ඔබව රිදවූයේ කවුරුන් ද?

රජුන් අධිරජුන්
සැරිසැරූ වීදි ඔස්සේ..
මුවකු සේ අප හදට පැමිණියේ ඔබයි..
එහෙව් ඔබට කවුරුද රිදවූයේ..
කවුරුද රිදවූයේ?

අඩ සඳුනි පිරුණු බව සොයන
නොදෙන් වේදනා අප හට
මේ කඳුළෙහි සුවඳ ගෙන දේ වේදනා
ඔබ දෙනෙතෙ කඳුළැලි
පාරවයි පාරවයි මා හද

හැමෝම කතාවට කියනවා සංගීතය කියන්නෙ විශ්ව භාෂාවක් කියලා. හැබැයි ගොඩක් ගැඹුරට හිතන්නෙ නැහැ. සංගීතය විශ්ව භාෂාවක් වෙන්නෙ, ජාති, කුල-ගොත්, භාෂා, රටවල් ඉක්මවලා ගිහින් ඒකෙන් කියන්න හදන දේවල් අපට දැනෙන නිසා. අපි කොහෙත්ම දන්නෙ නැති භාෂාවකින් වුණත් ගැයෙන සමහර ගීත තියනවා අපිව පුදුමාකාර විදිහට කම්පනයට පත් කරන. ඒ වගේ වෙලාවට ඔය මුලින් කියපු විශ්ව භාෂාවක් කියන කතාව ඇත්ත තමා කියල අපිට ම හිතෙන්න ගන්නවා.

දැනට වසර තිහ-හතළිහකට උඩින් නම් ගීත අහන්න මාධ්‍ය තිබුණෙ ඉතාම සීමිතව. දැන් එහෙම නෙවෙයි, ඔබ අප හැමෝම වගේ පාවිච්චි කරන ස්මාට් ජංගම දුරකතනයකින් ලෝකෙ තියන ඕන ම සිංදුවක් ඕනෙ ම වෙලාවක අහන්න ඉඩ-කඩ හැදිල තියනවා. (හැබැයි ඉතින් දුරකතන සම්බන්ධතා ගිණුමෙ මුදලුත් තියෙන්න ඕන)

අපේ ජනප්‍රිය සංගීතය වගේ ම සම්භාව්‍ය සංගීතයෙත් මහා සෙවනැල්ල වෙන්නෙ මහා ඉන්දියානු සංගීතය කිව්වොත් වැරදි නැහැ. ඉන්දීය සංගීත රටාවන් සහ ගීත වගේ ම සිනමා ගීතත් අපට දුරස් ඒවා නං නෙවෙයි. මේ සියලු කාරණා එක්ක මෙවර මම තෝරගත්තෙ ඉන්දියාවෙ නිෂ්පාදනය වෙච්ච ‘නායගන්’ (නායකයා) සිනමාපටයෙ දමිළ ගීතයක්. මේ සිනමාපටය ලෝකෙ කොයි කාලෙකටත් වටින චිත්‍රපට 100 අතරට තේරුණු එකක්. අධ්‍යක්ෂණය අපි කවුරුත් අහල තියෙන මනිරත්නම්.

මේ සිනමාපටයෙ කියවෙන්නෙ, ඉන්දියාවෙ ජනතා නායකයෙක් ගැන. ජනතාව ගැන හිතන ජනතා නායකයෙක්. කමල් හසන් කියන ජනකාන්ත නළුව තමයි මෙහි චරිතයට පණ පොවන්නෙ. කෙටි ගීතයක් වන මෙයින් විශාල අරුතක් නම් ජනනය වෙනවා. ඉන්දියාවෙ අතිදක්ෂ සංගීතකාරයෙක් වෙන ඉලෙයරාජා තමයි මේ ගීතයෙ ගායකයා. ගීතයෙ පද රචනය අයිති පුලමයිපිදන් ට.

ඉහතින් දක්වලා තියන්නෙ අසීරුවෙන් සිංහලයට පරිවර්තනය කරගත්ත ඒ ගීතයෙ අර්ථය. ඒ නමුත් ගීතය අසද්දි දැනෙන වේදනාව, පාලුව සහ අහිමිවීම පිළිබඳ සංකාව නම් මේ රළු පරිවර්තනයෙන් කොහොමත්ම හොයන්නට බැහැ.

නායකයා කියන්නෙ කවුද? නායකයා කියන්නෙ අනුන් ලවා දේවල් කරගන්නා කෙනෙක් නෙවි. අනුන් සමඟ එකට දේවල් කරන්න මහන්සි වෙන කෙනෙක්. පිරිපත, දුක් කරදර ආවම එඩියෙන් ඉදිරියට ගිහින් තමන්ගෙ  පිරිස වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙක්. කළ හැකි දෙයක් නැතිතැන ජීවිතය වුණත් අවධානමට ලක් කරගන්න බය නැති කෙනෙක්. මේ සිනමාපටයෙ නායකයත් එහෙම කෙනෙක්.

මේ සිනමාපටය හොයාගෙන බලන්න. ඒ බලද්දි මේ ගීතය ගැයෙනකොට පුළුවන් නම් නොහඬා ඉන්න.

Comments are closed.