පාර දිගේ…..

ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කරපු “පාර දිගේ” සිනමාපටය ලංකාවෙ සිනමාවේ, විශේෂ සලකුණක් කියන එක ගැන විවාදයක් නැහැ. සිනමාපටය ප්‍රදර්ශනය වුණේ 1980 වසරේ අගභාගයෙ. මුල-මැද-අග සහිතව දිගට ගලාගෙන යන කතන්දර ස්වරූපයේ සිනමාපටයක් නොවන මෙහි සිදුවීම් අනුව කතාවක් ගොඩනගාගන්නට නරඹන්නාට සිදුවෙනවා. උදාහරණයක් විදිහට මෙහි ප්‍රධාන චරිත දෙක වෙන චන්දරේ සහ ස්වර්ණා ප්‍රේක්ෂකයාට පෙන්වද්දි ම ස්වර්ණා ගැබ්බරයි. ඔවුන් අතර පෙර ආලිංගන ආදිය කිසිවක් නැතිව පළමු හමුවෙදි ම කතා බහ කරෙන්නෙ ඒ ගැනයි. චන්දරේගෙ පවුල් පසුබිම එන්නෙ සිනමාපටයෙ අගභාගයෙ.

“පාර දිගේ” ගැන සෑහෙන විචාරවිලාස කෙරුණා වගේ ම අදටත් කෙරෙනවා. පාරදිගේ සිනමාපටයෙ ප්‍රධාන චරිතයට පණ පොවන සිංහල සිනමාවෙ සිහින කුමරා විජය කුමාරතුංග 1977.10.14 සරසවිය පත්තරේට මෙහෙම කියනවා.

“මම මෙතෙක් රඟ පෑ හොඳම හා සාර්ථකම චරිතය කිසිවෙකු ඇසුවොත් මා එක වරට දහස් වරක් කියන්නෙ පාර දිගේ චිත්‍රපටයේ චරිතය බවයි.”

සම්මාන ලැබුවත් මෙලෝ රහක් ජනනය නොකෙරෙන සමකාලීන සමහර සිනමාපට බලද්දි දශක තුනකටත් එපිටින් නිපැයුණු මෙවැනි සිනමාපට ගැන ඇතිවෙන්නෙ ගෞරවයක්. ඒ වගේ ම මෙවැනි සිනමාපට කෙරෙහි දායකත්වය දුන් නිර්මාණකරුවන් ගැනත් එලෙසම ගරුත්වයක් සිතේ හටගන්නවා.

“පාර දිගේ “අදහස, තිරනාටකය සහ දෙබස් ලංකාව බිහි කළ තවත් සාහිත්‍යධරයෙක් වෙන අජිත් තිලකසේනගෙ. මෙම තිරනාටකය පොතක් හැටියට මුද්‍රණවාර කිහිපයක් පළ වෙලා තියෙනවා. තිරනාටකයෙ ශක්තිමත් ම කොටස් අතරින් බොහෝ තැන්වල දක්නට ලැබෙන දෙබස් ලගන්නාසුළුයි. මේ එහි එන එක අවස්ථාවක්.

බාර් එකේ අභ්‍යන්තරය. රාත්‍රි 8.00ට පමණ

වද විදුලි ආලෝකයේ චන්දරේ තවත් තුන් දෙනෙක් සමග කනප්පුවක් වටා වාඩි වී බිබී ඉන්නවා.

ඔවුන්ගෙන් දෙන්නෙක්(2 වැන්නාත් 3 වැන්නාත්) චන්දරේගේ පාසැල් මිත්‍රයෝ.

1 වැන්නා – උඹල දිගට ම එකට ද හිටියෙ?

2 වැන්නා – (3 වැන්නා දිහාට මූණ හරවමින්) මූ අටේදි අස් උනා…. මට මතකයි ඒ කාලෙ… හතේ දි නේ ද? කැප්පෙටිපොල ගැන වාක්‍ය රචනයක් ලියන්ඩ කිව්වෙ.

ගුරුවරයා කලුලෑල්ලේ මාතෘකාව ලියන විලාශය 2වැන්නා අභිනයෙන් දක්වනවා.

මූ (චන්දරේ දෙසට ඇඟිල්ල දිගු කරමින්) ලිව්ව…

‘‘බෙහෙවින් ගම්බද පෙදෙස්වල වැවෙන, දෙපැත්තම බූව තියන කොළ විශේෂයකි කියල.

1 වැන්නා – (හිනැහෙමින්) මිනිහ ලියල තියන්නෙ කැප්පෙටි කොළ ගැන!

3 වැන්නා – …. අපි අපේ වීරයො අඳුනන් නෑ.

චන්දරේ – අපි අහක විසි කරල තියන එඬරු දඬු වගේ. අපිට මුල් නෑ. ඒත් දලු එනව.

 

Comments are closed.