මහේක්ෂ කතිකාවෙන් ගිලිහුණු හොඳ කෘතියක්!

අච්චාරු සහ තවත් කතා

(කෙටිකතා සංග්‍රහයකි)

විරාජිනී තෙන්නකෝන්

සන්ථව ප්‍රකාශන

මිල – රුපියල් 250/

මෙරට සාහිත්‍යයේ ප්‍රධාන කතිකාව ගොඩ නැගෙන්නේ සම්මාන මූලික ව ය. එම සම්මාන ද බොහෝ විට මිත්‍ර බන්ධුතා කේන්ද්‍රවන අතර විචාරයන් නම් උදක් ම මිත්‍ර බන්ධුතා මූලික ය. ප්‍රකට ප්‍රකාශකයෙක් ප්‍රකාශයට පත් කර නැත්නම් හෝ ක්ෂේත්‍රයේ සමහර විචාර නාමධාරීන් හා පයුරු පාසනය නැත්නම් කොතරම් හොඳ සාහිත්‍ය කෘතියක් වුව ද කුණු මුල්ලට විසි වී යන්නේ ය. මේ වසරේ ද එකී තර්කනයට අදාළ උදාහරණ නැතක් සොයාගත හැකි වුව ද (සම්මානයන්ට නිර්දේශ කර ඇති සමහර සරල කීයවීම් නවකතා ආදිය සිහියට නගා ගන්න) ඒවා මගහැර අපට හැකි පරිදි එකී ගුණාත්මක සාහිත්‍ය කෘති පිලිබඳව හැ‍ඳින්වීමක් හෝ කරන්නට උත්සාහ කිරීම යෙහෙකැ යි සිතමු.

“අච්චාරු සහ තවත් කතා” කෘතිය ගැන ප්‍රවීණ ලේඛක නිශ්ශංක විජේමාන්න මහතා පුවත්පතකට විචාරයක් සම්පාදනය කර ඇති බව සිහිපත් කළ යුතුවන්නේ ඔහුට කෘතඥතාවය පිණිස ය.

“අච්චාරු සහ තවත් කතා” කෘතියෙහි කෙටිකතා 08ක් අන්තර්ගත ය. කෙටිකතාව නම් සාහිත්‍යාංගය තේරුම්ගෙන ලේඛිකාව නිර්මාණයන් ගොඩ නගා ඇති බව බැලූ බැල්මට පෙනෙන්නකි. සියලුම කතා පාහේ කේන්ද්‍ර කරගන්නේ අද්‍යතන සමාජ, දේශපාලන, සංස්කෘතික සහ ආගමික පරිසරය යි. කතාවේ අන්තර්ගතය විසින් ඉල්ලා සිටිනාකාරයේ ආකෘතියක් තෝරාගැන්මට කතුවරිය නිර්භය වී ඇති අයුරු දකිත හැකි ය. කටවහර උචිත කතාවක් නම් එසේ ද ලිඛිතය අවැසි නම් එසේ ද වශයෙනි. මෙහි එන පළමු කතාව වන “අච්චාරු” කෙටිකතාව අතිශය සරල සිද්ධියකින් කතාවක් ගොඩනැගූවකි. එහි කිසිවක් ඍජුව නොපවසතත් රසිකයාට එහි එන ඉංගිතයන්ගෙන් මනා කතාවක් ගොඩ නැගෙයි. ස්ත්‍රී චින්තනය විෂයෙහි ඈ උක්ත කතාවෙන් හෙළන බැල්ම අපූරු ය. “තිර-නොතිර” එක්තරා නිළියක පිළිබඳ ආඛ්‍යානයකි. සමකාලීන විනෝද කර්මානතයෙහි නිළියකගේ පැවැත්ම පිළිබ‍ඳ බැල්මකි. බසෙහි ශූර කතුවරිය සිය නිර්මාණයට එය වහල් කරගන්නේ ඉතා දක්ෂ ලෙස ය. කතාවට යොදා ඇති නම වන “තිර-නොතිර” යන්න පවා ඊට නිදසුන් ය. කතාවෙහි එන නිළියට ලැබෙන සම්මානය පවා රූපිකව කතාවෙහි සාර්ථකත්වය වෙනුවෙන් යොදාගන්නට ඈ සමත්වෙයි. දුෂ්කර ජීවන කොන්දේසි මත නොරටකට දුන් දරුවෙකු සිය මව සොයා එන පුවතක් විෂය කරගන්නා කතාවක ඈ සුලබ පුවත්පත් වාර්තාවන්ට විෂය නොවන එවන් බැඳීම් සැබෑ හැඟුම්බර බැඳීම් වන්නේ දැ යි නිර්මාණාත්මක ව ප්‍රශ්න කරයි. “බලුකතාවක්” හි ඉසුරුබර පංති පදනමක වෙසෙන පති පතිනියකගේ ජීවන විලාසිතාවක සහ චින්තන වෙනස විෂය කරගන්නා අතර සමාජ මාධ්‍ය වැන්නක් එවන් බැඳීමක් කෙරේ බලපාන අයුරු ද අපූරුවට එක් සිදුවීමක් හරහා ගොඩා නගා පෙන්වයි.  ආගමික සංස්ථාව සිය මූලික හර පද්ධති සමකාලීන මොහොත වන විට මූල්‍ය කේන්ද්‍රව පොළා පන්නවා ඇති අයුරු “නාගබන්ධන” නම් කතාවෙහි එයි.

