පළමු වැඩවැරුම මර්දනයට ප්‍රවෘත්ති පත්‍ර සහය දෙයි! (කම්කරුවාගේ කථාව 16 කොටස)

ලංකාවේ පළමු වෘත්තීය සමිතිය පිහිටුවීම හා ප්‍රථම වැඩවර්ජනය පිළිබඳව අප පසුගිය ලිපි තුළින් සාකච්ඡා කෙළෙමු.

ඒ අනුව 1879 වසරේ ලංකාවේ පිහිටවූ පළමු වෘත්තීය සමිතිය මගින් සංවිධානය කරන ලද වැඩවර්ජනය  පරාජයට පත්විය. මෙම මුද්‍රණ කම්කරුවන්ගේ සටන පරාජයට පත්වීම එතරම් පුදුමයට කාරණයක් නොවන බව එම සටන අධ්‍යනය කිරීමේදී පෙනීයන කරුණකි. ඉන් පෙර ලංකා ඉතිහාසයෙහි එවැනි සංවිධානාත්මක කම්කරු සටන් ඉතිහාසයක් නොතිබුණු අතර අප රට කම්කරුවන්ට එවැනි අත්දැකීමක් හෝ කම්කරු සටන් පිළිබඳ කිසිදු පරිචයක්ද නොවීය. එවන් තත්වයක් තුළ තම අයිතිවාසිකම් සඳහා සටන් කිරීමට නොබියව තීරණය කළ කම්කරුවන්ගේ සටන පොඩි පට්ටම් කරදැමීම සඳහා එවකට ලංකාවේ ක්‍රියාත්මක වූ සියලුම ප්‍රතිගාමී බලවේග එකාවන්ව අවි අමෝරා ගත්තේය. ඉතාමත් ළදරු අවධියේ පැවැති වෘත්තිය සමිතියකට මෙම මර්ධනයට මුහුණ දීමට නොහැකිවීම කිසිසේත් ම පුදුමයට කරුණක් නොවීය.

මෙම ඵෙතිහාසික මුද්‍රණකරුවන්ගේ සටන පරාජයට පත්කිරීම සඳහා පෙළගැසුණු ප්‍රතිගාමී බලවේග අතර  රටේ විධායකය, ව්‍යවස්ථාදාය හා අධිකරණය, ආණ්ඩුවේ නිලධාරී පෙළැන්තිය, කතෝලික පල්ලිය, හා එවකට ප්‍රධාන සන්නිවේදන මාධ්‍ය වූ දිවයිනෙහි පළවූ සියලුම ඉංග්‍රීසි පත්තරද බරපතළ මැදිහත්වීමක් කරන ලදී.

