සදාචාරයේ සුළි මැද සසැළෙන මිනිසුන්ගේ කතාව – සුළි මැද (නො)පිපි තඹර

The cage bird sings

with a fearful trill

of things unknown

but longed for still

and his tune is heard

on the distant hill

for the caged bird

sings of freedom

  • Maya angulo

‘සුළි මැද පිපි තඹර’ මා මෑත කාලයේ කියවූ දැනෙන නවකතා නිර්මාණයක්. එය වඩාත් දැනෙන නිර්මාණයක් වූවේ ලාංකික මා දන්නා ගැහැනිය එහි නිරූපිත නිසා සහ මේ තරම්ව භෞතිකව දියුණු සමාජයක සියල්ලන්ම මානසිකව සිරගත වුවන් ලෙස සිටීම කතුවරයා ඉතා මැනවින් නිරුපණය කර ඇති නිසාවෙන්. තරමක වෙහෙසකර ආරම්භය තරමක් සම්ප‍්‍රදානුකුල වේශයක් කතාවට ලබා දුන්නත් එහි ඇතුළතට පිවිසි පසු එවන් වෙහෙසක් මා අත් වින්දේ නැහැ. ඒ මම සහ මා දන්නා ගැහැනුන් මට එහි මුණගැසුණු නිසාවෙන් සහ ඔවුන් මා තුළ පණ ගන්වන්නට කතුවරයා සමත් වූ නිසාවෙන්. ‘සුළි මැද පිපි තඹර’ මා මෑත කාලයේ කියවූ දැනෙන නවකතා නිර්මාණයක්. එය වඩාත් දැනෙන නිර්මාණයක් වූවේ ලාංකික මා දන්නා ගැහැනිය එහි නිරූපිත නිසා සහ මේ තරම්ව භෞතිකව දියුණු සමාජයක සියල්ලන්ම මානසිකව සිරගත වුවන් ලෙස සිටීම කතුවරයා ඉතා මැනවින් නිරුපණය කර ඇති නිසාවෙන්. තරමක වෙහෙසකර ආරම්භය තරමක් සම්ප‍්‍රදානුකුල වේශයක් කතාවට ලබා දුන්නත් එහි ඇතුළතට පිවිසි පසු එවන් වෙහෙසක් මා අත් වින්දේ නැහැ. ඒ මම සහ මා දන්නා ගැහැනුන් මට එහි මුණගැසුණු නිසාවෙන් සහ ඔවුන් මා තුළ පණ ගන්වන්නට කතුවරයා සමත් වූ නිසාවෙන්.

තරමක සාම්ප‍්‍රදායානුකුල ඇරඹුමකින් වුවත් ඇතුලාන්තය දිව යන්නේ පුරුෂ ලිඟුවකට බියේ දුවන ස්ත‍්‍රීන් පමණක් නොව පුරුෂයින්ද සිටින සමාජයක ඛේදවාචකය හසු කරගනිමින්. එම ඛේදවාචකය කෘත‍්‍රීම පුරුෂ ලිඟුවක් සමඟ කරන රංගනයක් බවට පත්කරමින් කතුවරයා එක්තරා සහවේදනයකින් යුතුව මේ ඛේදවාචකය හසු කරගන්නා බව පැවසිය හැකියි. ඒ ඔහුත් මේ සමාජයේ මේ නාටකයේ චරිතයක් නිරූපණය කරන නිසාවෙන්. නෙළුම්,ජයතිස්ස, ඇතුළු පිරිස සමඟ අපද මේ නාටකයේ ප‍්‍රධාන චරිත බවට නිතැතින්ම පත් වනවා.

මෙහි ප‍්‍රධාන චරිතය ගැහැනියක්. කතුවරයා පිරිමියෙක්. ඔහු තමා අත්විඳින ගැහැනියව ඔහුගේ මනෝරූපික ගැහැනියව අප තිරය මත රඟදක්වනවා. දුරස්ථපාලකය ඔහු සතු වන අතර පුරුෂ මූලික සමාජයේ ගැහැනියගේ ඛේදවාචකය හසු කරගැනීමට ඔහු සමත් වී තිබෙනවා. එහෙත් නිතරම මෙහි හමු වූ නෙළුම් සේ ම, පළමුව පෙරළිකාර චරිතයක් ලෙස පැමිණ පසුව සාම්ප‍්‍රදායික ගැහැනියක ලෙසම වෙස් ගන්වන නුවර නංගි නිසාවෙනුයි මා සිතන්නේ කතුවරයා දුරස්ථපාලකය අතේ තබා ගෙන මේ චරිත හැසිරවූ බව. අවම තරමින් නුවර නංගිට හෝ ඔහුගේ ඒ පාලනයෙන් මිදිය නොහැකි වී තිබෙනවා. පොත කියවන ඔබ ගැහැනියක නම් මා සිතනවා ඔබ මා සමග අනිවාර්යයෙන්ම එකඟ වනු ඇති කියා. නිතරම සම්ප‍්‍රදාය බිඳින්නට සහ ලාංකික ගැහැනියගේ සිරගත ජීවිතය සංසන්දනයට ඔහු ගෙනෙන්නේ ලින්ඩා නම් විදේශික කාන්තාවක්.

