Sully – මිනි‍සෙකු සතු වීරාත්මය

ලොව ඇති වඩාත් ම සත්‍ය වන්නේ, ප්‍රබන්ධ බව කියුවේ, අරුන්දතී රෝයි නම් විශිෂ්ඨ ලේඛිකාව ය. ප්‍රබන්ධ ගොඩ නැගීමේ දී ආධාර උපකාර කරගන්නා අඩුම-කුඩුම අමුද්‍රව්‍යයෙන් හැඩකර සත්‍යයම පාඨකයා වෙත ගෙන ආ කල නිමවිය හැකි වන්නේ කුමනාකාර දෙයක් ද?

එයට කිව හැකි නම – Sully නම්  වෙයි.

ලොව දිවමන් ව හි‍ඳින අතිවිශිෂ්ඨ රංගධරයන් කිහිපදෙනා අතර මුල් පෙළේ ලා ගිණිය හැකි ටොම් හෑන්ක්ස් (Tom Hanks) සිය රංග ප්‍රභාවෙන් ඔපවත් කරන මෙම
සිනමාපටයෙහි අධ්‍යක්ෂවරයා  Clint Eastwood ය.

කතාව දිවෙන්නේ කුරුල්ලන් වැදීම නිසා එන්ජින් ද්විත්වය ම ක්‍රියාවිරහිතව වූ ගුවන් යානයක් නිරුපද්‍රිතව ගංගාවක් වෙත ගොඩබැස්වීමක් ගැනයි. එම ගොඩබැස්වීම සිදුවත්දී යානය තුළ මගීන් 155ක් සිටින අතර කිසිවෙක්ට සුළු හෝ අනතුරක් නොවී බේරාගන්නට නියමුවා සහ සහය නියමුවා සමත් වෙයි. ගංගාව ඇමරිකාවේ නිව්යෝක් නගරයේ හඩ්සන් ගංගාවයි.

මේ ප්‍රාතිහාර්යයක් වැනි වීරත්වය බලධාරින් දකින්නේ එසේ නොවේ. තාක්ෂණික වශයෙන් කාලය ගණනය කර බලන ඔවුන් පවසන්නේ Chesley Sullenberger නම් කතානායක නියමුවාට සහ ඔහුගේ සහය නියමුවාට යානය ආසන්න ගුවන්තොටුපළක් වෙත ගෙන යාමට හැකියාව තිබී එසේ නොකළ බව යි. කපිතාන්වරයා සහ සහය නියමුවා ජීවිත ගලවා ගැනීම වෙනුවෙන් එතරම් දෙයක් කළ ද ප්‍රාග්ධනය වැඩකරන්නේ මානුෂීයත්වය හෝ හැඟීම් අනුව නොවේ. මේ තත්වය මත සුලි සහ සහායකයා මුහුණ දෙන්නේ අර්බුදයකට ය. මේ ගැන පර්යේෂණ පවත්වන බලධාරීන් සහ සභාවක් ඉදිරියට කැඳවන ඔවුන් දෙදෙනා ප්‍රශ්න කිරීමට ලක් කරන අතර සිමියුලේටර් ආධාරයෙන් යානයේ අනතුර ප්‍රතිනිර්මාණය කෙරෙයි.

කපිතාන්වරයා නිසලව සිට ගෙනෙන තර්කයෙන් බලධාරීන් පත්වන්නේ බලවත් අසීරුතාවකට ය. සිමියුලේටරයෙන් ප්‍රතිනිර්මාණය කෙරෙන්නේ දැනටමත් දන්නා සිදුවීමක් බවත් අනතුර සිදුවන මොහොතේ ඊළඟට ගන්නා පියවර ගැන සිතීමට ගතවන කාලය සිමියුලේටර් ප්‍රතිනිර්මාණයට ඇතුළත්ව නැති බවත් ය. ඔහුගේ ප්‍රකාශය නිසාවෙන් අවස්ථාවට කිසිසේත්ම නොසෑහෙන නමුදු සිමියුලේටර් ප්‍රතිනිර්මාණයට තවත් තත්පර කිහිපයක් එකතු කෙරෙයි. ඒ අනුව පෙනී යන්නේ යානය අනතුරට ලක්වන බවයි. සුලි සහ සහය නියමුවා යානය හඩ්සන් ගංගාවට ගොඩබැස්වීමට ගත් තීන්දුව ඉඳුරා නිරවද්‍ය බව එයින් තහවුරු වෙයි.

Sully සිනමාපටය යනු පුරාවෘත්තමය වීරත්වයක් පිළිබඳ කතාවකි. එය ප්‍රබන්ධයක් නොවේ. සත්‍ය කතාවකි. 2009 ජනවාරි 15 වැනි දින ඇමරිකාවේ දී සිදුවුණු සත්‍ය සිද්ධියක් පදනම් කරගත්තකි.

Comments are closed.