බුදු බව ලැබූ ලුසී!

කෙතරම් ආකර්ෂණීය වුවද මම එකදිගට චිත්‍ර‍ටයක් බලන්නේ කලාතුරකිනි. මොනයම් හෝ හේතුවකට ටිකකට චිත්‍ර‍පටය නතර කර නැගිට යාමට සිදුවීම අනිවාර්යය. එහෙත් මා ලුසී බැලුවේ එක දිගටය. මා උන්නේ එතරම් නොයිවසිල්ලෙනි. මගේ හුස්ම වැටීම පවා බොහෝ අවස්ථාවල වේගවත් වනවා මට දැනුණි. චිත්‍ර‍පටය දර්ශන අතින් එතරම් පොහොසත් යැයි නොසිතුවද ඇස් එයට ඇද බැඳ තබා ගැනීමට අධ්‍යක්ෂ ලුක් බෙසන් සමත් වී තිබුණි. එය විද්‍යා ප්‍ර‍න්ධයකි. එහෙත් ඇත්තක් ඇතැයි යටි සිත කෑගසා කියනා ප්‍ර‍බන්ධයකි.

ලුසී ව ප්‍ර‍ථමයෙන් දකිද්දී පවා මට ඇයව පෙනුණේ අන් තරුණියන්ට වඩා ඉහළ බුද්ධියකින් යුත්, යථාර්ථවාදී, අවංකව ම ආත්මාර්ථකාමී දක්ෂ කෙල්ලක ලෙසය. ස්කාලට් ජොහැන්සන් එතරම් ප්‍ර‍බල අයුරින් ප්‍ර‍ථම දර්ශනයේදීම සිය චරිතය ස්ථාපිත කරන්නී ය. ලුසී නොසිතූ මොහොතක මත්ද්‍ර‍ව්‍ය ජාවාරම්කරුවන් අතට පත්වන හේතුව එතරම් වැදගත් නැත. එම මත්ද්‍ර‍ව්‍ය ජාවාරම්කරුවන් ඇය සහ තවත් තරුණයන් තිදෙනෙක් මත්ද්‍ර‍ව්‍ය ප්‍ර‍වාහනය කරන්නට ඉත්තන් ලෙසින් යොදා ගනී. ඉතා බලගතු, අධික්‍රියාශීලී මත්ද්‍ර‍ව්‍ය වර්ගයක් (ඔවුන් එය හදුන්වන්නේ CPH4 ලෙසිනි) මොවුන්ගේ සිරුරු තුළට ඇතුළු කෙරේ. යටි බඩේ කැපුමක් සමග අවදි වන ලුසී සහ අනෙක් තරුණයින් තිදෙනා ලොව රටවල් හතරකට පිටත් කර යවන්නේ ශරීරයට ඇතුළු කරන ලද අධිබලැති මත්ද්‍ර‍ව්‍යයද සමගිනි. මෙහිදී කෙසේ හෝ ලුසී තවත් මැරයින් කිහිප දෙනෙක්ගේ අතට පත් වී එක් මැරයෙක් අතින් පහර කෑමකට ලක් වන්නේ ඇගේ ගමනාන්තයට ළගා වීමට පෙරය. එහිදී ඔහු ගැසූ පහරකින් ඇගේ බඩෙහි වූ තුවාලය පෑරී ඇගේ ඇගට ඇතුළු කරන ලද මත්ද්‍ර‍ව්‍ය බෑගය කැඩී යයි. ඒත් සමගම මොහොතකින් ඒවා ඇගේ ශරීරය හා එක්වී ඇය තුළ වේගවත් ප්‍ර‍තික්‍රියාවක් සිදු වන්නේ ශාරීරික හා මානසික පෙරළියක් ඇති කරමිනි.

මේ සිදුවීම් වලට සමගාමීව සිදුවන තවත් දර්ශන පෙළකින් අපට හදුන්වාදෙන්නේ මොළයේ ක්‍රියාකාරීත්වය පිළිබදව පර්යේෂණ සිදු කරන මහාචාර්යවරයෙකුගේ චරිතයකි. ඔහු කියනා අන්දමට මොළයේ සමස්ත හැකියාවෙන් මිනිසා ප්‍රයෝජනයට ගන්නේ 10% ක් පමණි. මෙම ප්‍ර‍කාශයෙන්  මහත් විමතියට පත් වූ මම ඒ මොහොතේම අන්තර්ජාලය පිරික්සුවේ එය සැබෑවක්දැයි බැලීමටය. එහෙත් සෑම තැනකම මට දැකගත හැකි වූයේ එය මිත්‍යාවක් මිස සත්‍යයක් නොවන බවය. කෙසේ වෙතත් මට තවම එය ප්‍ර‍ශ්නයක් පමණි. එය ප්‍ර‍ශ්නයක් ලෙසින්ම තිබෙනවාට මම වඩාත් කැමති වන්නේ එය මිත්‍යාවක් යැයි සිතනවාට වඩා ප්‍ර‍ශ්නයක් යැයි සිතීම යම් තරමක බලාපොරොත්තු සහගත නිසාවෙනි.