මෙම ක්‍රියාවලියෙහි බරපතලම භූමිකාවක් සිදුකරන ලද්දේ පුවත්පත් විසිනි. එවකට පළවූ සිලෝන් ඉන්ඩිපෙන්ඩන්ට්, සිලෝන් එක්සැමිනර්, සිලෝන් ඔබ්සවර් හා ටයිම් ඔෆ් සිලෝන් යන පත්තර එම කම්කරු විරෝධී ප්‍රචාරක කටයුත්ත මැනවින් ඉටු කර ඇති බව එකල පළවූ පුවත් සිරස්තල හා ලිපි මගින් මැනවින් තහවුරු කොට ඇත. මෙම සියලු කම්කරු විරෝධී පත්‍රකරුවන් හමුවේ  කම්කරු සටන වෙනුවෙන් පෙනී සිටි එක් පුත්පතක් විය. ඒ දොස්තර ලිස්බෝ පින්තු විසින් පවත්වාගන යන ලද සතිපතා පළවුණු “කැතලික් ඉන්ඩිපෙන්ඩන් ” නැමැති පුවත්පතයි. මෙය මෙම කම්කරු අරගලයේ කැපී පෙනෙන මෙහෙවරක් කළ පුවත්පතක් විය.
පාලක පංතිය වෙනුවෙන් පෙනී සිටි පත්තර කෙතරම්  සාහසික ලෙස තම මාධ්‍ය භාවිතා කළේ ද යත් වැඩ වර්ජනය පරාජයට පත් වීමෙන් පසුද “ටයිම්ස් ඔෆ් සිලොන්” පත්‍රය, වැඩවර්ජනය පරාජය කිරීමට කටයුතු කළ ආයතන ප්‍රධානින්ට හා හාම්පුතුන්ට ඒ පිළිබඳව ප්‍රශංසා කිරීමට පවා ඉදිරිපත් විය. එමෙන්ම වර්ජනය පැවැති කාලය තුළ වර්ජකයන් මෙල්ල කිරීම සඳහා පාලකයින් ගේ ප්‍රධාන ප්‍රචාරක මාධ්‍යය වූ මෙම පත්තර මගින් වර්ජනය කරන ලද කම්කරුවන් රැකියාවලින් එළවා දැමීමට කිසිදු  බාධාවක් නොමැති බවත් ලංකාවේ කම්කරුවන් සුලබව සිටින බවත් අවශ්‍ය වුවහොත් අකුරු අමුණන්නන් වැනි ශ්‍රමිකයන් සිංප්පූරුවෙන් පවා ගෙන්වා ගත හැකි බවත් ප්‍රචාරය කර හරින ලදී. එමෙන්ම වැඩවර්ජනයට සහාභාගී වූවන් ලංකාවේ වෙනත් කිසිම මුද්‍රණාලයක වැඩට නොගන්නා බවටත් ප්‍රචාරය කරමින් මුද්‍රණ කම්කරුවන් බිය ගැන්වීමෙහි යෙදුණහ.

එමෙන්ම වර්ජකයන් කිසිම ආයතනයකට බඳවා න‍ෙගන්නා ලෙසත් නොහික්මණු කම්කරුවන් සේවයෙන් පළවා හරින ලෙසත් මෙම  පුවත්පත් පාලක පංතියට මහත්  බලපෑමක් කළෝ ය.

මෙම කම්කරු අරගලයේ දී කතෝලික පල්ලිය ප්‍රසිද්ධියේම හැසිරී ඇත්තේ දැඩි කම්කරු විරෝධී  ස්ථාවරයක පිහිටා බැව් වාර්තා වී ඇත. එකල කතෝලික පල්ලිය මගින් පළකරන ලද  පුවත්පතවූ “සිලෝන් කැතලික් මැසෙන්ජර්” පත්‍රය වාර්තා කර සිටියේ  මෙම කම්කරු වැඩවර්ජනය සඳහා කම්කරුවනට කිසිදු  ආර්ථිකමය හෝ වෘත්තීයමය හෝ ගැටලුවක් නොමැති පසුබිමක් තුළ දොස්තර  ලිස්බෝවා පින්තුගේ හා  බුල්ජන්ස්ගේ උසිගැන්වීම අනුව කරන ලද අමනෝඥ ක්‍රියාදාමයක් ලෙසය. මෙලෙස  සියලුම  ප්‍රතිගාමී බලවේගයන්    එකාවන්ව සමූහික මෙහෙයුමක් මගින් ලංකාවේ ප්‍රථම කම්කරු වැඩ වර්ජනය  පරාජයට පත්කරන ලද අතර එහි නායකත්වය ගෙන කටයුතු කළ කම්කරුවන්ට දැඩි දඩුවම් පැමිණ වීමද කරන ලදී.

මතු සබැඳේ.

෴ සරත් රත්නායක ලියයි.

කුමාරි ජයවර්ධනගේ ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ නැඟීම කෘතිය ඇසුරෙනි.

පෙර කොටසට පිවිසෙන්න..

ලංකාවේ පළමු වෘත්තීය සමිතිය (කම්කරුවාගේ කථාව 15 කොටස)

Comments are closed.