නිදහස් අධ්‍යාපනය සහ නොමිලයේ අධ්‍යාපනය

අද මහජනයා අතර අධ්‍යාපනය පිළිබඳ අවධානය වැඩි ය. ඇතැම් විට සයිටම් වෙද උපාධිය පිළිබඳ  පක්ෂ විපක්ෂ උද්ඝෝෂණ ඊට ආසන්න හේතුව විය හැකි. නිසැකයෙන් ම එම උද්ඝෝෂණ නිසගයෙන් ම වඩා පුළුල් සහ බරපතළ ප‍්‍රශ්න සමග බැඳෙයි. හැරත් සිය දරුවනට හොඳ අධ්‍යාපනයක් ලබා දීම අන්ත දිළින්දා ගේ සිට මහ ධනවතා දක්වා හැම ශ‍්‍රී ලාංකිකයෙකු ගේ ම අරමුණ යි. ඒ සමාජ හිණිමඟෙහි ඉහළට නැඟීමෙහි ඒකායන මාර්ගය එය බැවින්.

මහජනතාව වඩාත් ම උස් හඬින් ඉල්ලන්නේ  “නිදහස් අධ්‍යාපනය.” එහෙත් නිදහස් අධයාපනය යනු කිමෙක් ද? ඇත්තට ම එම පදය භාවිතා වන්නේ වෙනත් අරුතකින්. එනම් නොමිලයේ දෙන අධ්‍යාපනය වශයෙන්. එහෙත් නොමිලයේ අධ්‍යාපනය සහ නිදහස් අධ්‍යාපනය යනුවෙන් එකම අරුත ගෙන නො දේ. ඒවා පර්යාය නැත.

නිදහස් අධ්‍යාපනය රජයෙන් සපයන අධ්‍යාපනය යැයි ද අදහසක් ඇත. එහෙත් අද මුදල් ගෙවීමක් නැති ව සපයන නිදහස් අධ්‍යාපනයක් නැත. රජයේ පාසල්  “නිදහස් අධ්‍යාපනය” සපයන මුත් පාසල් වියදම් හරි අඩකට වැඩි ප‍්‍රමාණයක් දරන්නේ දෙමාපියන්. පහසුකම් ගාස්තුවලට අමතර ව නා නා හේතු මත අභිමතානුකූල ව එකතු කරන සම්මාදම් රැසකි. හැරත් පාසලෙන් බාහිර උපකාරක පන්ති ගාස්තු ද ඔවුන් විසින් ගෙවිය යුතු. මෙයට අමතර ව පාසල් යන වයසේ සිසු සිසුවියෝ අනල්ප සංඛ්‍යාවක් අද පෞද්ගලික පාසල්වල ඉගෙනුම කරත්. පූර්ව =පාසල් අධ්‍යාපනය සියයට සියයක් ම වාගේ පෞද්ගලික අංශයේ ය. එහි ප‍්‍රමිතියක් ගුණයක් ඇත්තේ ම නැති තරම්. අවාසනාවට එය අධ්‍යාපනවේදීන් ගේ  හෝ ගුරු සංගම්වල හෝ සැලැකිය යුතු අවධානයකට මෙතෙක් ලක් ව නැත. තෘතීය අධ්‍යාපනය ගත හොත් සරසවි පිවිසුමට වරම් ඇති ව උසස් පෙළ සමත් වන දරුවන්ගෙන් සරසවියට පිවිසිය හැකි වන්නේ සියයට 16ක් පමණ සුළු ප‍්‍රමාණයකට පමණකි. ඒ අතර වෙදකම හැර හැම විෂයක් ම උගන්වන පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන කෙළවරක් නැත.

දරුවන්ට ඉගැන්වීමට යන සියලු වියදම් රජය දැරුව ද එයත් නිදහස් අධ්‍යාපනයක් නොවනු ඇත. මන් ද යත් නිදහස සහ අධ්‍යාපනය යනු අවියෝජනීය ව බැඳුනු සංකල්ප දෙකක් හෙයින්. අධ්‍යාපනය  සරුවට පවතින්නේ නිදහස් වාතාවරණයක් තුළ පමණකි. බලහත්කාරය හෝ කවර ආකාරයක හෝ පීඩනය අධ්‍යාපනයෙහි අරමුණක් වන නිර්මාණශීලිත්වයට බාධා පමුණුවයි. එසේම අධ්‍යාපනය සකලවිධ අවිද්‍යාත්මක මතිමතාන්තර සහ මිත්‍යා බැහැර කළ යුත්තකි. එසේ  නම් ස්වාභාවික සහ අධි මානව බලවේග පිළිබඳ අන්ධ විශ්වාසය සහ භක්තිය ජනිත කරවන ඉගැන්වීම් පාසල් විෂය මාලාවන්ට සහ කාර්ය පටිපාටිවලට ඇතුළත් ව ඇත්තේ කෙසේ ද? කිසි යම් මානසික සුවයක් හැරෙන්නට ජප මාල හා සුර පැළැඳීමෙහි, බෝධි පූජාවන්හි සහ ශාන්ති කර්මයන්හි ශික්ෂණ වටිනාකම කුමක් ද? අද ඇතැම් පාසල් බලධාරීහු විෂය නිර්දේශ ඉගැන්වීම නොසලකා හැරිය ද ප‍්‍රසිද්ධ විභාග ආසන්නේ ඉහත සඳහන් පරිදි බෝධි පූජා ආදිය මහත් ප‍්‍රසිද්ධියක් සහිතව පවත්වති.

