අලජ්ජි ගොසිප් අඩවි සහ හිරු වගාඩම්බර!

මාධ්‍යයක් ලෙස වෙබ් අවකාශය මෙරට විවෘත වූවාට පසුව වැඩි වශයෙන් ප්‍රචලිත වූයේ ගොසිප් සම්බන්ධ වෙබ් අඩවි ය. වෙබ්=ගොසිප් තත්වයට වෙබ් මාධ්‍ය මුල් කාලයේ දී වැටී තිබුණි. එයට හේතුව ලේඛනයේ බුහුටිබවක්, ප්‍රාමාණිකබවක් නොදැරූවන් අත මුල් යුගයේ එය පත් ව තිබු නිසා බව කිව හැකි ය. කෙසේ වෙතත්, දැන් දැන් ලංකාවේ ගොසිප් වෙබ් සිය අලජ්ජකමේ, නින්දිතභාවයේ සහ චෞරභාවයේ අවසානය දක්වා පැමිණ ඇති බව කිව හැකි ය.

මෙරට බොහෝ විද්‍යුත් මාධ්‍යන් සතුව ගොසිප් වෙබ් අඩිවියක් ද තිබෙන බව දැක්ක හැකි ය. ගුණාත්මක දේවල්වලට වඩා මිනිසුන්ගේ ජාගර සිතුවිලි අවදි කිරීමෙන් හිට්ස් සංඛ්‍යාව වැඩි කර ගැනුම පහසු බැවින් මේ ගොසිප් අඩවි සියල්ලක් ම පාහේ පහත් ලෙස ලිංගික කටයුතු මූලික ව ලිපි පළ කරනු දැකිය හැකි ය. ඒවා කොතරම් ජුගුප්සාජනක දැ යි කීමට වචන නොවේ. නෙත් ගොසිප්, හිරු ගොසිප් වැනි අඩවි මේ සම්බන්ධයෙන් කප් ගසා තිබේ.

(හිරු ගොසිප් වෙබ් අඩවියේ පළ වූ ලිපියක්)

 

මේ අඩවිවල මුල් පුටු හොබවන්නේ, කිසිදු ආචාරධර්මයක් ගැන තඹයකට නොතකන මවගේ උදරය වුව විකුණා මඩිය තරකරගැනීම ම ජීවන විලාසිතාව කරගත් එවුන් ය. රටට සමාජයට හෙන ගැසී ගියත් උන්ට කම් නොවේ. තම වාහනයේ ලීසිං වාරිකය ගෙවා ගන්නට හැකි නම් උන්ට ඒ ඇති ය. සමාජ සහ වෙබ් මාධ්‍යයේ ඇති අසීමිත නිදහස ප්‍රයෝජනයට ගන්නා මේ අඳබාලයන් කරන විනාශයෙහි තරම තව පරම්පරාවකට පසුව බලා ගත හැකි වනු ඇත.

මේ අලජ්ජින් විසින් කරන අනෙක් නින්දාසහගත කටයුත්ත නම් කිසිවෙකු විසින් ලියන ලද හෝ පරිවර්තනය කරන ලද ලිපියක් ඒ බුද්ධිමය ශ්‍රමය තඹයකට මායිම් නොකර ලියූ තැනැත්තාගේ නම ද කපා හැර තම ගොසිප් අඩවියේ පළ කිරීමයි. චාමර සුමනපාල ලේඛකයා විසින් ලියන ලද එවැනි ලිපියක් “නෙත් ගොසිප්” වෙබ් අඩවිය විසින් නම කපා දමා පළ කරන ලදී. චාමර විසින් කරන ලද මැදිහත්වීම මත ඒ අලජ්ජින් විසින් එය ඉවත් කරන්නට යෙදුණි. අාසන්න ම අනෙක් උදාහරණය සාවිත්‍රි විතානගේ ලේඛිකාව විසින් රිවිර පුවත්පතට ලියන ලද ලිපියක් ඇගේ නම කපා දමා “හිරු ගොසිප්” වෙබ් අඩවියේ පළ කිරීම යි. ඈ ඒ ගැන විමසන්නට එම නින්දාසහගත ලිපි පළ කෙරෙන වෙබ් අඩවියේ අධ්‍යක්ෂ කියාගන්නා තරිඳු ශෂින්ද්‍ර නැමැත්තාට දුරකතන ඇමතුමක් ගත් විට ඔහු කතා කළ ආකාරය අතිශය පුදුමසහගත ය. මේ තරිඳු නමැති පුද්ගලයා කතා කරන්නේ සාවිත්‍රි විසින් වරදක් කළ ගාණට ය. මේ රටේ බුද්ධිමය දේපළ පණත කියා දෙයක් තියනවා දැ යි සිතෙන තරම් ය. කවර හෝ ලේඛකයෙකු හෝ ලේඛිකාවක් ලිපියක් ලියන්නට වැය කරන බුද්ධිමය ශ්‍රමය මායිම් නොකර එය අවභාවිත කර මඩිය තරකරගන්නා මේ නිවටයන්ගේ වගාඩම්බර බලන්නට ද සිදුවන සන්දර්භයකි, උදා වී ඇත්තේ.

මෙම තත්වය සුළුවෙන් තැකිය හැකි නොවේ. රටේ සියලු තැන්වල අවිචාරය සහ හොරකම පද්ධතිගත වී තිබේ. එය බුද්ධිවාදී ක්ෂේත්‍රයන් වෙත ද පොළා පැන ඇත. සියලු ක්ෂේත්‍රවල අවිචාරය සහ සොරකමට විරුද්ධ වනවා සේ ම මේ තත්වයට එරෙහිව වහා කටයුතු කළ යුතු ව තිබේ. එ් වෙනුවෙන් සියලු ලේඛක, ලේඛිකාවන්, මාධ්‍යවේදීන්/වේදිනියන්, මත නිෂ්පාදන කාර්ය කරන්නන් සහ සමාජ ක්‍රියාකාරිකයන් මැදිහත් විය යුතු ය.

තමන්ගේ ලිපිය සම්බන්ධයෙන් විමසූ සාවිත්‍රි වෙත බුද්ධිමය දේපළ චෞර තරිඳු ශෂින්ද්‍ර වගාඩම්බර පාන අයුරු පහත සබැඳියේ ඔබට ඇසිය හැකි ය!

One Comment

  1. savithri Vithanage says:

    හිරුගොසිප් විතරක්ම නෙමෙයි මේ හොරකමේ නියැළිලා ඉන්නෙ. අග මුල ගලපලා වාක්‍යයක් ලියාගන්න බැරි අය උනාට මොකද, හොරකම් කරලා තව පොර ටෝක් දෙන්නත් එනවා.
    නිර්මාණකරුවන් සියලුම දෙනා මේ වැනි හොරු නිරුවත් කරන්න පෙරට ආ යුතුයි. ඔබේ බර ලිපිය නියමයි.