නව කවිය දෙදරා ය!

මහ පෝර මිටිය උස්සගෙන ගොහිං

කොන්ඩගල මුදුනට

දළු ගෝනියත් අරගෙන පහළට

මහගිරිදඹේ

නැග

බැස

කළු අප්පො උඹ ආවේ

මගේ ගොවි බිමේ ගල්වැටියෙ

අමාරුම හරිය නෙළන්න ය

තනියම වාරු නැති

මහ යකුලු ගල්

කීකරු කරන්න ය

එතකොටයි මම දැක්කේ

එතකොටයි මට පෙනුණේ

නව කවිය ඔබට කළ මහ විපත

අසරණයෙකුව කර

පීඩිතයෙකුව කර

බර අදින අම්බරුවෙකුව

කර ඇති අරුම

ඒත් උඹ කළු අප්පෝ

වීර්යයෙන් සක්විතිව

අටලෝ දහමෙන් කම්පා නොවී

ගෙන වෙර

කැති-පොරෝ, උදලු තළ  ලෙළවනා විට

මහ කවිය දෙදරා ය

නව කවිය පුපුරා ය

කවිසමය සසැළේ ය

ගිරිදුදුලු දෙදරා ය

වීර්යෙන් ජය-දිග්විජය දෝත අරගෙන

කිතුල් මල් මැද වනපල නෙළා

හරිත අරණක් මැද්දේ ඔබේ ගොවිබිම සදා

250 cc අශ්වබලයෙන් ගමන යන ඔබ

…………………………………………………

“රෙද්ද ලිය ලිය ඉන්නේ

පැලට වෙලා

වරෙන් යකෝව් යකඩේ අරං

මේ ගල තනියම උස්සන්ඩ බෑ

ඔන්න ඔතනින් යකඩේ දාලා

උස්සපං

එකායි …දෙකායි…තුනායි…

උස්සපන් යකෝ…දෙන්නම එක ගැම්මට

උස්සපාං”

  • හෂාන් විරංග බඹරබොටුව

Comments are closed.