මත්ද්‍ර‍ව්‍ය ශරීරගත වීමත් සමග මොළයේ ක්‍රියාකාරීත්වය 20% පසුකරමින් කෙමෙන් කෙමෙන් ඉහළ යාමත් සමග ලුසී වෙත අසාමාන්‍ය දැනුමක් ඇදී එන්නට පටන් ගනී. ශාරීරික වේදනාව නොදැනී යන ඇයට අන් අයගේ සිරුරු පාලනය කිරීමට, සෑම සියුම් ශබ්දයක්ම ඇසීමට, අතීතය ඉතාමත් නිවැරදිව අනුස්මරණය කිරීමට හැකියාව ලැබේ. ඇය පවසන්නේ ‘I can feel everything’ කියාය. විශ්වය, පෘථිවියේ භ්‍රමණය, ශරීරය තුළ රුධිර සංසරණය, සිය මොළයේ ක්‍රියාකාරීත්වය ඇයට දැනෙන්නට, ඇසෙන්නට පටන් ගනී. මට මෙය දැනෙන්නේ භාවනාවකින් මනස දියුණු කරගැනීම සේය. මට ඒ අත්දැකීම නැතත් ඒ පිළිබදව අසා ඇත්තෙමි. එතරම් විශාල මත්ද්‍ර‍ව්‍ය ප්‍ර‍මාණයක් එකවර ශරීරගත වීමෙන් ඇගේ මොළයේ ක්‍රියාකාරීත්වය ඉහළ යාමත් සමග විස්තර වන හැඟීම් හරහා භාවනාවෙන් හිත ඒකාග්‍ර‍ කරගැනීමත් සමග සිදුවෙනවා යැයි මා අසා ඇති දේ හි සමානත්වයක් මට පෙනෙන්නට ගත්තේ හුදෙක් මා බෞද්ධයකු නිසා විය හැකිය. එසේ නොමැති නම් භාවනාවෙන්ද මොළයේ ක්‍රියාකාරීත්වය වේගවත්වනවා වන්නට පුළුවන.

කෙසේ වෙතත් මෙය විද්‍යා ප්‍ර‍බන්ධයක් බව මම මටම නැවත නැවතත් සිහි කර ගන්නෙමි. ඇයට සිය ජීවිතය පැය 24 ක් රදවා ගැනීමට එම මත්ද්‍ර‍ව්‍ය තවත් ප්‍ර‍මාණයක් ශරීරගත කරගැනීමට සිදු වේ. ඒ සමග ඇගේ මොළයේ ක්‍රියාකාරීත්වය 50% දක්වා ඉහළ නගී. එක් අවස්ථාවකදී ඉතාමත් වේගයෙන් මෝටර් රථය ධාවනය කරනා ඇයට එහි සිටිනා අනෙක් පුද්ගලයා මෙසේ පවසයි. ‘I would rather be late than dead’. එහිදී ලුසීගේ පිළිතුර වන්නේ ‘We never really die’ යන්නය. ඔව් සැබැවින්ම අපට මරණයක් නැත. ආත්ම මැරෙන්නේ නැත. ඒ කියමන මට දැනුණේ එලෙසිනි. ලුසී අවසානයේ මහාචාර්යවරුන් පිරිසක් ඉදිරියේ සිය දැනුම ඔවුන්ට ලබා දීමට කටයුතු කරයි. ඇය පවසන්නේ ඇගේ මොළයේ විවිධාකාරයේ දැනුම පිරී පවතින බවය. භාවනාවෙන් හිත හෝ මොළය දියුණු කරගැනීමෙන්ද මෙසේ විවිධ දේ සම්බන්ධ දැනුම ඒකරාශී වන බව මම අසා ඇත්තෙමි. මෙහි එක් මහාචාර්යවරයෙක් පවසන්නේ මානව වගකීම වන්නේ සිය දැනුම ඉදිරි පරපුරට ලබා දීම යන්නය. එක්තරා ආකාරයකින් බුදුන් කළේත් එවැන්නක් නොවේ ද? එම මහාචාර්යවරුන් ඉදිරියේ වාඩි වී සිය දැනුම ඔවුන් හා බෙදා ගැනීමට සූදානමින් සිටි ලුසීව මට පෙනුණේ බුදු වන්නට ළං ව සිටිනා ශ්‍රේෂ්ඨ තැනැත්තියක් ලෙසිනි. ඇය පවසන්නේ පැවැත්ම රඳා පවතින්නේ කාලය මත යන්නය. එනම් කාලය පාලනය කළ හැකි විට පැවැත්ම පාලනය කළ හැකි බවය. ඇගේ මොළයේ ක්‍රියාකාරීත්වය 90% ට ළං වූ විට ඇය කාලය හරහා ගමන් කරන්නට පටන් ගනී. ඇයට කාලය නතර කරන්නට, ආපසු හරවන්නට හැකියාව ලැබේ. එක් ස්ථානයක සිට ලොව, විශ්වයේ ඕනෑම තැනක් දකින්නට හැකියාව ලැබේ. මෙය විද්‍යා ප්‍ර‍බන්ධයකින් එහා ගොස් මට මෙතරම් ළංව දැනෙන්නේ මා උගෙන ඇති බුද්ධ චරිතය, භාවනාව ආදිය සමග මෙහි ඇති සමීපත්වය හේතුවෙන් විය හැකිය. ඇගේ මොළය උපරිම ක්‍රියාකාරීත්වයට එනම් 100% තත්ත්වයට පැමිණි විට ඇය නොපෙනී යයි.

