ප්‍රේමරංජිත්ගේ ජීවන “දුර්ගය”

දුර්ගය

ප්‍රේමරංජිත් තිලකරත්න

සුරස ප්‍රකාශන

මිල – රු.600

පිටු – 440

පසුගිය වසරේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී අප ගුරු කරුණාරත්න අමරසිංහ රසවතාණන් මුණ ගැසුණේ ය. ඔහු සමග වූ අල්ලාප-සල්ලාපයේ දී ඔහු පැවසුවේ තම හිතමිතුරු ප්‍රේමරංජිත් තිලකරත්න ලියා පළ කැර ඇති “දුර්ගය” නවකතාව මිලට ගෙන කියවන ලෙස ය. අමරසිංහයන්ගේ නිර්දේශ කවදත් නොපැකිළ බාර ගන්නා මම පිටු 400ක් තරම් වන මෙම “දුර්ගය” නවකතාව මිලට ගත්තෙමි. එසේ වුවත් එය කියවන්නට ඉස්පාසුවක් ලැබුණේ නොබෝ දා ය. එය කියවා  සටහන ලියන්නට ඉක්බිත්තෙන් ප්‍රේමරංජිත් මහතා අභාවප්‍රාප්ත වූ පුවත දැනගන්නට ලැබුණේ ය. ලාංකේය නාට්‍ය වංශකතාවේ සිය  නම රැන්දූ ප්‍රේමරංජිත්ගේ මරණය ගැන කිසිවකු ගණනකට ගන්නවා නොදුටිමි.

“දුර්ගය” නවකතාව වනාහි ස්වයංචරිතාපදාන නවකතාවකි. එකී ප්‍රවර්ගය මෙරටට අලුත් එකකි. අඩු තරමින් මෙය තමන්ගේ ම කතාව යැ යි පිලිගැනීම  අලුත් ය. විකිපීඩියා දැනුම්කෝෂයට අනුව ස්වයංචරිතාපදාන නවකතාව සපුරා කතුවරයාගේ ජීවිතය ම නොවෙතත් වැඩි බහුතරයක් කතුවරයාගේ ජීවිතය එහි ඇතුළත් ව තිබේ.

“දශක අටකට ආසන්න කාල පරාසයක් ඔස්සේ, මාගේ ජීවිතය නමැති යොත රැහැන් පටවල් තුනක් සමඟින් විකාශනය වී ඇත. එයින් පළමු රැහැන් පොට නම් මාගේ ගෘහ ජීවිතයයි. දෙවැන්න මාගේ වෘත්තීය ජීවිතයයි. තෙවැන්න මාගේ කලා නිර්මාණ ජීවිතයයි. මට සය අවුරුද්ද පිරුණු පසු බාල කාලයේ මතක සටහන්, දෙමාපියන්, නෑසියන් සහ යහළු මිත‍්‍රයින් සමඟ හුවමාරු වූ කතා බහ සහ මෑත කාලයේ මා අතින් සිදුවූ අමනකම්, නොහොබිනාකම් සහ මාගේ නිර්මාණශිලි ජයග‍්‍රහණ සමඟ මා මුහුණ දුන් අතුරු අන්ත‍්‍රාවන්, මා විඳි නින්දා අපහාස, මා වැටුණු බොරු වලවල් ඇතුළුව මා ජීවත් වූ සමාජ පරිසරය පිළිබඳ විස්තර කිසිදු ලජ්ජා බයකින් තොරව මේ අසාමාන්‍ය නවකතාවේ අඩංගු කර ඇත. මෙහි එන සමහර චරිත දැනට ජීවතුන් අතර නැත. ජීවතුන් අතර සිටින සමහර දෙනෙකුගේ මෙන්ම මළවුන්ගේ නම් ගම්ද අගතියක් වළක්වනු සඳහා වෙනස් කර ඇත. එහෙත්, සමහර නමක් මුල් ස්වරුපයෙන් ම රඳවා ගෙන ඇත. මට උපකාරීවූ සත් පුරුෂයින්ට පැසැසුම් කරන අතර එළිපිටින් සහ රහසින් මට හදිකල අය පිළිබඳ ඉඟි හා තොරතුරු ද මා සඟවා නැත. කාලාන්තරයක් තිස්සේ සාහිත්‍ය ප‍්‍රතිරූප වන්දනාවට හුරුපුරුදු පාඨක පරම්පරාවකට අවසන් යථාර්තය මත පදනමි වූ මෙවැනි කල්පිතයක් රස විඳීම නැවුම් අත්දැකීමක් විය හැකිය. කෙසේ වුවද මේ කෘතියට අඩංගු වී ඇත්තේ මාගේ ජීවිතයේ අනන්ත අප‍්‍රමාණ අත්දැකීම්වලින් අල්පයක් පමණක් බවද කිව යුතුය.”

ප්‍රේමරංජිත් වෘත්තියෙන් පරිපාලන නිලධාරියෙක් ව සිටියේ ය. සේ ම ඔහු දක්ෂ නාට්‍යකරුවෙකි. ඔහුගේ නාට්‍ය හරහා රංගන කරළියට පිවිසුණු නළු-නිළියෝ ද බොහෝ ය. කෘතියෙහි නාට්‍යය නිර්මාණයට ගොස් ලැබූ අත්දැකීම් ද සඳහන් ය. ස්වකීය ජීවනය ගැන විවෘත ව කතා කරන්නෝ අතිදුර්ලභ ය. සමාජ-සංස්කෘතික මුඛවාඩමෙන් බැඳ දමා ඇතියෙනි. මෙලෙස ලාංකේය සාහිත්‍යයේ සිය දිවියේ සියලු ම පැති සාහිත්‍යයට එක් කළ අවස්ථා ද දුර්ලභ ය. කොළඹ යුගයේ ජනකාන්ත කිවියර මීමන ප්‍රේමතිලක එවැනි සාහිත්‍යමය ලියැවිල්ලක් ප්‍රකාශයට පත් කළේ ය. මගේ ප්‍රේමය කලාව හා ජීවිතය නම් එකී කෘතිය පළමු මුද්‍රණය පමණකින් නිම විය. එහි පිටපතක් දැනුදු සොයාගැන්මට අසීරු ය. ප්‍රේමරංජිත් සිය කෘතියෙන්  දිවියේ සියලු පැතිකඩ විදාරණය කර තිබේ. එහි එක්තරා නවකතාවක් මෙන් ම ලාංකේය කලා ඉතිහාසයේ කොටසක් ද වෙයි.

සඳුන් ප්‍රියංකර විතානගේ

Comments are closed.