නිදහස් අධ්‍යාපනය යනු කුමක් ද?

සයිටම් අප වෙත ගෙන ආ ප්‍රශ්න සමුදායක් ඇත. ඉන් පළමුවැන්න නිදහස් අධ්‍යාපනය පිළිබඳ ගැටලුවයි. නිදහස් අධ්‍යාපනය යනු නොමිලේ අධ්‍යාපනය ද?

රජයේ අධ්‍යාපන පද්ධතිය තුළ නිදහස් අධ්‍යාපනය යථාර්ථයක් ද?

අප පළමුව විසඳාගත යුත්තේ නිදහස් අධ්‍යාපනය කුමක් ද යන්න ය. ඇත්තෙන් ම අප දන්නා පරිදි සෑම දරුවෙකුට ම ප්‍රාථමික අධ්‍යාපනයෙන් පසු තමන් කැමති විෂය තමන් කැමති භාෂා මාධ්‍යයකින් උසස් අධ්‍යාපනය හැදෑරීමේ අයිතිය තිබිය යුතු අතර ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් රජය විසින් සම්පාදනය කර දිය යුතු බවයි. එම අයිතිය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය තුළ ද ගැබ්ව ඇත.

සත්‍ය ලෙස ම මේ නිදහස අප රටේ පාසැල් පද්ධතිය තුළින් සිසුන් වෙත ලැබෙනවා ද යන්න මඳක් විමසා බැලිය යුතු ය. අප පාසැල් පද්ධතියේ ඇති ද්වීතිය පාසල් 6384 කි. ඉන් විෂය ධාරා 04 මෙන් ම උසස් පෙළ විභාගය සඳහා අධයාපනය ලබා දිය හැකි පාසැල් ඇත්තේ 681ක පමණි. වෙනත් ආකාරයට පවසන්නේ නම් අප රටේ පාසල් පද්ධතිය තුළ විද්‍යා විෂය ධාරාවෙන් සහ තාක්ෂණ විෂය ධාරාවෙන් අධ්‍යාපන පහසුකම් ඇති පාසල් ඇත්තේ 681ක් පමණි. එනම් අනෙක් පාසල් 5703ම ඉගෙන ගන්නා ළමුන්ට විද්‍යා විෂය ධාරාවෙන් ඉගෙන ගැනීමට ඇති නිදහස අහුරා තිබේ. එසේ තිබිය දී නිදහස් අධ්‍යාපනය ගැන පුරාජේරු කීම අවාසනාවකි. නිදහස් අධ්‍යාපනයේ ප්‍රභාව රැකගැනීමට දිවිහිමියෙන් කැප වෙන කෙළක් වෘත්තීය සමිති ඇතත් පළමු වසරට දරුවකු ඇතුළු කරගැනීමට දෙමාපියන් විඳිනා දසවධය දුටු විට නිදහස් අධ්‍යාපනයේ ආශ්චර්ය දෙපිටින් යයි.

තමන් කැමැති විෂය ධාරාව ඉගෙනීමට නොලැබුණත් කිනම් හෝ විෂය ධාරාවකින් උසස්පෙළ විභාගයට පෙනී සිටිනා සිසුන්ට ඊළඟට අත්වන ඉරණම සලකා බලමු. 2016 වසරේ අපොස උසස්පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමට සුදුසුකම් ලැබුවන්ගේ ප්‍රතිශතය 51.43% ක් වන අතර සුදුසුකම් ලැබූවන්ගෙන් විශ්වවිද්‍යාලයට ඇතුළත් කරගනු ලැබූ ප්‍රමාණය 18.61% ක් පමණි. දිවිහිමියෙන් රකින්නට වලිකන්නේ මෙවන් නිදහස් අධ්‍යාපනයක් ද?

සරසවියකට පිවිසීමේ නිදහසෙහි සිට උසස් අධ්‍යාපනය හැදෑරීමට ඇති අයිතිය ද අහිමි කරන ලද රටක නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් යැ යි වඩවර්ජනය කරන දොස්තරලා ද ගුරුසංගම් ද ශිෂ්‍ය ව්‍යාපාර මෙන් ම පෙරටුගමනේ මෙන් ම පසුපසින් ද යන අවස්ථාවාදී දේශපාලන ව්‍යාපාර විශ්වවිද්‍යාලයට යාමට සුදුසුකම් ලබා එහෙත් එම අවස්ථාව අහිමිකරනු ලැබූවන් වෙනුවෙන් පෙළපාලි යන්නේවත් පා ගමන් යන්නේ තබා කිසිදු හඬක් නගන්නේ වත් නැත.