එක්තරා ප්‍රකට ලේඛකයෙකු පසුගිය දා පුවත්පතකට ප්‍රකාශ කර තිබුණේ ලංකාවේ කෙටිකතාකාරියන් නැති තරම් වන බව ය. තමන්ට නොපෙනෙන නිසා පරමාණු, ඉලෙක්ට්‍රෝන හෝ එවැනි අණු නැතැයි සිතන්නෙක් සහ මේ වැනි අයෙක් අතර වෙනසක් ඇත්තේ නැත. ඊනියා සම්මාන නිර්දේශයන්ගෙන් සහ ප්‍රධාන කතිකාවෙන් ඉවතට විසි කර දැමුනේ වුව ද සිය පළමුවැනි කෙටිකතා එකතුව පළ කරන විරාජිනී තෙන්නකෝන් මෙරට ප්‍රධාන පෙළේ කෙටිකතාකරුවන්ගේ කෙටිකතා අතර ආඩම්බරයකින් යුතුව තැබිය හැකි කෙටිකතා 08ක් “අච්චාරු සහ තවත් කතා” වෙතින් ගෙනැවිත් තිබේ. උකටලී නොවී දිගින් දිගට ම නිර්මණකරණයෙහි යෙදෙන්නැ යි කතුවරියගෙන් උදක් ම ඉල්ලා සිටිමු.

 

(පහත පළවන්නේ කතුවරියගේ අවසරය මත පළ කැරෙන අච්චාරු සහ තවත් කතාහි එන තිර-නොතිර නම් කතාවයි.)

තිර නොතිර

සතුට දරාගන්න බැරුව වගේ මුළු ගෙදරම නිශ්ශබ්ද වෙලා තිබුණ.  නාන කාමරේ ඇතුලෙන් ආපු වතුර කඩා හැලෙන සිහින් ස්වරය විතරක් සතුටේ නිශ්ශබ්දභාවයට බාධාවක් නොකර සිහින් සරින් ගලා ගියා.  ඇවිදල මහන්සිවුණු රත‍්‍රන් පාට පටිවලින් අලංකාර කරපු දිගටි උස් පාවහන් යුගලක ශෘංගාරාත්මකව බිම දිගේ වැතිරල හිටිය රන් පාට නූලෙන් නෙළුම් මලක් පොහොට්ටුවක් කොළයක් වැඩදාපු සුදුපාට කපු සාරියෙන් බාගයක් ඇඳ උඩට වැටිල බාගයක් බිම තිබුණ.

ගීයක් හම් කර කර නාන කාමරෙන් එළියට ආපු සරෝජ සුදුපාට තුවායකින් තෙත කොණ්ඩෙ ඔතල හිස් මුදුනට වෙන්න ගැටගහගත්ත.  ඒ මූණේ පිරිලා තිබිච්ච සතුට ඇස්වලින් කඩා හැලෙන්න පටන් අරගෙන නිසාදෝ සැරින් සැරේ ඇගේ දිගටි ඇහිපිල්ලම් වේගයෙන් සැලුණ. සුභ පැතුම් සිප ගැනීම් සහ කෙඳිරීම් අතර සරෝජ අද උදේ වරුවෙම හිටියෙ පාවෙවී.

