Deepwater Horizon – ලාභය මිස අනෙකක් නැත!

ලාභය මිස අනෙක් කිසිවක් ම ධනවාදය විෂයෙහි වැදගත්කමක් ඇත්තේ නැත. ඇමරිකා එක්සත් ජනපදය විසින් සිය මුහුදු සීමාවේ තෙල් කැණීම සඳහා Brtish Petrolium සමාගමට ඉඩ පහසුකම් සලසා තිබිණි.  2010 වසරේ අප්‍රේල් මස 19 වැනිදා ඒ වෙනුවෙන් ඉදිකර තිබූ අට්ටාලය සපුරා විනාශ වී ගියේ ජීවිත 11ක් බිලිගනිමිනි. හානිය වන්නේ එය මතු නොව ලොව සිදුවූ බරපතළම තෙල් කාන්දුව ලෙස ගිණිය හැකි තරම් සිදුවූ තෙල් කාන්දුවයි. බොරතෙල් බැරල් මිලියන ගණනක් මුහුදු දිය හා එක් වුණු අතර එහි හානිය වෙනුවෙන් උක්ත සමාගම ඩොලර් බිලියන 24ක් ගෙවුව ද එය සිදුවූ හානිය විෂයෙහි අබ සා ය.

පසුගිය වසරේ මෙනමින් ම නිපදවූ සිනමාපටය ප්‍රදර්ශනයට නිදහස් වූයේ සැප්තැම්බර් මාසයේ ය. සිදුවූ සත්‍ය පුවතම පාදක කරගනිමින් සිනමාපටය නිපදවා තිබෙන අතර ප්‍රකට හොලිවුඩ් නළු Mark Wahlberg ප්‍රධාන චරිතය වන මයික්ගේ චරිතය රඟ දක්වයි.

ජනප්‍රිය ක්‍රියාදාම ප්‍රවර්ගයෙන් නිපදවා ඇති මෙම සිනමාපටයේ අධ්‍යක්ෂ  Peter Berg ය. IMDB සිනමාදත්තවලට අනුව නම් බොහෝ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගෙන ඇත්තේ නැති වුව ද ලාභ ඉපයීමේ විෂයෙහි ලා බහුජාතික සමාගම් මිනිස් ජීවිත මතු නොව සමස්ත පරිසරය ම තඹ දොයිතුවකට මායිම් නොකරන අයුරු ඉතා කදිමට චිත්‍රණය කර තිබේ. අනෙකා වෙනුවෙන් ඉදිරිපත්වීම නම් වූ වීරත්වය විසින් ද රසික හද තෙමන්නට සමහර දර්ශන සමත් වෙයි.

ඇස්තමේන්තුගත වැය ඩොලර් 110,000,000ක් වුව ද (ලක්ෂ 1100) පළමු සතියේ පමණක් එය ඩොලර් 20,223,544 (ලක්ෂ 202+) උපයන්නට සමත් වී තිබේ. වානිජමය පැත්ත කොයි හැටි වුව ද බොහෝ ජනප්‍රිය සිනමාපටයන්ට වෙනස් ව බහුජාතික සමාගම් සම්බන්ධ සැබෑ පෙනුම දක්වන්නට සිනමාපටය සමත් වීම සතුටට කරුණකි.

Comments are closed.