අතීත වර්ජනවලට ලැබුණු ප්‍රතිචාර! (කම්කරුවාගේ කථාව 20 කොටස)

ලංකාවේ සංවිධිත දෙවන වැඩ වර්ජනය ලෙස  වාර්තා වී ඇති රෙදි අපුල්ලන්නන්ගේ  වර්ජනයේ මුල් අවස්ථාව පිළිබදච අප පසුගිය කොටසින්  සාකච්ඡා කළෙමු.

මෙම වර්ජනයේදී ද එවකට ලංකාවේ තිබූ මුද්‍රිත මාධය දෙපිලකට බෙදී කරැණු වාර්තා කළ ද බොහෝ පුවත්පත් ආරම්භයේ සිටම වර්ජකයන්ට එදිරිව පාලකයන්ට පක්ෂව  මිත්‍යාවන් වැපීරීමෙහි හා වර්ජකයන් බිය වැද්දීමේ කොන්ත්‍රාත්තුව  ඉතා හොඳින් සිදුකර ඇතිබව  අධ්‍යනයේදී  සනාථ වෙයි. එසේ වුවද ඇතැම් පුවත්පෙත් මෙන්ම  මධ්‍යම පාන්තික ආණ්ඩු විරෝධී  සමහර පුද්ගලයන් පවා පුවත්පත්වලට ලිපි සපයමින් වර්ජකයන් ධෛර්යමත් කොට ඇති අවස්ථාද  තිබී ඇත. එමෙන්ම මුද්‍ර‍ණ කම්කරුවන්ගේ වැඩවර්ජනය  පරාජයට පත් වුවත්  එමගින් අති කරන ලද බලපෑම  විශේෂයෙන් කොළඹ කේන්ද්‍රීයව  උගත් මාධ්‍යම පාන්තික යම් සමාජ ස්ථරවලට  සපයන ලද දේශපාලනික  උත්තේජනයක් මෙන්ම සංවේදීතාවයක්ද  විය. නගරයේ වැඩකරන කම්කරු පිරිස් පිළිබඳව  මෙම පිරිස සානුකම්පිතව කල්පනා කිරීමටත් ඔවුන්ගේ ඇතැම් ගැටලුවලදී ඉදිරිපත්ව  විසඳාදීමටත් ඉදිරිපත්වන  සුලු  බවක් මොවුන් කෙරෙන් ප්‍ර‍කාශිත වූ බව ඉතිහාසයේ සටහන්ව ඇති නමුත් මොවුන් කෙදිනකවත් වෘත්තීය සමිති සටන් හෝ කම්කරු වර්ජනවලට හෝ සහාය දක්වන පිරිසක් නොවූ බවද සටහන්ව ඇත. මධ්‍යස්ථවාදීන් ලෙස නම්කෙරෙන මොවුන්  කම්කරුවන්ගේ මිත්‍ර‍යන් ලෙස පෙනී සිටින අතර විවිධ කම්කරු අරගලවලදී කම්කරුවන් හා සේව්‍යයා අතර  බේරුමක් කිරිමට ඉදිරිපත්වන්නෙකුගේ භූමිකාව සිදු කළ පිරිසක් ලෙසද හැඳින්වෙන  අතර මෙම පිරිස  විශේෂයෙන් රෙදි අපුල්ලනන්ගේ අරගලය තුළ ඉස්මතුව පෙනී සිට ඇත. 1896 වසරේදී ඇරඹි  මෙම වැඩවර්ජනය එම දශකයේ පැවැති දීර්ඝතම මෙන්ම සටන්කාමී වැඩවර්ජනය ලෙසද වාර්තා වී ඇත.

අප කලින් සදහන් කළ පරිදි වැඩවර්ජනය කාලය මුලුල්ලේම  ලංකාවේ පුවත්පත් වර්ජකයන් පරාජය කිරීමට නේකවිධ මිත්‍යා ප්‍ර‍බන්ධ  ගොතමින්  සුදු පාලකයන් ගේ ආණ්ඩු‍වේ පාලනයට ආශීර්වාද කළහ.

එලෙසම සුදු පාලකයන්ගේ අවනීත  පාලනය පිළිබදව  කළකිරී සිටි පිරිස්  මෙම වර්ජනයේ දී වර්ජකයන් වෙනුවෙන් පෙනී සිටිමින් පුවත්පත්වලට පවා ලියමින් තම විරෝධය  ප්‍ර‍කාශ කල අවස්ථාද විය. ටයිම් ඔෆ් සිලෝන් පත්‍ර‍ට  ලිපියක් සැපයූ අයෙක්. “ මෙය නාගරික පාලනය  කරණකොටගෙන කොළඔ නගරයේ වර්ධනය වෙමින්  පවත්නා අර්බුදයේ ප්‍ර‍ථම ලක්ෂණය වෙයි. මේ අවාසනාවන්ත නගරයේ පවතින තත්වය  කෙබදඳු දැ යි කිවහොත්  රෙදි අපුල්ලනනන්ගේ සටන විජයග්‍ර‍ණය  වනු ඇතැයි ප්‍රාර්ථනා කරමු “යි ලිවීය.  ඔහු තවදුරටත් අදහස් පළකරමින්  “නගර සභා පාලකයින්ට  ආණ්ඩුවට  රෙදි අපුල්ලන්නන්  ලියාපදිංචි කරවීම සදහා  ඔවුන් අවනත කර ගැනීමට  අවශ්‍යව ඇත්තේ නොපසුබට උත්සාහය හා නොනැමෙන  මුරණ්ඩුකමක් පමණක් යයි පාලකයන් කල්පනා කරන බව පෙනේ. මහජනයා හිතුවක්කාර හා කෘෘරතර ක්‍රියා ඉවසීමට හැම විටම  සූදානම් නැති බව පෙන්වීමට  මෙම වැඩවර්ජනය පාලකයිනට කදිම පාඩමක් උගන්වනු ඇතැයි” ද  බලාපොරොත්තු පළ කරමින්  ලිපිය අවසන් කර තිබිණ.