ඔල්වරසන් නාදයෙන් ඉහළට ඔසවපු සරෝජව අත්පොලසන් නාදයෙන් වේදිකාව මතට ගෙනිහින් තිබ්බ.  එහෙම පාවෙවී ගිහිල්ල අරන් ආපු ස්වර්ණාලේපිත ඵලකය තාම කාමරේ රතු වෙල්වට් කවිච්චිය උඩ උඩුබැලි අතට නිදී.  ඒක රන් ආලේපිත නිරුවත් කාන්තා අනුරුවක්.  සියලු කෝමල රේඛාවන් එක්තැන් කරල මහ බඹා උනත් පුදුම හිතෙන විදිහටයි එ්ක හදල තිබුණෙ. මොහොතකට කලින් මුළු ගෙදරම පිරිලා තිබිච්ච හිනාකතා අරගෙන හිත මිත‍්‍රයො ගෙවල්වලට ගිහිල්ල තිබුණ.  වෙනදා වගේ ගෙදර ඉතිරි වුණේ සරෝජයි, පාරුයි විතරයි.
පාරු කාමරේට ඇවිල්ල සුදු කපු සාරිය එකතු කරගෙන අරගෙන යනකොට සරෝජ හිටියෙ ඇගේ විශාල කණ්ණාඩිය ඉදිරිපිට ඉඳගෙන රෝස පවුඩර් ටිකක්වත් නොතවරපු කම්මුල් දෙක දෝතින්ම අතගාන ගමන්.  සරෝජ ලොකු ඇස් දෙක පුළුවන් තරම් පුංචි කරල තමන්ටම හිනා වුණා.

ඒ අතරේදි තමයි සරෝජ කණ්ණාඩියෙන් දැක්කෙ තමුන්ට පිටිපස්සෙන් හිනාවෙවී බලා ඉන්න කමල් සිංහපුර. කමල් කියන්නේ මුල් කාලෙදි සරෝජ එක්ක වැඩිපුරම චිත‍්‍රපටිවල රඟපාපු නළුව.  ඔවුන් රඟ පෑ චිත‍්‍රපටිවල රූප රාමුවක තිබුණ වගේ කමල් ඉදිරියට ඇවිල්ලා සරෝජගේ උරහිසට අතක් තිබ්බ.  ඒ චිත‍්‍රපටියේ විදිහටම සරෝජ ඒ අත තමන්ගේ එක අතකින් අල්ලගෙන කමල් දිහා කණ්ණාඩියෙන් බලලා හිනාවෙන්න  ඕනී.  ඒත් අද සරෝජ ඒ රූප රාමුව තමන්ට  ඕන විදිහට සංස්කරණය කර ගත්හ.  “මගේ සුභ පැතුම්” කමල් සිංහලෙන් කිව්ව.
“ඔයාට පුළුවන් ද මට හදවතින්ම සුභ පතන්න.  ඔයා හැමතැනම කිය කිය ඇවිදින්නෙ ඔයයි මාව මිනිස්සු අතරට ගෙනිච්චෙ කියලා”
“ඉතිං ඒක වැරදි ද”
“ඒකෙ කිසිම වැරැද්දක් තිබුණෙ නෑ.  වැරැද්ද තිබුණෙ කිය කියා ගිය එක.”  මේ අන්තිමට අහපු ප‍්‍රශ්නෙ හරි එ්වගේ ඕනෑම කඩඉම් ප‍්‍රශ්නෙකට හරි ගැලපෙන එකම පිළිතුර ලොව මැවුම්කරු කාන්තාව මවකොටම ඇයට ලබා දී තිබුණ. සරෝජාට ඇඬුම් ආවෙ එ්කෙ ප‍්‍රතිඵලයක් විදිහට. ඒක වඩ වඩාත් තාත්වික කරන්න සෙටි එකේ සුදර්ශන ඇවිල්ලා ග්ලිසරින් පොඞ්ඩක් ඇස්වලට ඉස්ස.  සරෝජගේ ඇස්වලින් කඳුළු කඩා හැලෙන්න වුණා. ‘ලොව කොතනත් ගැහැණුන්ගේ ඇසට කඳුළුඉසින්නෝ පිරිමින්ය’ යන කියමන සරෝජ අලුතින් හොයාගත්ත.
‘‘අද මම තැනකට ඇවිල්ල ඉන්නවනම් ඒ මගේ දක්‍ෂකමින් කැපකිරීම් කරල”  කමල් සිංහපුර ලොම් හැලිච්ච සිංහයෙක් වගේ පස්සෙන් පස්සට ගිහිල්ල නොපෙනී යන විදිහට සරෝජ මේ දැං තිර පිටපතේ සටහනක් යෙදුව.  ඇගේ කඳුළු පිසීමත් එක්ක ඇති වෙචිච ජයග‍්‍රාහී බැල්ම සමීප රූප රාමුවකට නැගුණ.