අධ්‍යාපනය මානව අයිතියක්. හැම දරුවෙකුට ම යහපත් පුරවැසියෙකු ලෙස ජීවත් වීමට අවශ්‍ය අධ්‍යාපනයක් සහතික කැරීම රජයෙහි වගකීමකි. අධ්‍යාපන බර පැන රජයෙන් දැරුව ද පෞද්ගලික අංශයෙන් දැරුව ද මෙම වගකීමෙන් රජයට අත පිස දා ගත නොහැකි යි.

ඉතිහාසමය වශයෙන් සලකා බැලීමෙහි දී මානව සමාජයෙහි මුල් යුග තුළ අධ්‍යාපනය ධනවතුන්ට හෝ පාලකයන්ට සීමා වූ බව පෙනේ. එය ඉන්දියාවෙහි මෙන් බ‍්‍රාහ්මණයනට හෝ ග‍්‍රීසියෙහි මෙන් වහල් හිමියනට සීමා ව පැවැතියේ ය. අධ්‍යාපනය වඩා පැතිරෙන්නට පටන් ගත්තේ සමාජයෙහි නිෂ්පාදන බලවේග සංවර්ධනයට සමාන්තර ව. අද අප දකින මහජන අධ්‍යාපනය ධනපති සංවර්ධනයෙහි ඵලයක්. ධනපති ක‍්‍රමයට සිය කම්හල් නඩත්තුවට සහ පාලනයට මෙන් ම රාජ්‍ය පරිපාලනයට ද උගත් පිරිස් අවශ්‍ය කැරිණි. බෙහෙවින් කතාබහට ලක් ව ඇති කන්නන්ගර ප‍්‍රතිසංස්කරණ දෙස ද බැලිය යුතු වන්නේ එම දැක්මෙන්. කන්නන්ගර ප‍්‍රතිසංස්කරණ සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක වූයේ නැත. එය අතරමඟ නතර වී. එය ව්‍යාප්ත වූයේ වත් වඩා ගැඹුරු වූයේ වත් නැත. එය ද මෙරට ධනපති සංවර්ධනයෙහි ඌනතාවල ම ප‍්‍රතිඵලයක්.

දැන් අපි අධ්‍යාපනයෙහි ගුණය සහ අන්තර්ගතය විමසා බලමු. අප නිදහස දිනා වසර 70කට ආසන්න වෙතත් මෙතෙක් අපට ජාතික අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් නැත. ආණ්ඩු වෙනස්වීමත් සමග පමණක් නොව එකම ආණ්ඩුවෙහි විෂය භාර ඇමැතිවරයා වෙනස් වීමත් සමග පවා අධ්‍යාපනයෙහි පැලැස්තර වෙනස්කම් සිදු කැරෙයි. ඒවායෙහි විධිමත්භාවයක් හෝ විචාරයක් හෝ ඇතැ යි සිතා ගත නොහැකි ය. නිත්‍ය වශයෙන් සිදු වන්නේ අධ්‍යාපන බර පැන දෙමාපියන් කර මත වැඩි වැඩියෙන් පටවන්නට ලෝක බැංකුව සහ ජගත් මූල්‍ය සංවිධාන දෙන උපදෙස් ක‍්‍රියාවට නැඟීම පමණකි.

ඇමැතිවරුන් සහ නිලධාරීන් සුන්දර සිතුවම් පෙන්වුව ද අධ්‍යාපන ඉඩප‍්‍රස්ථාවන්හි පවත්නා  අසාධාරණය දැවැන්ත ය. සිසුන් 440,000ක් ඉගෙනුම ලබන 1,000ක් පමණ පාසල් සංඛ්‍යාවෙන් උසස් පෙළ විද්‍යා විෂය හැදෑරීමෙහි පහසුකම් ඇත්තේ පාසල් 350 ක පමණකි. මෙසේ රජය විසින් ම සිසුන් බහුතරය කලා විෂයන්ට කොටු කැරැ තිබියදී මැති ඇමැතිවරු සහ නිලධාරීහු ප‍්‍රසිද්ධියේ කලා විද්‍යාර්ථීන් හෙළා දකිමින් ඔවුනට ගරහත්. මෙම ඝෝෂාකාරී විවේචකයෝ බොහොමයක් ම කලා හෝ මානව ශාස්ත‍්‍ර හෝ විෂය හදාර සමාජයෙහි ඉහළ තැන්වලට පත්වූවෝ වෙත්. මෙයට වඩා සාහසික අසාධාරණයක් පැවැතිය හැකි ද?

