කල්ප කාල යුග ආත්ම ඇසුරේ ඔබ උන්නා !

සුභාවිත ගීතයක් අසන්නට ලැබීම යනු මෙකල අතිශය දුර්ලභ සිදුවීමක් ය. බස් රථයකට නැගී ගියත්, ගුවන්විදුලි නාලිකාවකට අහම්බෙන් සවන් දුන්නත් රූපවාහිනිය නැරඹුවත් අසන්නට, දකින්නට ලැබෙන්නේ සිරුරේ ලේ ධාතුව කුපිත කරවන තාලේ හස්ත විකාර මුඛ විකාරයන් ය. ඇඟ මස් පිඬු පුම්බාගත් ගායක-ගායිකාවන් කියාගන්නාවුන්ගේ මේ නරි-නාටක දකින කල නිබඳව ම සිතට නැගෙන්නේ ස්වර්ණමය ගී රචකයෙකු, කවියෙකු වූ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ “කෝමළ රේඛා” කෘතියෙහි එන මෙවදන් ය. කලෙකට පෙර ඔහු කී මේ දෑ අද ශතසහස්‍ර ගුණෙයකින් ඉතිර පැතිර තිබේ.

“සෞම්‍ය, කාන්ති, චන්ද්‍ර, අම්බරේ, රමණී, ශ්‍රියා, සෝබන, ප්‍රේම, සුන්දර, රම්‍යා යන වචන ඒ මේ අත මාරු කළ පමණින් වේදයිතයක් නොලැබේ. සෞම්‍යා, කාන්ති වැනි වචනවල ඇත්තේ සරුවපිත්තල වැනි දිස්නයක් පමණි. රට පිත්තල භාණ්ඩයන්ගේ කන්දොස්කිරියා හඬට මේ සරුවපිත්තල වචන ටික එකතු කිරීම නිසා හේන්වල සතුන් එළවීම පිණිස බඳින ටකයේ ගණයට සිංහල සංගීතය පිරිහී ගියේය. ටකයේ හඬ වුවමනා කරන්නේ කුරුල්ලන් එළවීමටය. සංගීතය මිනිසුන්ට වුවමනා වනුයේ මඟුල් ගෙවල ශබ්ද විකාශන මඟින් හඬ තැළීම පිණිස ය. … පූර්ණවර්ධන සිටාණෝ යනුවෙන් කාගෙදෝ නම් ගම් කිය කියා හඬතැළීමෙන් කිසියම් වින්දනයක් ඇතිවෙයිද? සුසුදු පෙමේ… මගෙ කුසුමේ.. අනේ සුදෝ යන විදියේ වචන පන්දාහක් යෙදුවත් ඇයි ද මා හැර ගියේ…, කෙලෙසද මා ඉවසා ඉන්නේ යනාදී දුක් අ‍‍ඳෝනා සිය ගණනක් යෙදුවත් ප්‍රේමයක් ඇති වෙයිද? පෙම් හැඟුමන් ඇතිවීමට නම් එයට වුවමනා කරුණුවලින් සිතට විඳීමක් ඇති කළ යුතුය. ඔබේ පා ළඟ ඇදවැටෙමි, නිවන් දකිනතුරු වඳිමි, නියරැස් ගඟුලේ ගිලෙමි, මම ඔබට ගැතිවෙමි., මේ අසරණයාගේ වැඳුම් පිළිගනු මැනව, ඔබ නැත්නම් මා අසරණයෙකි යනාදී වශයෙන් අවුරුදු ගණන් කීවත් භක්තියක් ඇතිවෙයිද?”

මෙයින් අදහස් වන්නේ, සුභාවිත ගීත මෙරට නිර්මාණය නොවනවා කියා නොවේ. වෙර වීරියෙන් එවන් නිර්මාණයක් කරගත්තත් ඒවායේ නිර්මාපකයන්ට රසිකයා වෙත එකී නිර්මාණ ගෙන යාමට ප්‍රධාන ධාරාවන්ගෙන් නම් ඉඩක් නොලැබේ. අධිපති ප්‍රධාන නාලිකාවන්හි ගීත ජනප්‍රිය කරගැනීම වෙනුවෙන් රජයන අශ්ලීල ක්‍රියාදාමය මා සටහන් නොකළාට බොහෝ අය සටහන් කර තිබේ. නමුදු තම නිර්මාණ රසිකයා වෙත ගෙන යෑමට නූතන සමාජ මාධ්‍ය භාවිත කරගැනීමේ අවස්ථාවක් දැන් නිර්මාණකරුවන්ට එළැඹ තිබේ. යූ ටියුබ්, ෆේස්බුක් වැනි අවකාශ ඊට ඉඩහසර සපයයි. හොඳ නිර්මාණයක් කරන්නට හැමවිටම උත්සාහ දරන අපගේ හිතවත් දර්ශන අශෝක කුමාරගේ පදරචනයකින් ගීයක් බවට පත් වූ “ඔබ උන්නා” ගීතය මා ඇස ගැසුණේ යූ ටියුබ් සැරිසරද්දී අහම්බෙනි.

