රණවිරු දඩයම නවතනු!

රට බේරාගත් රණවිරුවන්ට එරෙහිව දිගින් දිගට ම චෝදනා එල්ල කරමින් අත්අඩංගුවට ගැනීම සුලබ තත්වයක් බවට පත් වී තිබේ. කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, උදය ප්‍රභාත් ගම්මන්පිළ වැනි මහත්වරුන් දිගින් දිගට ම මේ සම්බන්ධයෙන් මැදිහත්වීම් කළ ද දිගින් දිගට ම විවිධ චෝදනා මත රට බේරාගත් රණවිරුවන් දඩයම් කිරීම සිදුවෙනු දකින්නට ලැබේ.

පසුගිය කාලයේ වතුර මෝටර් හොරකමක් සම්බන්ධයෙන් රණවිරුවෙකු අත්අඩංගුවට ගනු ලැබ තිබුණි. තවත් පුවත්පතක් වාර්තා කර තිබුණේ, සිය බිරිඳ මරා දැමූ චෝදනාවකට වැරදිකරු කරමින් රණවිරුවෙකුට අධිකරණයක් මගින් මරණ දණ්ඩනය නියම කර ඇති බව යි. අද එනම් (2017/05/06) දින ලංකාදීප පුවත්පතෙහි ඇතුල් පිටුවක වාර්තා කර තිබුණේ රණවිරුවෙකු විසින් පොලිස් කොස්තාපල්වරයෙකුට කඩුවකින් කොටා ඇතැ යි අත්අඩංගුවට ගෙන ඇති බවකි. පසුගිය කාලයේ දී ප්‍රගීත් එක්නැලිගොඩ යන අයගේ අතුරුදහන්වීමක් සම්බන්ධයෙන් ද රණවිරුවන් අත්අඩංගුවට ගත් අතර දේශප්‍රේමි ජනතාව ඊට තම බරපතළ විරෝධය පළ කරනු දක්නට ලැබුණි. මේ ලිපිය වෙනුවෙන් යොදා ඇති අද (2017/07/05) ලංකාදීප පුවත්පතේ සඳහන් පුවතට අනුවත් මුදල් මංකොල්ලයක් සම්බන්ධයෙන් රණවිරු ලාන්ස්කෝප්‍රල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

රට බේරාගත් බැවින් මෙරට සාමාන්‍ය නීතියට ඉහළින් ක්‍රියාකිරීමට රණවිරුවන්ට ඇති අයිතිය තේරුම් නොගෙන ක්‍රියාත්මක වන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් මෙරට දේශප්‍රේමි ජනතාව තුළ ඇත්තේ මහත් පිළිකුලකි. කඩුවෙන් කෙටීම්/ පහරදීම්/ මිනිස් ඝාතන/ මුදල් මංකොල්ලකෑම්/ ස්ත්‍රී දූෂණ වැනි චෝදනා මත අත්අඩංගුවට ගෙන රඳවා ඇති රට බේරාගත් සියලු දේශප්‍රේමී රණවිරුවන් නිදහස් කරන ලෙස සියලු දේශප්‍රේමී ජනතාව බල කළ යුතු ය.

Comments are closed.