“කඳුළු නිම්නය” කියන චිත‍්‍රපටියේ ප‍්‍රචාරක කටයුත්තකට සරෝජගේ ලොකු ඇස් දෙක උනපු කඳුළු කැට දෙකක් එක්ක විශාල ප‍්‍රමාණයේ පෝස්ටරයක් මරදාන සීගිරි සිනමා ශාලාව ළඟ කාලයක් යනතුරු එල්ලිලා හිටිය සරෝජට අද වාගේ මතකයි.

පාරු ඇවිල්ල සති අග පත්තර ටික අතට ගෙනල්ල දෙනකොටත් සරෝජ හිටියෙ කණ්ණාඩි මේසෙ ළඟ ඉඳගෙනමයි.  අද උදේ ලැබිච්ච සම්මානෙ ගැන හෙට පත්තරවල පළවෙයි කියන සිතිවිල්ලත් එක්කයි “විලාසිතා” පත්තරේ අතට ගත්තෙ.  මුල පිටුවෙම හිටියෙ ප‍්‍රියංවදා කොටම කොට සායකුයි කොට හැට්ට කෑල්ලකුයි ඇඳල කකුල් දෙකම පෙන්නගෙන.  මෙි පේන තරම් නං එයාගෙ කකුල් ලස්සන නෑ කියන එක සරෝජට එයාගෙ ගෑනු හිත මතක් කරල දුන්න.  ආණ්ඩුවෙ පත්තරයක් එක්ක නොමිලෙ දෙන මේ වගෙ ටැබ්ලොයිඞ් එකක මුල් පිටුවෙ පිංතූරෙ මීට වඩා සංවර වෙන්න  ඕනි කියන හිතිවිල්ල පහල වෙලා නතර වුණේ හැමදාම නලූ නිලියන්ගෙ කුණු කන්දල්ම අවුස්සන බස්නායකගෙ‘බස්සා’ තීරු ලිපිය ළඟ.  බස්සගෙ තීරු ලිපි දකිනකොටත් සරෝජගෙ කං දෙක රත්වෙලා ඉවසන්න බැරි තරහක් හිතට එනව.  දැනට අවුරුද්දකට විතර ඉස්සර සරෝජ ගැන ව්‍යංගයෙන් ලියවුණු තීරු ලිපිය සරෝජට අද වාගෙ මතකයි.  ඒක ලියන්න ඇත්තටම හේතුව වුණේ මාදුගොඩ ඇමතිතුමාගෙ සමාජ සේවා අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම් විදිහට සරෝජට පත්වීම ලැබුණට  පස්සෙයි.
“මේ රංගන ශිල්පිනිය නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සමාජයට වටිනා මෙහෙවරක් කරන්නියෙකි.  බස්සා නිතර මෙවැනි සමාජ සේවිකාවන් කෙරෙහි අවධානයෙන් පසුවන බැවින්, ඒ සමාජ සත්කාරයන් ගැන බස්සා තරම් දන්නා වෙනත් අයෙකු නැති තරම්ය.  ඇගේ සමාජ සේවා කටයුතු හොඳින් ඉටුකර ගැනීමට හැකිවන ආකාරයේ නිලයකින් ද ඇය පසුගිය දිනෙක පිදුම් ලැබුවාය.  එය ලැබුවේ ද එම ආයතනයේ ඉහළ පුටුවකට නිතර නිතර කරනු ලබන සේවා සැපයීමක් නිසා බවනම් නොරහසකි.  එම සේවා සැපයීම තම දෙවන විවාහයේ ස්වාමිපුරුෂයාගේ අතටම හසු වූ කාලයේ විකාශය වූ ටෙලිනාට්‍යයක ඇය පති භක්තියෙන් අනූන තරුණ බිරිඳකගේ චරිතයකට ද පණ දුන්නාය.  එය නැරඹූ බාහෝ ශී‍්‍ර ලාංකික බිරින්දෑවරුන් තමා අතින් දැනුවත්ව සහ නොදැනුවත්ව සිදුවන කාම මිත්‍යාදී වරදවල් වෙනුවෙන් තම ස්වාමිපුරුෂයාගෙන් සමාව ගැනීමට එකී අදාල ටෙලි නාට්‍ය විකාශය වූ විනාඩි ගණනට පමණක් හෝ සිහින මැව්වෝය.  ඒ අනුව ඇය පස්පවින් වැලකුණු සමාජයක් බිහිකිරීමේ උත්සාහයක නිරත වූවාය.  වරෙක අගනුවර ප‍්‍රසිද්ධ දහම් පාසලක ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ ඇයව නූතන විසාකාව ලෙස පිළිගනු ලැබුයේ ඇය විසින් වරින්වර රූපවාහිනියේ සහ පුළුල් තිරයේ පෙනී සිටිමින් කරන ලද මෙවැනි සමාජ මෙහෙවරයක් නිසාම බව බස්සාගේ හැගීමයි…”

