ගෝත්‍රික රටක සිට ලියමි!

වසර සිය ගණනක් විදේශීන්ගේ යටත්විජිතයක් ව පැවැති ලංකාව නිදහසින් පසු දශක 07කට ආසන්න කාලයක් අපේ මඅය (සිංහල බෞද්ධ) විසින් පාලනය කර ඇත. යටත්විිජිත වාදින්ගෙන් රට දිනාගැනීම සඳහා විවිධ අවධීන්වල දිවිපුදා සටන්වැදුණු ලාංකිකයන් පිළිබඳව කොතෙකුත් ඉතිහාසයේ සටහන්ව ඇත. ඒවාද ඔවුන්ගේ තරාතිරම අනුවඉතිහාස ගතවූ අතර එසේ මහාලොකුවට රන් අකුරෙන් ඉතිහාසයේ ලියවී නැතත් ලක්පොළොවේ නිදහස වෙනුවෙන් දිවිපිදූ ලාංකිකයන් බොහෝ පිරිසක් මෙම දෙරණෙහි නිසලව සැතපෙන බව නම් නොරහසකි.

කෙසේ හෝ නිදහස් අරගලය සදහා සටන් වැදුණු ශ්‍රී ලාංකිකයන් සතුව නිදහස දිනාගත් පසුව රට ගොඩ නැගිය යුතු දිශානතින් පිළිබදව යම් හෝ අවබෝධයක් පැවැතියාදැ යි සැකයක් සංකාවක් ඇතිවීම නොවැලැක්විය හැකි කරුණක් වී ඇත. අප නිදහස දිනාගන්නා අවදියේම නිදහස දිනාගත් ඉන්දීය නිදහස් ව්‍යාපාරයේ නායකයින් ඒසා විශාල මහාභාරතයේ විවිධ ජාතින්, විවිධ භාෂාවන් කථාකරන, විවිධ ආගම් අදහන සියලු ජනයා ඉන්දීය ලේබලය යටතේ තබා ගැනීමට සමත් ව්‍යවස්ථාවක් නිර්මාණය කරගැනීම ම සංකේතවත් කරනුයේ තම රටේ පාලනය ගෙන යාමට ඉන්දීය නිදහස් ව්‍යාපාරයේ නියමුවන් රට පිළිබදව නිවරදි දැක්මකින් හා සැලසුමකින් සන්නද්ධව සිටීම බවය. ඒ අපට ළඟම ඇති නිවැරදිම හොඳම උදාහරණයකි.

තවත් ලොව පුරා විවිධ ජාතින්ගේ නායකයින් රටේ පාලන බලය සදහා සටන් වදින විට  රටේ පාලනය ගතහොත් තම රට සංවර්ධනය කරනුයේ කෙසේද යන්න පිළිබදච අවබෝධයකින් හා දැක්මකින් සන්නද්ධව සිට ඇති බව විවිධ ජාතීන් අධ්‍යයනයේ දී අපට පෙනීයන කරුණකිෙ. 1917 දී සාර් රුසියාව ඔක්තෝබර් විප්ලවයෙන් බලය ගන්නා විට වැඩවසම් ප්‍රවේණිදාස ක්‍රමයක් තිබූ රුසියාව ඉතා කෙටි කලකින් ලෝකයේ දියුණු ධනේශ්වරයට එදිරිව පවුරක් සෑදීමට තරම් දක්ෂ වූයේ ලෙනින්ගේ මෙන්ම බෝල්ශේවික් පක්ෂයේ තිබූ දැක්ම හා සැලසුම් නිසාම බව ඉතිහාසය සනාථ කර ඇත. සිංගපූරුවේ ලී ක්වාන් යූ මෙන්ම මැලේසියාවේ මහතීර් මහමුද් ද තම ජාතිය ගොඩ ගැනීමට තරම් සැලැසුම් ගතව බලය ඉල්ලූ නායකයන් අතර ප්‍රමුඛයෝ වෙති. මේ උදාහරණ ලිවීමට හේතුවූයේ ලංකාවේ ගතවූ දශක 07කට ආසන්න කාලය තුළ පාලනය කළ අය අපට අත්කරදී ඇති සංවර්ධනය ගැන පැවැසීමටය. බලයට පැමිණි කිසිවකු එසේ රට සංවර්ධනය කිරීමට රට ගැන අවබෝධයකින් හා පරිචයකින් නිර්මාණය වූ සැලැසුමක් ඇතැතිව නොපැමිණි බවට මෙන්ම රට ගොඩගැනීමේ අදිටනින් කිසිවෙකු කටයුතු කර නැති බව අද අප රටක් ලෙස වැටී ඇති අගාධයේ ගැඹුරම සාක්ෂි සපයයි.