මේ නිර්මාණය මා වින්දා නොව විඳිමින් විඳවූවක්ද වුවා. ආසියානු ස්ත‍්‍රියගේ පැවැත්මේ ඛේදවාචකය, ගැහැනියගේ ඛේදවාචකය, මගේ ඛේදවාචකය ඔහුට හසු වී තිබෙනවා. මා ලිවිය යුතු දෙය මගේ චරිතය ඔහු විසින් නිර්මාණය කර තිබෙනවා. එය මා රිදවන්නක් වුවා මෙන්ම කෘතිය සමඟ ඒකාත්මික වීමටද එය මට උපකාර වූ බව කිවයුතුම වනවා. අප සමාජයේ පැතිකඩවල් සහ ගැහැනිය පිලිබඳ එළියේ මති මතාන්තර මෙහි සඳහන් කිරීමට මා වෙහෙස ගන්නේ නැහැ. ඒ සියල්ල අප දන්නා නිසාවෙන් සහ කට පාඩම් නිසාවෙන්.

එක හුස්මට වෙහෙසකින් තොරව කියවිය හැකි ලෙස වැල්වටාරමින් තොර භාෂාවක් ඔහු භාවිතා කරනවා. අනවශ්‍ය අලංකාර වචන නොඑබ්බවිම ගැන මා කතුවරයාට ණයගැති වන්නේ එය මගේ කියවීමට උදව්වක් වුණ නිසා. මේ මොහොතේ ජීවිතය මේ මොහොතේ භාෂාවෙන් ඔහු වර්ණවත් කරනවා. ඒ වගේම ගණන් හිලව් හදමින් ජීවිතය මැන බැලීමට නෙළුම් පෙළඹෙනවා. එය හරිම අපූර්ව වන්නේ ඇත්තට ම ජීවිතය දැනටමත් එලෙස සංඛ්‍යාගත වී ඇති නිසා. ජීවිතය ඩිජිටල් වී ඇති නිසා. ‘‘ඈ තම පොතට පිටු 2100 හිතෙන් ඇතුලත් කළා. ඒ ඇය අවුරුදු 70 ජිවත් වේයැයි අනුමාන කරමින්. එක් වසරකට පිටු 30 බැගින් වෙන්කිරීමෙන්. වසරකට පිටු 30 ක් ප‍්‍රමාණවත් නොවෙතැයි ඈ හිතූ නමුත්’’ එලෙස ම නිතරම ඔහු නෙළුම්ගේ සහ සැමියාගේ යහන වට කර තිබෙන මදුරු දැළ විස්තර කරන්නේ සාංකේතීයව අප වටා එළාගෙන සිටින දැළ සිහියට නගමින්. මේ දැළ පිරිමියා නොදන්නා මුත් ඔහු වටාත් එතී තිබෙනවා. කතුවරයා එය මනාව හසුරවමින් වීර පිරිමි චරිත වෙනුවට ගැහැනියව පාලනය කරන්නට ගොස් බෙලහීනවන පිරිමින් හරහා සිය ප‍්‍රකාශනය පාඨකයා වෙතට ගෙන එනවා. නමුත් අවසානය, ගැහැනියගේ අවසානය තීරණය කිරීමේ බලය ජයතිස්සලා සතුවීම ඔහුගේ දුරස්ථපාලකය පිලිබඳ යම් සැකයක් මා තුළ දල්වන්නට සමත් වනවා.

ඒ වගේම දෘශ්‍ය රූප මැවීමට සමත් සරල භාෂා විලාසය නිසාවෙන් අධ්‍යක්ෂක ලෙස තමා කැමති මුහුණු නිර්මාණය කරවාගෙන එය තමා තුලම රඟ දක්වා ගැනීමට කතුවරයා මොනවට ඉඩ හසර සලසා තිබෙනවා. ‘සුළි මැද පිපි තඹර’ කම්මැලිකමකින් තොරව එක දිගට  කියවා යා හැකි කතාවක් වන්නේ  පාඨකයාටද එහි චරිතයක් ප‍්‍රදානය කිරීමේ ජිවගුණය කතුවරයා විසින් එහි රඳවා ඇති බැවින් වීම විශේෂයක් වනවා. මෑත කාලයේ  බිහි වූ සුවිශේෂී  නවකතාවක් ලෙස ‘සුළි මැද පිපි තඹර’ පාඨකයා තුළ කම්පනයක් ඇති කරවීමට සමත් කෘතියක් ලෙස හැඳින්වීමට මා කැමතියි.

 

– ඉරේෂා ජසෙන්තු

දිවයින පුරා ප්‍රධාන පොත්හල්වලින් සහ අන්තර්ජාලය හරහා පහත සබැඳියෙන් මේ කෘතිය මිල දී ගත හැකි ය.

https://www.kbooks.lk/suli_mada_pipi_thambara_indika_gunawardana

Comments are closed.