පහුවදාම මිලියන පනහක වන්දියක් ඉල්ලල පත්තරේටයි බස්සටයි විරුද්ධව එන්තරවාසියක් යවපු සරෝජට ලෝයර් කෙනෙක්ගෙන් හැරෙන තැපෑලෙන් පිළිතුරු හම්බවුණා. ….any action instituted against our Client will be strenuously resisted… කියල. සරෝජගේ තර්ජනය නඩුවක් දක්වා දීර්ඝ වුණේ නැතත් ඒවටත් එක්ක අද කාට කාටත් උත්තර හම්බවුණා නේද කියල මහ ආඩම්බරකමක් හිතට ආව. සරෝජ හංස ධෙිනුවක් වගේවෙිදිකාවට ගොඩවෙනවත් බස්ස බස්සෙක් වගේ බලාගෙන ඉන්න ඇතිනෙ කියල හිතිල සරෝජ කණ්නාඩියට හිනා වුණා.

බස්ස වගේ කැලෑපත්තරකාරයො මොනව ලිව්වත් වැඩිදෙනෙක් සරෝජගෙ දක්‍ෂතා අගය කළා.  ගිය අවුරුදදෙ එළියට ආපු ‘හැටේ වත්තෙ සිත්තරී’ විත‍්‍රපටියෙ දක්‍ෂතම නිළියට තමන්ගෙ නම නිර්දේශ වුණ වෙලාවෙම හේතු පාඨය විදිහට කිවුවෙ ‘‘අයුක්තියේ අළු මතින් හිස එස වූ යුක්තියේ ෆීනික්ස් කිරිල්ලී”කියල.  එදා ඒ සම්මානය ගිලිහිලා ගියත් “සිත්තරී” දිව්වෙ අනිත්  චිත‍්‍රපට මාසෙන් දෙකෙන් ගලවල දාන ගමන්.  දර්ශන තලය වුණේ වැල්ලවත්තෙ කුණු ඇළ අයිනෙ ගෙවල් පේලි ටික.  එක රූගත කිරීමක දී බොරු කේලමකට සිත්තරීව අල්ලගෙන “උඹේ දත් ගලවනව මං” කියන මිනිහෙකුට සිත්තරී ඇඳන් ඉන්න රෙද්ද බාගෙට උස්සගෙන ඇවිල්ල කෑගහනව “ඇයි මගේ දත් ගලවල ගෙනිහිං උඹේ ගෑනිගෙ පුකේ හිටවන්න ද” කියල.  ඒ වත්තෙම හිටපු ගෑණු අතින් කටවල් වහගෙන සරෝජ දිහා බලා හිටියෙ මේකි නං අපේම එකියක් කියනව වගෙ සන්තෝසෙකින්.  අන්තිමට සිත්තරී නැවතුනේ කවුන්සිලේටත් ගිහිල්ලනෙ.  ඒක මතක් වෙනකොට සරෝජට හිතෙනව දියවන්නාවට උනත් යන්න දැං තමුන්ට සුදුසුකම් තියෙනව නේද කියල.  සම්මානෙ අතට දුන්නු තරුණ ආණ්ඩුකාරතුමාගෙ ඇස් දෙකේ නං තිබුණෙ අපේ පැත්තට ආවොත් අපි හොඳට බලාගන්නං කියන බැල්මම තමයි.