එම සංඛ්‍යා ලේඛනවලම වෛද්‍ය විද්‍යාලයට ඇතුළත්වීමට සුදුසුකම් ලබා වරම් නොලද සිසු පිරිස ද වන අතර එම පිරිස පිළිබඳව අප මේ මොහොතේ සිතිය යුත්තේ කුමන පසුබිමක් යටතේ ද? සත්‍ය ලෙස ම රජයේ වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත් කරගනුයේ සායනික පුහුණුව ලබා දීමට හැකියාව ඇති ප්‍රමාණයට අනුව බව ඉතා පැහැදිලි කරුණකි. වෛද්‍ය පුහුණුවේ ඇති විශේෂත්වය ද එය ම වේ. දේශන මාලාවක් මෙන් නොව රෝහලෙහි රෝගීන් සමග කෙරෙනා අධ්‍යයනය රෝගීන්ට ද රෝහල් කටයුතුවලට ද අනුකූල වන පරිදි සිදුවිය යුතු ය. එසේ නම් දැනට පවතින රජයේ වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත් කරගන්නා සිසුන් ප්‍රමාණය කෙසේවත් වැඩිකල නොහැකි බව ද සත්‍යයකි. එසේ නම් රජය විසින් වහාම අලුතින්  සායනික පුහුණුව  ලබා දිය හැකි රෝහල් ආශ්‍රිතව තවත් වෛද්‍ය පීඨ ඉදි කළ යුතු ව ඇත. ප්‍රශ්නය වනුයේ මෙම අවශ්‍යතාවය සපුරාලීමට තරම් රජයට මූල්‍යමය හැකියාවක් පවතිනවා ද යන්න ය.

පොදුවේ විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමට සුදුසුකම් ලබා එම අවස්ථාව නොලැබුණ කලා,වානිජ විෂය ධාරාවලින් උගත් සිසුන් සඳහා උපාධියක් ලබා දෙන උසස් අධ්‍යාපන අමාත්‍යංශය හඳුනාගත් පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන 17ක් දැනට ලංකාවේ පවතින බව 2016 වසරේ මහබැංකු වාර්තාව මගින් පෙන්වා දී තිබේ. මෙම ආයතන 17 මගින් පිළිගත් දේශීය උපාධි පාඨමාලා 96ක් පිරිනමන බව එහි තවදුරටත් සඳහන් වෙයි. උසස් අධ්‍යාපන අමාත්‍යංශයට අනුව මෙම ආයතනවල උපාධි සඳහා වාර්ෂිකව ලියාපදිංචි වන සිසුන්ගේ ප්‍රමාණය 4000ක් පමණ වන බවත් 2016 වසරේ දී මෙම ආයතන 15ක පමණක් සිසුන් 11500ක් පමණ පිරිසක් දේශීය උපාධි පාඨමාලා හදාරමින් සිටි බව ද තහවුරු කෙරී තිබේ.

මෙයින් ගම්‍ය වනුයේ වෛද්‍ය උපාධිය හැර අනෙක් උපාධි පාඨමාලා හැදෑරීමට පෞද්ගලික අංශයේ ඉඩ-කඩ විවර වී දැනට බොහෝ කලක් ගෙවී ඇති බව යි. මෙම තත්වයන් කල් තියා දුටු මහාචාර්ය හින්නිනිලමේ විසින් ලාබ නොලබන ආයතනයක් ලෙස පෞද්ගලික ව්‍යෛ විද්‍යාලයක් පිහිටුවීමේ සංකල්පය 1975 තරම් අතීතයේ දී ඉදිරිපත් කළ අතර 1977 බලයට පත් ජේ.ආර්. ජයවර්ධන රජය මගින් උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය නමින් 1980 වසරේ දී ආයතනයක් පිහිටුවන ලදී.  එදා රට තුළ ඇති වූ භීෂණකාරී තත්වය ම ප්‍රයෝජනයට ගනිමින් ජ.වි.පෙ. සහ වෛද්‍ය සිසුන් සමහර පිරිසක් විසින් විශාල ජීවිත ප්‍රමාණයක් බිල්ලට දී බුද්ධිමතුන් පිරිසක් අමු අමුවේ මරා දමමින් කරන ලද විරෝධයේ ප්‍රතඵලයක් ලෙස එය සපුරා රජයට පවරා ගන්න ලදී.