එහෙත් 40 දශකයේ ලංකා දේශපාලනයේ නොමැකෙන සටහනක් තබා ඇති දොස්තර සුගීශ්වර අබේවර්ධන වික්‍රමසිංහයන් තම මාතෘභූමිය පිළිබඳව කරන ලද දැවැන්ත හැදෑරීම අනුව අප රටෙහි භූගෝලිය තත්වයන් කෙසේ ආරක්ෂා විය යුතුද ? පාංශු ඛාදනය වැළැක්විය හැක්කේ කෙසේද? අප රට ගලාබසින ගංගා අපගේ උන්නතියට යොදවා ගත හැක්කේ කෙසේද? යන්න ඉතාමත් විද්‍යාත්මකව ශාස්ත්‍රීය ලියැවිල්ලක් මගින් ජාතිය ඉදිරියේ තබා දශක කිහිපයක් ගතව ඇතත් රට පාලනය කළඋන් ට නොතේරුණු දෙයත් එයම වීම රට වැසියන්ගේ අවාසනාවටම හේතු වී තිබේ.

නිසි දේ නිසි කලට සිදුනොවූ අතර ඒවෙනුවට දැයට ලැබුණේ මහත් පාරිසරික හානියක් හා මුදල් වැනසීමක් සේම කලින් කලට දකුණු ප්‍රදේශයම ගංවතුරට බිලිගන්නා ව්‍යාජ ව්‍යාපෘතියකි.

ඒ අප රට පාලනය කලවුන්ගේ දැක්ම අනුව අපට ලැබී ඇති ඛේදවාචකවලින් අංශුමාත්‍රයක් පමණි.  නිදහස ලබාගත් දා සිට අප රටෙහි ජීවත්වන ලාංකිකයන්ට මෙතෙක් ශ්‍රී ලාංකිකයන් ලෙස එකට ජීවත්වීමට හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරගැනීමට නොහැකිවුණු අමන පාලකයන් පිරිස මෙතෙක් අපට උරුම කර දී ඇත්තේ ලොව නොදියුණුම ගෝත්‍රයන් අතර පවා නොමැති භේද භින්න වූ ජාතියක් පමණි. ඉංග්‍රීසින් ලංකාව අත්හැර යන විට බාර දී ගිය භාණ්ඩාගාරය හිස් එකක් නුවූ නමුත් ලාංකිකයන් රට බාරගෙන නොබෝ කලකින් ණය ගැති භාණ්ඩාගාරයක් බවට පත්කරන ලද්දේ අප කලින් සදහන් කළ සිංහල බෞද්ධයන් ම වීමත් රට අගාධයට දක්කාගෙන යාමට මුලු ශක්තියෙන්ම තරගකාරිව කටයුතු කරඇත්තේ ද ඔවුන්ගේ ම පවුල් කිහිපයක් විසින් බවත් සබුද්ධිකව කල්පනා කරන්නෙකුට පහසුවෙන් තේරුම් ගත හැකි වනු ඇත.

