පෙනී යයි. තමන් සුද්දයි කියන්නට රවි කරුණානායක ගන්නා උත්සාහය අතිනිර්ලජ්ජිත ය. මේ පහත් දේශපාලුවා මෙරට ජනතාව වෘෂභයන් ලෙස සිතා කටයුතු කරනවා වැන්න.

<<ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුලිද ලිවේරා මහතා –

මේ නිවසට කුලී ගෙවා තිබෙන්නේ අර්ජුන ඇලෝසියස් සතු සමාගමකින් නේද?

රවි කරුණානායක මහතා –
ඒ ගැන මම දන්නේ නෑ. මම දන්නා විදියට මගේ බිරිඳ හා දරුවන් අධ්‍යක්ෂ ධුර දරන ජී.ටී.එල්. සමාගම මෙම නිවසට මුදල් ගෙවූ බවට රිසිට් තිබෙනවා. මම ජී.ටී.එල්. සමාගමෙන් 2015 ජනවාරි අයින් වුණා. ඉන් පසු බිරිඳ හා දරුවන් තමයි එය පවත්වාගෙන ගියේ. ඔවුන් අපි දැනට පදිංචි නිවස මිලදී ගත්තා කියලා මට කීවා. මම ඒ නිවස මිලදී ගැනීමේ ගනුදෙනු ගැන දන්නේ නැහැ. මගේ බිරිඳගෙන් ඒ ගැන අහන්න ගියෙත් නෑ.>>

සරම ඔසවා මුහුණ වසාගන්නා රවි කරුණානායක ඊනියා යහපාලන ආණ්ඩුවේ පැවැත්ම පිළිබඳ තීරණාත්මක සාධකයක් වනු ඇත. දැනගන්නට ඇති පරිදි රවි කරුණානායක එක්සත් ජාතික පක්ෂයට කර ඇති මූල්‍ය ආධාර ද මෙහි දී තීරණාත්මක වනු ඇත. කෙසේ වෙතත් බැඳුම්කර මගඩිය හරහා කොල්ල කෑ මුදල් මේ වන විට රටේ විවිධ ව්‍යාපාර සඳහා යොදවා ඇති බව කවුරුත් පාහේ දනිති. ඒ මෙරට ජනතාවගේ මුදල් ය. රවිගේ අම්මා අප්පා දුන් බූදලය නොවේ. රවි තනතුරෙන් ඉවත් කර ප්‍රශ්නය විසඳාලීම කෙසේවත් සෑහෙන්නේ නැත. මගඩියෙන් වංචා කරන ලද ජනතා මුදල් අයකරගෙන මේ මහා වංචාවට සම්බන්ධවූවන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු ය. ඒ වෙනුවෙන් මහජන ව්‍යාපාරයක් ඇති විය යුතු ය.

“නිවහල්” රවි කරුණානායක පිළබඳ පළ කරන ලද ලිපි.

රවි කරුණානායක සාර්ථක ව්‍යාපාරිකයෙකි

විලිලැජ්ජ නැතිකම මුදල් ඇමැතිකමට වඩා ලොකුයි!

Leave a Comment