සයිටම් හි අද දකින්නට ලැබෙන ගුණාත්මකභාවය සහ අය කෙරෙන අතිවිශාල මුදල පිළිබඳ ප්‍රශ්නයේ දී අප ද ඊට විරුද්ධ වන නමුත් ඉතා හොඳ ප්‍රමිතියෙන් යුතු හා රාජ්‍ය නියාමනයකින් යුත් ලාභ සඳහා නොවන පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක අවශ්‍යතාව අද පෙරටත් වඩා ඇතිව තිබේ. ඒ සුදුසුකම ලැබුවේ වුව ද රජයේ වෛද්‍ය විද්‍යාලවලට වැද්ද නොගන්නා ශිෂ්‍ය පිරිස දිනෙන් දින වැඩි වන බැවිනි. අද විදේශ අධ්‍යාපනය සඳහා වාර්ෂිකව 11000ක සිසු පිරිසක් යොමුවන අතර ඔවුන්ගේ අධ්‍යාපන වියදම් සඳහා වසරක කෝටි 744ක මුදලක් පිටරටට ඇදී යන බව නිදහස් අධ්‍යාපනය සුරකින්නන් නොසලකා හැරීම අභාග්‍යයකි. මේ මුදලින් බොහෝ කොටසක් නොරට කඹුරා, ජීවිතය පවා කැපකොට ගෘහ සේවය ආදියෙන් රටට ලැබෙන ආදායම යි.

මේ සයිටම් විරෝධය මතින් යටපත්ව ඇති සැබෑ ප්‍රශ්නය නම් මෙයයි.

පෞද්ගලීකරණයට ඔබ එකඟ ද? අධ්‍යාපනයට ඔබ එකඟ ද යන ඒවායි.

රාජ්‍යය පද්ධතියේ ඇති කිසියම් පාසලක් හෝ අධ්‍යාපන ආයතනයක් පෞද්ගලික අංශයට විකුණා දමන්නේ නම් අප ඊට එක හෙළ විරුද්ධ වමු. එහෙත් පෞද්ගලික දේපොළ ක්‍රමයක් ඇති රටක තවත් පෞද්ගලික ව්‍යවසායක් ඇති කිරීම ගැන විරුද්ධ නොවෙමු. රාජ්‍ය අංශයේ බැංකු පද්ධතියක් ඇති මෙරට තවත් පෞද්ගලික බැංකු විශාල ප්‍රමාණයක් තිබේ. බොහෝ විට ඒවායේ සේවාවන් රාජ්‍ය බැංකුවලට වඩා යහපත් ය. පෞද්ගලික බැංකු ඇති කරද්දී කිසිවෙක් පෙළපාලි ගිය බවක් අප නොදනිමු. සමුපකාර සතොස තිබෙද්දී ෆුඩ්සිටි සුපිරි වෙළඳසැල් විවෘත විය. රජයේ රෝහල් තිබිය දී පෞද්ගලික රෝහල්, චැනල් සෙන්ටර් මෙන් ම දොස්තරලාගේ කුඩා කුඩා කඩ හැම ගමක් නගරයක් ගානේ ම පැටව් ගැසුවේ ය. ඒවාට එදිරිව එකෙක් බෝඩ් ඉස්සුවේ නැත.

මෙය සරල සත්‍යයකි. නොතේරෙන යමක් නොවේ. ගැටලුව වී ඇත්තේ ජනතාව ගොනාට අන්දවමින් සිය දේශපාලන ව්‍යාපෘති ක්‍රියාවට නංවා ගැනීම පමණකි.

– සරත් රත්නායක

 

Comments are closed.