මේ වෙනකම් ලැබිල තිබිච්ච සුළු සුළු සම්මාන ටික එක පෙළකට ලස්සනට තියන්න පුළුවන් විදිහට කළුවර ලීයෙන් නුවර යුගයේ කැටයම් ඔබ්බපු මේසයක් දැනට මාස හයකට විතර උඩ දී ගෙදරටම සාරනාත් එවල තිබුණ.  සාරනාත්ට තිබුණ පිටරටටත් ලී බඩු සපයන “අලංකාර” කියල විශාල ලී බඩු සාප්පුවක්, තාත්තගෙන් හම්බවෙලා.  මාදු ගඟේ බෝට්ටුවක දෙන්න අලසකමින් පැද්දි පැද්දි ඉන්නකොට තමයි සාරනාත් එයාගෙ අයිපෝඞ් එකෙන් සරෝජට දෙන්න හදන ලී බඩු අතර තිබිච්ච මේ කළුවර මේස මෝස්තරේ පෙන්නුවෙ.  ඒකෙ තියන්න සුදුසුම සම්මානෙ හම්බවුණේ අද නේද කියල හිතෙනකොටමයි සරෝජගෙ උඩ තට්ටුවෙ කාමරේ ජනේලෙට පිටින් පපුව පුම්බගෙන උඩට නගින සරුංගලයක් සරෝජ දැක්කෙ.

සරෝජ නැගිටල කාමරේ ඉස්සරහ බැල්කනියට ඇතුල් වුණේ දොරක් වගේ බිමටම හදල තිබුණ ෆ්‍රෙන්ච්වින්ඩෝ තුනක් ඇරගෙන. බැල්කනිය විවෘත වුණේ සනීපදායක වෙල්යායකට.  සතුටට අත්ගගහ උඩට යන සරුංගලේ නූල් දෙන තරමටම උඩට යනව කියල ඒක යවන ළමයි සරෝජට ප‍්‍රායෝගිකව පෙන්නා දෙමින් හිටිය.  චිත‍්‍රපට රූගත කිරීමක දී වගේ සරෝජගෙ නේත‍්‍රා කාචය එක එක රූප රාමුවලට කේන්ද්‍රගත වුණා.  සරුංගල් යවන ළමයි.  හරකෙක් දක්කගෙන යන මිනිහෙක්.  පොල් අතු ගොඩක් ඔලූවෙ තියාගෙන යන ගෑණු කෙනෙක්. ඊට පිටිපස්සෙන් යන පොඩි කෙල්ලෙක්. පොඩි කෙල්ලෙක්.  ඇය නැවතත් නේත‍්‍රා කාචය පොඩි කෙල්ලට කේන්ද්‍රගත කළා.  ඒ පැත්තෙන් හමාගෙන ආපු හුළෙඟ තිබුණෙ කරපිංච සුවඳක්. ඒ කෙල්ල “කිරි අම්මෙ” “කිරි අම්මෙ” කිය කිය අර ගෑණු කෙනාගෙ පස්සෙන් ගියා.  ඊට පස්සෙ කිරි අම්ම අර පොඩි කෙල්ලට බත් කැව්ව.  නෑව්ව.  පස්ස හේදුව.  කන්පෙතිවල තිබිච්ච පරවුණු කරපිංච නැටි අයින් කරල අලූත් හීං කරපිංච නැටි කණට දැම්ම.  ? හීනෙන් පැදුරෙ පෙරලිලා ගිහිල්ල පොඩි එකීගෙ නලල ගල් වංගෙඩියෙ හැපිල පැලුණම කිරි අමිම කෝපි දළු කටින් හපල තුවාලෙට තියල අඩන කෙල්ලව වඩාගෙන හිටිය. ඔය අතරෙ අනේ අම්මත් නැති මයෙ අසරණ කෙල්ල කියල දිග හුස්මක් අරගෙන කිරි අම්ම කියනවත් දුර හිටපු සරෝජට හොඳටම ඇහුණ. සරෝජ මේ දැං ඇගිලි තුඩු වලින් අතගානතමුන්ගෙ නලලෙ තිබුණ පෙනෙන නොපෙනෙන දිගටි තුවාල කැලල දිගේ තව ටිකක් දුර නොදැනීමඇවිදගෙන යන්න හදනකොටම තමයි හීන් ඉකිබිඳිල්ලක් කාමරේ ඇතුලෙන් ඇහෙන්න ගත්තෙ.