මට අනුව ඇය නිවන් දුටුවාය. නොඑසේනම් බුදු වූවාය. ඇය කොහේදැයි විමසන අයට ලැබෙන පිළිතුර වන්නේ ‘I’m everywhere’ යන්නය. එවන් මානසිකත්වයක් අත් කර ගත් අයෙකුට සිටිය නොහැකි තැනක් නැතුවා වන්නට ඇත.‍ ලුසීගේ සිරුරට වැරදීමකින් මත්ද්‍රව්‍ය ඇතුළත් වී ඇගේ මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි වූවාට යම් යම් භාවනාවන්, මොළය හා සම්බන්ධ ක්‍රියාකාරකම්, ගැඹුරු චින්තනය ආදිය ප්‍ර‍ගුණ කරමින් මොළයේ ක්‍රියාකාරීත්වය ඉහළ නංවා ගත්, අසීමිත දැනුමට ප්‍රවේශය ලබා ගත්, පැවැත්මේ වෙනස්ම තලයකට එළඹුණු මිනිසුන් කොතෙකුත් ඇතුවාට සැක නැත. නිවන හිත දියුණු කර ගැනීමද, මොළය දියුණු කර ගැනීමද යන ගැටලුව මට දැන් ඇත. කෙසේ වෙතත් ලුසී මා කියෙව්වේ මගේ වපසරියේ සිටය. එය විද්‍යාත්මක මිත්‍යාවක් වුවද, එම මිත්‍යාවට බුදු දහමේ සමහර විශ්වාසයන් (ප්‍ර‍බලතම විශ්වාසයන්) යොදා තිබීමෙන් බුදු දහමේ විශ්වීය ගුණය සනාථ වේ. එය දහමකි. ජීවිතය පිළිබද දහමකි. දැනුමේ පරතෙරට ගොස් ලබා ගත යුතු අවබෝධයකි. මා දන්නා බුදු දහමට ශ්‍ර‍ද්ධාවක් අවශ්‍යම නැත. විද්‍යාව හා කරට කර යන එවන් දහමක් ඇත්තේ ඇදහීමට නොව අධ්‍යනයට බව මගේ ඇති මතය මේ චිත්‍ර‍පටය හරහා සනාථ වීම සතුටකි. බුදු දහම හා සම්බන්ධව කාගේ හෝ හිත රිදෙන යමක් කියැවුණේ නම් හිත හදා ගනු මැන. සමාවක් අයදින්නේ නැත.

– දිල්ෂි තත්සරණී

2 Comments

  1. Charitha says:

    Meka mama ahapu modama kathawak..

  2. geeth says:

    mama liyanna hitiyath welawak nothibuna nisa athapasuna kathawak mage wachanawalinma liya etha. kathawata 100% ekagayi.