ජාතික අනන්‍යතාවක් හදා ගැනීමටත්, ජාතික සමගිය සහ සන්හිඳියාව ඇති කැරීමටත් අප අසමත් විණැ යි ළත වන වාර එමට. එහෙත් එම අරමුණු සඳහා අප කොතෙක් දුරට අධ්‍යාපනය උපයෝගී කැරැ ඇත් ද? අනෙක් අතට, අධ්‍යාපනයෙහි අන්තර්ගතයට අප විසින් ජාතික සමගියට හානිකර කරුණු ඇතුළත් කැරැ ඇතිවා පමණක් නොව ඉතිහාසය පවා වැරැදි ව අර්ථ නිරූපනය කැරැ ඇත. එසේ ම ජාතික සමගියට හිතකර කරුණු වසන් කැරීමක් හෝ බැහැර කැරීමක් ද සිදු නොවිණැ යි කිව නොහැකි.

අපේ අධ්‍යාපනය ගුණය අතින් ද බෙහෙවින් නොදියුණු ය. හොඳම බුද්ධිමත්හු අධ්‍යාපන ක්ෂේත‍්‍රයට නො පිවිසෙත්. එයට බොහෝ දෙනා පිවිසෙන්නේ වෙනත් රැකියාවක් ලැබෙන තෙක් කල් බැලීමට. වඩා සරු රැකියාවත් දුටු තැන ඔවුන් පළා යන්නේ පැදුරටත් නො කියා. එපමණක් නොව බොහෝ ගුරු භවතුන් පසුවන්නේ අසන්තෝසෙන්. ඒ වැටුප් මදිකම නිසා. අප කලාපයේ අඩුම වැටුප් ලැබන්නේ අපේ රටේ ගුරුවරුනට තමා. පෞද්ගලික අංශයෙහි උපකාරක පන්ති ව්‍යසනයටත් එක් හේතුවක් එයයි.

ගසක් වවන්නට එක් මිනිසෙකුට හැකි අතර වනාන්තරයක් හදන්නට ගමක් අවශ්‍ය කැරෙන මුත් එක් දරුවෙකුට අධ්‍යාපනය දීමට සමාජයක් අවශ්‍ය යැයි පැරැණි චීන කියමනක් තිබේ. අධ්‍යාපනය පිළිබඳ සමාජයෙහි වගකීම එම කියමනෙන් විචිත‍්‍රාකාරයෙන් දැක්වෙයි.

අධ්‍යාපනයට සාර්වත‍්‍ර ප‍්‍රවිෂ්ටයක අවශ්‍යතාවයි එයින් ගම්‍ය වන්නේ. අධ්‍යාපන සැලැසුම් සැකැසීමෙහි දී ආර්ථිකයෙහි අවශ්‍යතා විශේෂයෙන් සැලැකිය යුතු. අනෙක් අතට, ආර්ථික සංවර්ධනයට අවශ්‍ය අවම මානව සම්පත්වත් අධ්‍යාපනයෙන් සැපැයිය යුතු ග. එහි ලා අප අසමත් වීමෙන් ජනිත ව ඇති විෂමතා බොහෝ. නිදසුනකට දැනුවත් කෘෂිකර්මාන්ත විශේෂඥයන්ගේ සහ පර්යේෂකයන්ගේ හිඟයක් පවත්නා මුත් කෘෂිවිද්‍යා අංශයේ ගෞරව උපාධිධාරීහු වාණිජ ව්‍යාපාරයන්හි කළමනාකාර තනතුරුවල නාකි වෙත්. ශ‍්‍රී ලංකාවෙහි වයස්ගත ජනගහණය වැඩි වුව ද ඔවුනට ප‍්‍රතිකාර කැරීමෙහි විශේෂ ප‍්‍රාගුණ්‍යය සහිත වෛද්‍යවරුන් හිඟ ය. මෙරට අපරාධ වැඩි වුව ද අධිකරණ වෛද්‍ය නිලධාරීන් ඇත්තේ අතලොස්සක්. මේවා ද නිවරද කළ යුතු විෂමතා.

කෙසේ වෙතත් අධ්‍යාපනය ගැන හිතා බලන්නට සහ හරිගස්සා ගන්නට දේ බොහෝ. ලෝකෙන් උතුම් රට බිහිවන්නේ එදින.


ජයතිලක ද සිල්වා

(ප්‍රවීණ ජනමාධ්‍යවේදී, දේශපාලන විශ්ලේෂක, පරිවර්තක)

Comments are closed.