රත්තරන් පාට ගෑණු කෙනෙක් ඇෙඟ් නූල්පටක්වත් නැතුව කවිච්චිය උඩ දිගාවෙලා හිටියෙ අඬ අඬ.  එයාගේ ඇඟට උඩින් විළිවැහෙන්න දාගෙන තිබුණේ නිකං පත්තර කෑල්ලක් විතරයි.  ටිකක් ළං වෙලා බැලූවමයි  සරොජ දැක්කේ ඒ පත්තර පිටුවෙ තියෙන්නේ ටික කාලෙකට කලින්තමුන් එක්ක කරපු සංවාදයක් කියල.  ඒකේ උඩින්ම  කළු අකුරෙන් ලොකුවට ලියවුණු  “මට අතීතයක්  නෑ” කියන හෙඩින් එක ඒ ගෑණු කෙනාගෙ නිරුවත් පියයුරු යන්තං වගේ වහගෙන එම්බ්‍රෝස් කරල වගේ ඉස්සිලා පෙනුණ.  මුල් කාලේ තමන්ගෙ අතීතය ගැන අහපු හැමෝටම සරෝජ දුන්නෙ ඔය උත්තරේ.හිටපුගමන් කරපිංච සුවදක් වගේ හමාගෙන එන අතීතය කෙසෙල් ගහක් කපනව වගෙයි සරෝජ අයින් කරල දැමිමෙ

සරෝජට මුලින්ම  ඕනිවුණේ ඇඟට දාගන්න වස්තරයක් දෙන්නයි.  ඒත් එයා කදුළු ගලන මූණ දෙපැත්තට වනල ඒක ප‍්‍රතික්‍ෂේප කරන ගමන් කිව්වෙ “තේරුමක් නෑ. ගෑණු මිනිස්සු එකතුවෙලා මං අඳින අඳින එක ගලවනව. උන් කැමති මං මෙහෙම ඉන්නවට කියල.”මෙහෙම හිටියම ගෑණුන්ට පද හදන්න පුලුවං පිරිමින්ට බුදියගන්න පුලුවං…. පත්තරකාරයින්ට ඇද හොයන්න පුලුවන්.   ඕනි වුණාම විකුණගන්නත් පුලුවන්ගගගගඋඩපැනගෙන මාව දෝතට ගන්නකොට හිතුනෙ නැද්ද නංගියෙ උන් බෙර ගහල හක් පිඹල වර්ණනා කරළේ උඹෙී නිරුවත කියල

රත්තරන් ගෑණි කවිච්චියෙන් නැගිටල සරෝජ ළඟට ඇවිල්ල රත්තරන් කටින් කියවගෙන කියවගෙන යනකොට සරෝජ ලැජ්ජාව ද දුක ද කියල හිතාගන්න බැරි හැඟීමක් එක්ක ඇස් පියා ගත්ත. පියාගත්ත ඇස් ඉදිරිපටසරෝජගෙ ස්වයං චරිතාපදානය සහිත චිත‍්‍රපටිය විසිල් එකක් වත් වදින්නෙ නැතුවම තිරගත වෙන්න පටන් ගත්තෙ පේ‍්‍රක්ෂයො ගල් වෙලා බලා ඉන්නකොටයි.  මොහොතකින් ස්වර්ණ ඵලකය බිම වැටිල රත්තරන් ගෑණිගෙ රත්තරන් පපුව පැලිල තිබුණ.

තාමත් කණ්ණාඩි මේසෙ ඉස්සරහ වාඩිවෙලා ඉන්න සරෝජට ජනේලෙන් පෙණුනෙ නූල කඩාගත්ත සරුංගලේ උඩට නැග්ගට වැඩිය ඉක්මනට පල්ලෙහාට වැටෙනව.  මල් දියවෙච්ච චීත්ත ගවුම ඇඳන් හිටිය පොඩිකෙල්ල ඒ දිහා බලා ඉද්දි එ්කිගෙ කණේ කරපිංච නැටි දෙක රත්තරං වගේ දිලිසිලා සරෝජගෙ ඇස් නිලංකාර කළා.

 

 

 

 

 

One Comment

  1. geethmaa says:

    නියමයි. තව ලියන්න…