මෙලෙසින් ජාතියක් ලෙස ශ්‍රී ලාංකිකයන් පසුගිය වසර 70ව තුළ ම අත්විඳ ඇත්තේ රටේ ජීවත්වන සියලු ජාතීන්ගේ දුක් අඳෝනා හා මැවිසිලි හා එකිනෙකා මරාගන්නා යුද්ධයේ දෝංකාරය පමණි. එසේ නම් අප රට සිංහල බෞද්ධයන් වෙනුවෙන් යැ යි ඉදිරිපත් වී ඇති සියලු දේශපාලකයන්, පූජකයන්, ආගමික නායකයන් මෙම කාලය පුරාවටම කර ඇත්තේ රටේ ජීවත්වන විවිධ ආගමික ජනකණ්ඩාම් හා ජනවර්ගයන් අතර වෛරය වපුරා ලේ වර්ග අලෙවි කිරීම පමණක් නොව වසර 30ක් පුරාවට දිග් ගැසුණු ජනඝාතක යුද්ධයකට පටලවා ලාංකේය දුදරුවන් දහස්ගණනින් මරණයට පත්කිරීම හා ආබාධිතයන් කිරීම පමණකි. එපමණක් නොව අදට අතුරුදහන් ලේබලය යටතේ තම දෙමාපියන් සොයුරු සොයුරියන්ගේ මනසේ පමණක් ඇඳී ඇති විශාල ලක්වැසියන් පිරිසක් ද ඇති බව අමතක නොකළ යුතු කරුණකි.

එහෙත් බරපතළ ම අවාසනාව වී ඇත්තේ සිංහල බෞද්ධයින්ගේ ගැලවුම්කරුවන් ලෙස පෙනී සිටින බුදුදහමෙහි මූලික හරයට පවා ගැරහුම් කරමින් නේකවිධ වර්ණයන්ගෙන් සැරසුණ මාර සේනා ලක්වැසියන් බිළිගැනීමට බුද්ධ චීවරයෙන් ද සැරසී වෛරය දේශනා කරමින් සිටීම ය. වත්මනෙහි රට තුළ විවිධ නම් වලින් යුත් බලකායන් සේනාවන් ඇත. ඒවායේ නායකත්වය දරනුයේ බුද්ධ චීවරය පොරවාගත් හාමුදුරුවරු යැ යි කියාගත් පිරිසකි. ඔවුනට මේ රටේ සාමාන්‍ය ජනතාවට බලපාන නීතිය බලපවත්වන්නේ න. ඔවුනට ඕනෑම උසාවියකට ගොස් බැණ අඩගැසිය හැක. තමන් කැමැති අයෙකුට තර්ජනය කළ හැකිය. අවසානයේ උසාවියේ නියෝග පවා නොතකා තමන්ට රිසිසේ කල්ගෙවිය හැකිය. මැරස්වාමින්වහන්සේලා ලංකාවේ නීතියට අභියෝග කරති. ලංකාවේ මහා බලගතු බුද්ධි අංශ හා නේකවිධ පොලිස් ඔත්තු සේවා රට ඉදිරියේ පමණක් නොව මුලු ලෝකය ඉදිරියේ ම තම අසමත්කම ප්‍රදර්ශනය කරමින් සිටිති. අවසානයේ මහා මාධ්‍යය සංදර්ශනයක් පවත්වා වරෙන්තු කැඳවා ඇති හිමිනමට කිසිදු අනතුරක් නොවන බවට නීතියෙන් ලබාගත් සහතිකය මත අධිකරණයට වැඩම කරවන මෙම මැර ස්වාමින් වහන්සේ මැදිකරගන වැඩමකරනා පිරිවර මහා සංඝරත්නයේ ආනුභාවයෙන්ම නීතිය දණින් වැටි සියලුම වරෙන්තු ආපසු කැදවා උසාවි 03කින්ම ඇප ලබා ගනුයේ දින භාගයක් යාමට මත්තෙනි. මෙම ප්‍රාතිහාර්ය දුටු සිංහල බෞද්ධයින් රූපවාහිනිය ඉදිරියේ සාධුකාරදී තම තමන්ගේ භකත්‍යාදරය පළ කළ අතර එසැනින්ම තම හිස අතගා යමක් ඔලුවෙන් උඩට මතුවී ඇත් දැ යි සැකහැර දැනගත්හ.

මෙම සිද්ධිය දෙස බලා සිටින අපට ඇති වන ගැටලුව වනුයේ සාමාන්‍ය වැසියෙකුට මෙම සිදුවීම සිදුවූයේ නම් නීතිය ක්‍රියාත්මක වන ආකාරය මෙතරම්ම සුමට නොවන බවත් එලෙස නීතිය චංචල වනුයේ කවර වරදක් නිසාද යන්නයත් ය. රටගැන හා රටේ අනාගතය ගැන සුලුවෙන් හෝ ධනාත්මක දැක්මක් ඇති කිසිවකුත් මෙවැනි විලම්බීත නාටකවලට ඉඩදෙනු ඇතැයි සිතිය නොහැක.

