නව ව්‍යවස්ථා යෝජනාව අගුළ මුදාහළ අත්බෝම්බයක් ද?

‘ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් සහිතව සම්මත කිරීම සඳහා නායකත්වය ලබා දිය යුතුව ඇත්තේ ජනාධිපතිවරයා විසින්ය. මා මෙවර ජනාධිපතිවරණයට රටේම ජනතාවගේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට තීරණය කළේ මෙම කර්තව්‍යය සම්පූර්ණ කරලීම සඳහාය.’
– මෛත‍්‍රී පාලනයක්-ස්ථාවර රටක් (13 පිටුව)

ඒ 2015 දී වත්මන් ජනාධිපතිවරයා සිය මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කර ඇති ප‍්‍රකාශය යි. රටේ ම ජනතාවගෙන් බහුතරයක් වත්මන් ජනපති මෛත‍්‍රීපාල සිරිසේනට පක්ෂව ඡන්දය ප‍්‍රකාශ කළේ මෙය ඉටු කරන්නට ය. දැන් සිදුව ඇත්තේ කුමක් ද?

ව්‍යවස්ථා සංශෝධනය යනු අගුළ මුදාහළ අත්බෝම්බයක් මෙන් කිසිවෙකු අතට ගන්නට බියෙන් සිටින යමක් බවට පත් වී තිබීම ය. කොයි වේලේ පුපුරා යා දැ යි බොහෝ අය බියෙනි. ඒ ගැන කතා කිරීමත් වසංගතයක් පැමිණියා වැනි තත්වයක් උද්ගත කරන්නකි. 1978 ජේ.ආර්. ජයවර්ධන ජනපතිවරයා විසින් සම්මත කරන ලද ව්‍යවස්ථාව වනාහි අමුතු ම තාලේ ගැජට්ටුවකි. විපක්ෂයේ සිටින විට සෑම සියලු දේශපාලන පක්ෂයක් ම පාහේ එය දකින්නේ රාක්ෂසයෙකු විලසිනි. අඩු තරමෙන් මෙය රැගෙන ඒමට මූලික වුණු එක්සත් ජාතික පක්ෂය පවා විපක්ෂයේ සිටිය දී මේ ගැන මුනිවත හෝ රකිති. පසුගිය බල පෙරැළියේ දී එ.ජා.ප. ය ද සහිතව මූලික වශයෙන් එකඟ වූ කරුණක් නම් ව්‍යවස්ථා සංශෝධනය යි. විධායක ජනාධිපති ධුරය අහෝසි කැරලීම යි. සිදුනොවන්නේ ද එය ම යි.

තවදුරටත් මෙරට කේන්ද්‍රීය ප‍්‍රශ්නය ජනවාර්ගික ප‍්‍රශ්නය යි. තවදුරටත් රටෙහි දේශපාලනය සම්බන්ධ බලපෑම් සහගත වන්නේ එය යි. මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ විපක්ෂයට ආණ්ඩුව බියගැන්විය හැකි ව තිබෙන්නේ අන් කවරක් නිසා ද? ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අවි අමෝරාගෙන සිටින්නේ කවරහු ද? සිංහල බෞද්ධ අන්තවාදීන් පිරිස මිස වෙන කිසිවෙක් නොවේ. ජනතාවගේ ඉඩම් අක්කර දහස් ගණන් වටකොටගෙන පිහිටුවා තිබෙන මිලිටරි හමුදා කඳවුරු හකුළුවා ජනයාට සිය හිමිකම් ලබා දෙන්නට සූදානම් වන්නේ නම් ‘රට කොටින්ට දෙනවෝ’ කියමින් පෙරට එන්නේ කවු ද? සිංහල බෞද්ධ අන්තවාදීන් මිස අන් කවරෙකු හෝ නොවේ.

මෙය අමුතු තත්වයක් ද නොවේ. නව ව්‍යවස්ථාවක් ගෙන එන්නෙමැ යි වහසි බස් දොඩා බලයට පත් මෛත‍්‍රී-රනිල් ආණ්ඩුව නොදන්නවා ද නොවේ. සිදුව ඇත්තේ, ජනපතිවරයා මහින්ද රාජපක්ෂ වටා පොදිකන සිංහල බෞද්ධ අන්තවාදී ඡන්ද ගොඩ වෙත කෙළ හැළීම ය. රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා ද සිය බුද්ධිවාදී එළැඹුම පැත්තක දමා ඊනියා ජාතික වීරයාට අඳින්න යාම ය.

