වීරයන් බිහිවන්නේ සටනින් පමණක් ද? (Hacksaw Ridge)

සාමාන්‍ය සිතීම් කලාපයට අනුව නම් වීරයන් බිහිවිය හැක්කේ සටනකිනි. යුද වීරයන්? සටන් නොකර යුද වීරයන් බිහි විය හැකි ද? සටන ප්‍රතික්ෂේප කරන්නෙකුට යුද වීරයෙකු විය හැකි ද? එසේ නොහැකි යැ යි මොහොතකට ඔබට සිතෙනු ඇත. Hacksaw Ridge නම් චරිතකතාමය යුද සිනමාපටයෙන් කියැවෙන්නේ එවන් සටන ප්‍රතික්ෂේප කරමින් යුද බිම වෙත ගොස් යුද වීරයෙකු ලෙස අබිසෙස් ලැබූ ඩෙස්මොන්ඩ් ඩොස් ගැනයි.

ගැටවර ඩෙස්මොන්ඩ් ඩොස්ගේ පියා පළමු ලෝක යුද සෙබළෙකි. ඔහු පසුවන්නේ යුද්ධය කෙරෙහි මනාපයකින් නොවේ. අනෙක් අතට ඔහුගේ හැසිරීමද යම් පමණකට කලහකාරී ය. නමුදු හේ දරුවනට අප්‍රමාණ ආදරයක් දක්වයි. ඩෙස්මොන්ඩ් සිය සොයුරා හා ගුස්ති ඇල්ලීමක දී ඩෙස්මොන්ඩ් ගැසූ පහරක් සොයුරාට මාරාන්තික වෙයි. එයින් පසු අතිශය වරදකාරී හැඟුම් ඇති කරගන්නා ඔහු ක්‍රිස්තියානියේ එක්තරා ප්‍රොතෙස්තන්ත නිකායකට එක් වෙයි. එයින් ඔහු ශපථ කරනු ලබන්නේ, දස පණතෙහි එන කිසි දිනෙක මනුෂ්‍ය ඝාතනයක් සිදු නොකළ යුතු ය යන්න දිවිහිමියෙන් රකින්නට ය.

මෙසේ දිවිය සාමකාමීව විසිර පැතිර පවතින අතරෙහි දෙවැනි ලෝක යුද්ධය එළැඹෙයි. මුළු මහත් ජනසමාජය ම යුද කතිකාවෙන් ඇළැලී යද්දී ඩෙස්මොන්ඩ්ගේ සොයුරු ද පියාගේ දැඩි විරෝධය නොතකා, හමුදා සේවයට එක් වෙයි. ඊළඟ අවස්ථාව එළැඹෙන්නේ ඩෙස්මොන්ඩ්ට ය. ඒ වෙත් දී ඔහු සුරූපී හෙදි ලියකගේ ප්‍රේමාලිංගනයේ ද දැවටෙමිනි. කෙසේ වෙතත් ඩෙස්මොන්ඩ්ද යුද සේවයට එක්වන්නට තීරණය කරයි.

ගැටුම පැන නගින්නේ එතැනිනි. යුද ප්‍රයාම පුහුණුවේ දී ය. අන් සියලු ප්‍රයාමයන් ඉතා හොඳින් පළමුවෙන් සපුරන ඩොස් ගිනි අවි පුහුණුවේ දී කිසිවෙක් නොසිතන ප්‍රතිචාරයක් දක්වයි. ගිනි අවිය ස්පර්ශ කරන්නට හෝ ඔහු අකමැති වෙයි.

මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ කුමක් ද? ඔහු සේවයෙන් ඉවත් කෙරෙන්නේ නම් නැත. ඔහුගේ සොයුරු හමුදා සෙබළුන් ඔහුව සලකන්නේ කුණු මාළු කැබැල්ලක් ගණනට වුවත් එය වෙනස් වන්නේ කොතැනින් ද? ඔහු ප්‍රථමාධාර ඒකකයට බඳවා ගැනෙයි.

සියලු සෙබළ සිත්සතන්හි රැව් පිළිරැව් දෙන නාමයක් බවට ඩෙස්මොන්ඩ් ඩොස් පත්වන්නේ ජපාන් හමුදාව සමඟ එක් කඳුමුඳුනක බලය විෂයෙහි කෙරෙන අනවරත සටනකින් පසුව ය. කලෙකින් සිනමාවෙහි දුටු අතිශය තාත්වික සටන් දර්ශන මෙහි දකින්නට ලැබෙයි. යුද ක්‍රියාන්විතයක සැබෑව ස්පර්ශ කරන දර්ශන ඒ අතර බහුල ය. ප්‍රේක්ෂකයාගේ හදගැස්ම වැඩිකරන කුතුහලය නිරන්තරයෙන් රඳවන අතර ම සිනමාත්මක ස්වරූපය පවත්වාගැනීම පහසු කටයුත්තක් නොවේ. එය මේ සිනමාපටයේ ජයගෙන තිබේ.

ගිනි අවියක් කිසිදා ස්පර්ශ කරන්නට අකමැති වූ ඩෙස්මොන්ඩ් යුද වීරයෙකු වන්නේ කෙසේ ද?

නැරඹිය යුතු සිනමාපටයකි.

ලෝ සිනමා වංශකථාවට අනර්ඝ සිනමා කෘති ගණනාවක් ගෙනා මෙල් ගිබ්සන් මෙහි අධ්‍යක්ෂවරයා ය. ඩොලර් මිලියන 40ක් යොදවා නිපැයූ ඕස්ට්‍රේලියානු සිනමාපටයකි. වාර්තාගත ආදායම ඩොලර් මිලියන 175.5 කි. ඩෙස්මොන්ඩ් ඩොස් ලෙස Andrew Garfield ඉතා ප්‍රබල රංගනයක නිරත වෙයි. සෙසු චරිත රඟන්නෝ ද කිසිවෙක් සිය යුතුකම පැහැර හරින්නේ නැත. ඔස්කාර් සම්මාන උළෙලේ සම්මාන ඉසව් කිහිපයකට නාම යෝජනා ලැබ හොඳම නාද සංරචනයට සහ හොඳම ශබ්ද සංස්කරණයට සම්මාන ලබාගැනීමට හැක්සෝ රිජ් සිනමාපටය සමත් විය. විවිධ සම්මාන උළෙලවලින් විවිධ සම්මානයන්ට පාත්‍ර වූ මේ සිනමාපටය Andrew Garfield හොඳම නළුවා සම්මානය ද හිමි කර දුන්නේ ය.

සටන් නොකර වීරයෙකු වූ ඇත්ත ලෝකයේ දිවි ගෙවූ ඩෙස්මොන්ඩ් ඩොස්ගේ වික්‍රමාන්විත දිවිය කැටි කළ මේ සිනමාපටය ඔබ නැරඹිය යුතු ම වූවකි. නරඹා අවසානයේ මතකයෙහි රැඳෙන දර්ශන ගණනාවක් ඔබ හද තුළ ඉතිරිවනු ඇත.

 

One Comment

  1. wishwacon says:

    සුපිරි චිත්‍රපටයක් ..නැරඹිය යුතු චිත්‍රපටයක් ..