කලෙකින් අසන්නට ලැබුණු රෝමොද්ගමනය කරන තාලේ පද එම ගීයේ අන්තර්ගතව තිබේ. පද ගැලපුම මනෝහර ය. වර්විණනාවිෂයාතික්‍රාන්ත ප්‍රේමය වචන මතට ගෙන ඊම පහසු නොවේ. රමණීය ප්‍රේම බන්ධනයක දී  කොතරම් සාමාන්‍ය අවස්ථාවක් වුවත් දැනෙන්නේ මනහර ලෙසින් නොවේ ද?

අඳුරත් එළියත් යා වුණු මොහොතක
පාලුව අතරේ රන්වන් එළියක
ඔබ උන්නා

ප්‍රේමය නම් රමණීය මනෝභාවය හිස-හිත දරද්දී ප්‍රබල භෞතිකවාදී අදහස් දරන්න්නට පවා හැඟී යන්නේ මේ බන්ධන ආත්ම ගණනක සිට පැවත එන ඒවා ලෙසිනි.

සීතල පණ ඇති පිනි බිඳු බිස්සේ
අහසේ ගෑවෙන තණ බිම් මැද්දේ
කල්ප කාල යුග ආත්ම ඇසුරේ
ඔබ උන්නා

“පණ ඇති පිනි බිඳු” යන යෙදුමත් “අහසේ ගෑවෙන තණබිම්” යන යෙදුමත් මවන්නේ අපූරු සංකල්පනාවන් ය. ඒවායේ ඇති ප්‍රතිවිරෝධී බව ම විවිධ අරුත් ජනනය කරයි.

තම ප්‍රියයා තමා අසල නැතත්, යම් බඳු මොහොතක තමා වෙත නොසිටියත් ඈ හෝ ඔහු තම හුස්ම සමඟ සිටින්නේ යැ යි සිතීම ම ප්‍රේමයේ නිසඟ ලකුණක් නොවේ ද?

ගොළු වී උන්නත් සිසිලක් නොම දී
ඔබ ඇති උණුසුම් හුස්මක දැවටී

බොහෝ ගීවල ආකෘතියෙන් මෙය වෙනස් ය. අද්‍යතනයේ සුලබ ව සවන් පීරිගානා විරහාලාපයක් නොවන මේ ගීය නංවන්නේ යම් බඳු විප්‍රයෝගී ශෘගාර රසයකි. සමන් ලෙනින්ගේ හඬ ඒ වෙනුවෙන් ඉටු කරන්නේ සාධාරණයකි. ගීතයට සංගීතය යොදා ඇත්තේ ද දර්ශන අශෝක කුමාර ම ය. ඒ ගැන නම් මසිතේ ඇත්තේ කහටකි. පදරචනය සහ ගැයුම සමඟ සමඅසුන් ගන්නට නාදමාලාවට නොහැකි වී ඇතිවාක් වැන්න. පසුබිමින් වැයෙන නාද කඨෝර යැ යි සිතේ. ගායකයා සහ නාදමාලාව සුසංගත වනවා වෙනුවට එකිනෙකා පරයා යන්නට තතනනවා වැන්න.

කොහොමත් සමන් ලෙනින්ගේ ගැයුම්වලට සැපයෙන සංගීතය ගැන යමක් කියන්නට හිතා සිටියෙමි. එයට ද මේ අවස්ථාවක් කරගනිමි. සමන් ලෙනින් යනු සුභාවිත ගීතයේ අනාගතය වෙත සැපයුණු සුදුර්ලභ සම්පතක් බව සැබෑ නමුත් ඔහු සිය මිත්‍ර සන්ථවය වටා කැරකි කැරකී සිටීමෙන් ඔහුටත් රසිකයාටත් පොදුවේ සංගීතයටත් සිදුකරන්නේ හොඳක් නොවේ. ළඟම කවයේ මිතුරන් පද රචනා කරයි. දර්ශන රුවන් දිසානායක නැත්නම් කලාතුරෙකින් වෙනත් මිතුරෙක් නාදමාලාව සපයයි. සමන් ගයයි. මෙය චක්‍රයක් මෙනි. විවිධ සංගීතඥයන්, විවිධ පද රචනා ඇසුර විචිත්‍රවත් නිර්මාණ බිහි කරන්නේ වෙයි. පතීගේ සිනමාපටයට ජයසිරිට ගී ලියන්නැයි පතී ඇරයුම් කරන්නේ පතීට ගී ලියන්න බැරි නිසා නොවේ. සිය නිර්මාණ කටයුතු ගැන අවලෝකනයක් කිරීමට සමන් ලෙනින්ට කාලය එළැඹ තිබේ.

යූ ටියුබ් ඔස්සේ මේ ගීයට සවන් දීමේ ප්‍රජාතන්ත්‍රවාදය දැන් ඔබට හිමි ය.

– සඳුන් ප්‍රියංකර විතානගේ

One Comment

  1. පිස්සු පූසා says:

    ඇත්තටම වෙනස් සිංදුවක්. පද මාලාව ලස්සනයි ඒත් සංගීතය ගැලපෙන්නේ නෑ වගේ.