එසේ වුවත් බ්‍රිතාන්‍ය නිලධාරින්ද  ලාංකික මධ්‍යම පාන්තික බහුතරයද  මුද්‍ර‍ණ වර්ජනයේ මෙන්ම  මෙම වර්ජනයට ද බරපතල විරෝධයක් පළ කළහ. ඔවුන්ගේ මතය වූයේ මෙවැනි වර්ජනවලට  අවනත වුවහොත් මුලු රටේම  වර්ජන ඇතිවිය හැකි බැවින්  හැකි සියලු බලයන් යොදා  වර්ජනය පරාජය කල යුතු බවයි.  ඒඅනුව  එවකට සිටි ආණ්ඩුකාරවරයා  රෙදි අපුල්ලන්නන්ට  තදින් තරවටු කරමින් වැඩවර්ජනය නීතීවිරෝධී මෙන්ම රාජද්‍රෝහියයි ප්‍ර‍කාශයට පත්කළේ ය. එලෙසම කිසිදු  පුරවැසියෙකු නීතියට කීකරු වීම සඳහා  සිය වගකීමෙන් නිදහස් කිරීමට තමන්ට බලයක් නැතැයිද, රෙදි අපුල්ලන්නන්  නොනවත්වාම  නීතියට එදිරිව සටන් වැදුණහොත්  ඔවුන් නගර සභාවට  මහජනතාවට විරුද්ධව නොව  ආණ්ඩුවට හා ආණ්ඩුවේ සියලු බලයන්ට  විරැද්ධව සටන් කිරීමට සිදුවනු ඇතැයි  අනතුරු ඇඟවීය. මෙම තර්ජනයෙන්ද නොනැවතුණු ආණ්ඩුකාරවරයා  වර්ජනය අඩපණ කිරීම සදහා  යුධ හමුදාවෙහි හා දුම්රිය අධිකාරීන්ගේ ද සහයෝගය  ලබාගන්නා ලදී. පොලීසිය මගින් සමහර වර්ජකයනට නඩු පැවරීමටද කටයුතු කෙරුණි.

වර්ජකයන් බිය ගැන්වීම සදහා ආණ්ඩුවට පක්ෂපාත සියලු මුද්‍රිත මාධ්‍ය යොදා ගත් අතර වර්ජනය පරාජයට පත්කරන තෙක් ඔවුනගේ මෙහෙය වූයේ අමූලික මුසාවාද ගලපා තම පුවත්පත අලෙවි කිරීමය. රෙදි අපුල්ලන්නන්ගේ වෘත්තිය කරනුයේ එක් කුලයකට අයත් මිනිස්සු  පමණක් බැවින් ආණ්ඩුව තරමක අපහසුතාවයට පත් වූ බවද නොරහසකි. එහෙත් ඇතැම් පුවත් පත් ප්‍ර‍කාශ කරනු ලැබුයේ මේ වන විටත් සිංගප්පූරැවේ සිට චීන රෙදි අපුල්ලන්නන් 107ක්  ලංකාව බලා පැමිණෙමින් තිබෙන බවය. තවත් පුවත්පතක් කියා සිටියේ ලංකාවේ සිරකරුවන් වහාම මෙම කාර්ය සදහා යොදවා ගත යුතු බව යි. එලෙසම ඉදියාවේ මදුරාසියෙන්  රෙදි අපුල්ලනන් ගෙන එන බවත් මුද්‍රිත මාධ්‍යය  පතුරුවා හරින ලද  බොරු ප්‍ර‍චාර අතර විය. එහෙත් මෙම සියලු බියගැන්වීම් හමුවේ  ලංකාණ්ඩුව හා මහජනතාව පුදුමයට පත් කරමින්  පුරා සති තුනක්  සාර්ථකව වැඩවර්ජනය පවත්වාගෙන යාමට තරම්  ඔවුන් දක්ෂ වූහ.

 

෴ සරත් රත්නායක ලියයි.

කුමාරි ජයවර්ධනගේ “ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ නැඟීම” කෘතිය ඇසුරෙනි.

පෙර කොටසට පිවිසෙන්න..

ලංකාවේ දෙවැනි වැඩවර්ජනය රෙදි අපුල්ලන්ගෙන්!

Comments are closed.