ජනවාරි 8 විප්ලවය දැන් වසර03ක් සපුරා ඇතත් රට පාලනය කරනු අප නුදුටුවෙමු. කුමක් හෝ වැඩකට කොළඹ එන වැසියෙකුට කොළඹ දී මුහුණ පාන්නට සිදුවන්නේ අපූරු අත්දැකීම් සමූහයකට වන අතර බොහෝ විට වාහනයක ගමන් කළත් කඳුළු ගෑස් පහස ද විඳීමට ලැබෙන අතර අනිවාර්යෙන් ම තමන් පැමිණි කාරණය සදහා තවත් දිනයක් කොළඹ පැමිණීමට සිදුවන්නේ නගරයේ පාර වසාගෙන කෙරෙනා උද්ඝෝෂණ හා විරෝධතා හේතුවෙන් තමන් යාමට පැමිණි ස්ථානයට එදිනම යාමට නොහැකි වූ නිසාවෙනි. ගතවූ කාලය පුරාවටම කොළඹ නගරයේ කොතැනක හෝ විරෝධතාවයක් නොතිබූ තරම්ය. මෙලෙස තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය ලොවටම විදහා දක්වමින් යහපාලනයට නව අරුතක් එක්කර අැති මොවුන් මෙතෙක් ලංකාවේ තිබූ දුර්වලම රාජ්‍යය පාලනය යන සහතිකය හිමිකරගෙන තිබේ. ජාතිය එක්සේසත් කළ හැකි ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් ලෙස ඉදිරිපත්කොට බලය ලබාගත්තත් මොවුන්ගේ බලය තහවුරු කර ගැනීම සදහා තමන් ජනතාවට දුන් පොරෙන්දු මගහරිමින් සිටින බව ඉතා පැහැදිලි කාරණයකි.
යහපාලන කාලය තුළ මුලු රටපුරාම ස්වාභාවික හෝ ආපදා නොමැතිව ගෙවුණ මාසයක් නොමැති තරම් ය. රටට පැමිණෙන ස්වාභාවික ආපදාවල දී ද ඒවා කලමනාකරණය කරගැනීමට රජය අපොහොසත් වි ඇත්තේ ද ඒවා ගැන කල්තියා දැනගෙන සූදානම්වීමට හෝ ක්‍රමවේදයක් සපයාගැනීමට ගතවූ වසර 70ව තුළ යාන්ත්‍රණයක් ගොඩනගා නොතිබීමය. එයට හේතුව මෙතෙක් පැවැති කිසිදු රජයක් එවැනි දැක්මකින් යුතු වැඩපිළිවෙලක් නොයොදා තිබීම බව කිව යුතු නොවේ.

දෙවනි ලෝක යුද්ධයේ පරමාණු බෝම්බයෙන් සුනුවිසිණු වූ ජපානය එදා සිට ගත කර ඇති කාලයත් නිදහසින් පසු අප ගතකර ඇති කාලයත් ඉතාම සමාන වන අතර ස්වාභාවික ආපදාවලින්ද නිමක් නැති ජපානය අද සිටින තැනත් අප රට ගත කරන ගෝත්‍රික තත්වයත් සැලකිල්ලට ගැනීමේ දී රටවැසියන් ලෙස අප කල්පනා කළ යුත්තේ අප රට පාලනයට මෙතෙක් කල් අප විසින් අද දක්වා පත් කරගෙන ඇත්තේ ඇත්තෙන්ම එම කාර්යට සුදුස්සන්දැයි යන්නය. එය යළියළිත් සිහිපත් කළ යුතු වන්නෙමු. දැන්වත් නව පිරිසක් පිළිබඳව කල්පනා කළ යුතු නොවෙමු ද?

සරත් රත්නායක

කාටුනය –  ගිහාන් ඩි. චිගේරා විසින් අඳින ලද්දකි. අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.

Comments are closed.