පැතුමන් පුරා සුසුමන් සළා-ඇය වෙන් වුණා..

හද සාගරේ
පැතුමන් පුරා සුසුමන් සලා
ඇය වෙන් වුණා හද සාගරේ
මතු ඈ හදේ
හසරැල් නගා සුසුමන් මකා
සිටිතැයි සිතා හද සාගරේ

සිටිනා විලාසේ ඈ අඳුරේ
දකිනා විලාසේ මද්දහනේ
කඳුළැල් පිරීලා නෙතුකැන් ගිලී
ඈ ආවේ

ජීවිත කාලය දුක් සමුදා පිරිලා ඉතිරී
ආදර ලෝකය කැබලි කැඞී විසිරී
ඈ අතගත් දින ඈ තනි වූ දින තව මතකයි

ගායනය – රෝයි පීරිස්
සංගීතය – රූකාන්ත ගුණතිලක
ගී පද – රූකාන්ත ගුණතිලක

80 දශකයෙ ජනකාන්ත ජනප‍්‍රිය ගායක-ගායිකාවො නිර්මාණය වුණේ, තරුණ සේවා සභාව මූලික කරගෙන කියල කිව්වොත් නිවැරදියි. ඒ අය වෙනම කුලකයක් වුණා. 80 ගණන්වලට පෙර ගුවන්විදුලියෙ බලය තමයි වැඩිපුර තිබුණෙ. නමුත් මේ කියන කාලෙ, කැසට් පට, රූපවාහිනිය එහෙම ඒ බලය ටික ටික අල්ලගනිමින් තමයි තිබුණෙ. මේ පිරිස අතර චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, ප‍්‍රින්ස් උදයප‍්‍රියන්ත, ෂර්ලි වෛජයන්ත, අතුල ශ‍්‍රී ගමගේ, ඉන්ද්‍රජිත් දොලමුල්ල, රෝයි පීරිස්, විජයබණ්ඩාර වැලිතුඩුව වගේ අය හිටියා. හැමෝම වගේ අඩුතරමින් මතකයේ රැුඳෙන ගීත දෙක-තුනකට වඩා රසිකයන්ට තිළිණ කරපු ගායකයො. විනෝද කර්මාන්තය මජර කර්මාන්තයක් බවට පත්වෙන්න කළින් රසිකයන්ගෙ හදවත්වල හිටපු මේ පිරිසෙන් බොහෝ අයට අලුත් තත්වයන්ට හැඩ ගැහෙන්න බැරි වුණා.

රෝයි පීරිස් කියන්නෙත් ඒ වගේ සුන්දර ගීත ගණනාවක් පෙර දි කියල නමක් තැබූ කෙනෙක්. සංගීතය උගත් සෞන්දර්ය උපාධිධාරියෙක්. ‘ඔබ නෑසූ කතාවක් කියන්නම් ළඳේ’, ‘ඒ නෞකාවේ’, ‘ඔබ ආදරේ මා කෙරේ නම්’ වැනි අදටත් ජනප‍්‍රිය ගීත ගණනාවක් ගැයූ කෙනෙක්. මෑත සුපිරි තරු කියාගන්න හාදයින්ගෙන් කෙනෙක් රෝයිගෙ ගීතයක් නැවත නිර්මාණය කළ එක ගැනත් රෝයි ඉතා දුකින් උන් බව තමා කියන්නෙ. කලක් තරුණ පෙළක් වසඟ කරපු මේ ගායකයා පසුගිය දා අභාවයට පත් වුණා. ගෞරවයක් විදිහට අපි මේ වතාවෙ ගීරස විතට රෝයිගේ ගීතයක් තෝරගත්තා. මේ ගීය ලියල තියන්නෙ ඔහුගේ ම සමකාලීනයෙක් වෙලා වෙනස් නමක් තියපු රූකාන්ත ගුණතිලක. තනුවත් රූකාන්තගෙමයි. ගීතයෙ අහද්දි රෝයිගෙ හඬ ලාලිත්‍යයත් එක්ක රූකාන්ත ලකුණත් හොඳින් අසන්නට පුළුවන්.
හද සාගරේ ගීතය සරල ගීතයක්. යම් හේතුවක් නිසා පේ‍්‍රමිය විසින් හැර දමා ගිය පේ‍්‍රමවන්තයෙක්ගෙ හඬකින් තමයි ගීය ගැයෙන්නෙ. තමා සමඟ එක්ව පැතුමන් පැතූ යුවතිය සුසුම් සළමින් තමා හැරදා ඉවත්ව ගියත් ඇගේ මතු හසරැල්ල පතමින් නිහඬ වුණා කියල තමයි ඔහු කියන්නෙ.

පැතුමන් පුරා සුසුමන් සලා
ඇය වෙන් වුණා හද සාගරේ
මතු ඈ හදේ
හසරැල් නගා සුසුමන් මකා
සිටිතැයි සිතා හද සාගරේ

ඒත් මෙහි දී ඇය සතුටැති දිවියක් ලැබුවා කියලා කියැවෙන්නෙ නැහැ. ඇය නැවත ආවා. ඒ පෙර පරිදි නොවෙයි, දුකඳුළින් දෙඇස් පුරවගෙන. ඇය අතගත් දිනයත් ඈ තනිවුණු දිනයත් යන දෙකම ඔහුට මතක ඇති බව ගීතයෙන් කිව්වත් එසේ වී පැමිණෙන ඈට ‘ඇද්ද උඹට’ කියල හරි ‘ඔබට සතුටුයි ද දැන්’ කියල හරි අහන්න කථකයා පෙළඹෙන්නෙ නැහැ. ඔහු කියන්නෙ ජීවිත කාලය කියන්නෙ දුක් සමුදායකින් යුක්ත එකක් කියලයි. ඒ අස්සෙ හැංගිලා තියන්නෙ යම් බඳු උපේක්ෂාවක් කියලයි හිතෙන්නෙ. රූකාන්තගෙ තනු නිර්මාණයත් ශෝකී රසයක් දනවන එකක් නෙවි. වේග රිද්ම සංගීතයක්. ගැලපීම් නොගැලපීම් තිබියේවා – නොතිබියේවා අසා රසවිඳින්නට හැකි ගීතයක්.

එවන් ගීත තිලණ කර සමුගත් රෝයි පීරිස් කලාකරුවාට සුබ රාත‍්‍රියක් වේවා!

– සඳුන් ප‍්‍රියංකර විතානගේ

Comments are closed.