2010 දී එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ගෙනා 18 වැනි සංශෝධනය තිබෙන ඒකාධිපතිත්වය තවදුරටත් අන්තයක් වෙත ගෙනා අතිශය නින්දනීය සංශෝධනයක් බව සිහිබුද්ධිය ඇති කවුරුත් පාහේ පිළිගන්නවා ඇත. නමුත් මෙයට එකඟව පෙරට ආයේ මල්වතු පාර්ශ්වය යි. එවක එහි අනුනායක නියංගොඩ විජිතසිරි හිමියෝ 18 වැනි සංශෝධනයට බලලෝභය අතහැර සහය දෙන්නැ යි අනෙක් දේශපාලන නායකයන්ගෙන් උදක් ම ඉල්ලා සිටියෝ ය. අඳෝමැ යි! බලලෝභී පණතට සහය පළ කළේ බලලෝභී නොවන්නැ යි කියමිනි. ප‍්‍රතිවාදී ජනාධිපති අපේක්ෂකයා බල්ලෙක් මෙන් ඇදගෙන ගොස් හිරගත කරද්දී ද, ලසන්ත වික‍්‍රමතුංග ඇතුළු මාධ්‍යවේදීන් ඝාතනය කර තවත් සමහරුන්ගේ අඬු කඩද්දී ද, බීමට දිය පොදක් ඉල්ලූ රතුපස්වල ජනයා වෙඩි තබා මරා දමද්දී ද, යටත් පිරිසෙයින් තම බල මූල කේන්ද්‍රය වූ නුවර දළදා බිමේ පාරවල් වසා රුසියානු ගණිකාවන් ගෙන්වා ජෝගි දමමින් කාර් රේස් පවත්වද්දී ද නෑරුණු මහා නායක ශ‍්‍රී මුඛ පසුගිය දා අධිපතිවාදී ස්වරයෙන් ඇරී තිබුණි. ‘නව ව්‍යවස්ථාවක් එපා’ සය ‘බලහත්කාරයෙන් මිනිසුන් අතුරුදන් කිරීමට එරෙහි පණත එපා’ යනුවෙනි. සංඝ සමාජයට එතරම් අධිපතිවාදී ලෙස ව්‍යවස්ථාව එපා කියන්නට ඇති බලය කුමක් ද? ලක්ෂ 62ක් ජනතා කැමැත්තට සංඝ සමාජයට අභියෝග කළ හැකි නම් මැතිවරණ පවත්වන්නේ අහවල් කෙංගෙඩියකට ද? අනෙක් අතට ‘බලහත්කාරයෙන් මිනිසුන් අතුරුදන් කිරීමට එරෙහිව’ ගෙනන පණත එපා කියන්නේ, නව බුදුදහමෙන් මිනිසුන් අතුරුදහන් කිරීම වරදක් ලෙස නොගැනෙන නිසා ද? නැතිනම් බලහත්කාරයෙන් අතුරුදන් කිරීම නිවන් යෑමට සමාන බව සංඝ නායකත්වය සිතනවා වත් ද?

රනිල්-මෛත‍්‍රී ආණ්ඩුව ද සිංහල ස්වෝත්තමවාදී ඡන්ද ගොඩට කෙළ හළනවා හැරෙන්නට නව ව්‍යවස්ථාවක් ගෙන එන්නටවත්, මෙරට ජනවාර්ගික අර්බුදය විසඳන්නටවත්, මෙරට ශිෂ්ටසම්පන්න රටක් කරන්නටවත් සැබෑ වුවමනාවක් ඇත්තේ නැත. මෛත‍්‍රීපාල ජනපතිවරයා කෙළ හළන ඡන්ද ගොඩ වනාහී කිසිදාක මහින්ද රාජපක්ෂගේ සටන් පාඨ තෙපලුවා කියා මෛත‍්‍රී වෙත එන්නේ නැත. වත්මන් ජනපතිවරයා ‘දුවන මුවන් දැක නෙලූ පලා’ මෙන් ඉවත දමන්නේ තමන් බලයට පත් කරන්නට වෙහෙස මහන්සි වූ ජනතාවගේ අපේක්ෂාවන් ය. 2020 දී මහින්ද වටා සිටින සිංහල ස්වෝත්තමවාදී බලවේග තමා වටා එකතු වේ යැ යි සිතමින් කටයතු කිරීම මෛත‍්‍රීගේ දේශපාලන අනාගතය විනාශ කරනවා පමණක් නොව, රටෙහි අදීන නායකයකු ලෙස ඉතිහාසගත වන්නට ඔහුට තිබූ අවස්ථාව ද විනාශ කරගැනීමකි.

මෙරට කේන්ද්‍රීය ප‍්‍රශ්නය සයිටම්වත්, ඩෙංගුවත් නොවේ. ඒවා කාලීන වැදගත් ප‍්‍රශ්න බව සැබෑ ය. කේන්ද්‍රීය ප‍්‍රශ්නය ජාතික ප‍්‍රශ්නය යි. මෙරට වෙනත් ව්‍යවස්ථා සංශෝධන අවස්ථාවන්වට සාපේක්ෂව මෙවර සැලකිය යුතු තරමකින් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව ව්‍යවස්ථා සංශෝධන යෝජනා ගෙනැවිත් තිබේ. ආණ්ඩුවට සැබෑ වුවමනාවක් මේ කෙරෙහි ඇත්නම් රාජ්‍ය බලය දරන්නන් ලෙස රට මේ කෙරෙහි සූදානම් කළ යුතු ය. තමන් සතු මාධ්‍ය ඒ වෙනුවෙන් බල ගැන්විය යුතු ය.

‘පානා අඬහැරය අනුව නම් හානා හීය’ පෙනෙන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් සිදු නොකෙරෙන අයුරු ය. ඉදිරි මැතිවරණයක දී ද ව්‍යවස්ථා සංශෝධනය යන සටන් පාඨය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන මත, වේදිකාමත නැවතත් තොරොම්බල් කෙරෙනු ඇත.

-සඳුන් ප‍්‍රියංකර විතානගේ

(ඇත්ත පුවත්පතේ ද පළ විය)

Comments are closed.