වික්ටර්ගේ සංස්කෘතික අප්පච්චිලාට…!

වික්ටර් රත්නායක නැවත විවාහ වීමක් ගැන විශාල කසුකුසුවක් මෙන්ම ‘මානසික නොසන්සුන්තාවක්’ වික්ටර්ගේ ඊනියා රසික කැළ සහ ලංකාවේ සුචරිතවාදීන් අතර මතුවී තිබෙන හෙයින් මෙය ලිවීමට සිතීමි. ඒ වික්ටර් වෙනුවෙන් නොව අප ජීවත් වන සමාජ-සංස්කෘතික මනසේ අපූරු පැතිකඩක් එමගින් නිරූපණය වන හෙයිනි. ලංකාවේ සිටින්නේ රසිකයන් නොවේ. කලාකරුවන්ගේ අයිතිකාරයන්ය. සාම්ප්‍රදායික කලාකරුවන් අතරින්ද ඇතැම් අය මුදල්හදල්වලින් පමණක් නොව දෘෂ්ටිවාදීමය අතින්ද හිඟන්නන්ය. මොවුනට අනුව කලාකරුවෙකු විවාහ වීම, පෙම්වතුන් පෙම්වතියන් ඇසුරු කිරීම, තමන් කැමැති පක්ෂයකට ඡන්දය දීම වැනි සියලුම පෞද්ගලික කාරණා විසඳාගත යුත්තේ රසිකයන් යැයි සිතා සිටින අයගෙන් අවසර ගෙනය. සාමාන්‍යයෙන් බිරිඳ හෝ සැමියා මරණයට පත් වූ පසුව තවත් අයෙකු සමග විවාහ වීම හෝ එක්ව වාසය කිරීම විවෘත ලෝකය තුළ ගැටළුවක් ලෙස තේරුම් ගන්නේ නැත. එහෙත් ලංකාවේ එහෙම බැරිය. බිරිඳ හෝ සැමියා මියගිය පසුව තමන් කැමති පුද්ගලයෙකු සමග එක්ව ජීවත් වීම නුරුස්නා මේ සමාජය අනියම් සබඳතාවලට දැඩි ඇල්මක් දක්වන්නේද මේ නිසා විය හැක. වික්ටර් කසාද බැඳීම ගැන වැඩි වශයෙන්ම සංස්කෘතික පශ්චාත්තාපයට පත්ව ඇත්තේ වෙන අයය.

මේ අතරම වික්ටර්ගේ පුත් ලෙලුම් රත්නායක තම ෆේස්බුක් ගිණුමේ සදහන් කර ඇත්තේද විජිත් විජයමුණිගේ “අප්පොච්චි මළා” ප්‍රකාශයම වෙනත් වචනවලිනි. ඊට ප්‍රතිචාර දක්වන ලංකාවේ හුදී ජනයා වික්ටර්ට සංස්කෘතික ලෙක්චර් දෙන අතරම “දරුවන්ට පාරේ බැහැලා යන්න බැරි වැඩ කිරීම” ගැන ඔහුව විවේචනය කර ඇත. එහෙත් අප නම් වික්ටර් විශිෂ්ට සංගීතඥයෙකු වුවද ඔහුගේ පුතාලා නම් පාරේ බැහැලා යන්න තරම් කළ කෙංගෙඩියක් ගැන අසා නැත. ඒ නිසා වික්ටර්ගේ නව යුගය තුළ ඔහු වැටෙන්නේ ප්‍රේම ගීත ගැයුවාට ප්‍රේමයට කුහකකම් නොකළ රැඩිකල් කලාකාරයෙකු ගණයටය.

‍ලංකා සමාජයේ මේ ලිංගික-සංස්කෘතික කුහකකම සහ ඊර්ෂ්‍යාව ඉබේ මතු වන මිනිස් ගතිලක්ෂණයකින් ඔබ්බට ගිය එකකි. ‘මිනිසා තුළ පවතින අවිඥානික ආශාව වනාහි අනෙකාගේ (Other)’ ආශාව බව මනෝවිශ්ලේෂකයෙකු වූ ලැකාන් ප්‍රකාශ කර ඇත. ලැකාන්ගේ ප්‍රකාශයේ දාර්ශනික අරුත මුළුමනින්ම බැහැර කර වාච්‍යාර්ථයෙන් ගත්තද මෙහි සත්‍යතාව තේරුම් ගැනීම අසීරු නැත. වික්ටර්ට බණ දේශනා කරන බොහෝ අයටද මේ මොහොතේ වික්ටර් යනු තමන්ගේ ‘මහා අනෙකා’ (Big Other)වන අතර තමන්ට සැබෑ ජීවිතයේ ළං විය නොහැකි ෆැන්ටසිය ඔවුහු වික්ටර් තුළින් දකිති. එහෙත් එය ඔවුන්ගේ සවිඥානිකත්වයට ගෝචර වන්නේ බරපතල සංස්කෘතික අර්බුදයක් ලෙසිනි. සමහරුන් නැවතත් වික්ටර්ගේ ගීත අසන්නේ නැති බව ප්‍රකාශ කරන්නේ වික්ටර් ගැන ඇති තරහකටත් වඩා අවිඥානික ඊර්ෂ්‍යාවකිනි. මේ අර්ථයෙන් ගත් විට වික්ටර් යනු ඔවුන්ගේ ගෝත්‍රික සිහින කුඩුපට්ටම් කළ වීරයෙකි.

තවත් සමහරුන්ට අනුව වික්ටර් වෙන කෙනෙකු සමග විවාහ වී ඇත්තේ එකී කාන්තාවට ඔහුගේ දේපල හා ප්‍රසිද්ධිය ගැන ඇති වූ ගිජුකම නිසාය. තවත් සමහරුන්ට අනුව වික්ටර්ගේ පුත්‍රයා ඉහත කී සටහන සිය මුහුණුපොතට එක් කළේ තාත්තාගේ දේපල වෙන කෙනෙකු පැහැර ගැනීම ගැන ඊර්ෂ්‍යාවකිනි. ඇත්තෙන්ම ලංකාවේ මිනිසුන් කලාව විඳින්නට දන්නේ නැත. ඔවුන් තමන්ටම කර ගන්නා විශාලම හානිය නම් කැමැති කලාකරුවන් තමන්ගේ ලෝකයේ ස්ථිර වීරයන් බවට පත්කර ගැනීමයි. පසුගිය කාලයේ ගුණදාස කපුගේ සහ අමරදේව සම්බන්ධයෙන් මා තැබූ එක්තරා සටහනකටද අමරදේව දේවත්වයෙන් අදහන බොහෝ දෙනෙකුගෙන් ඉතාම ආවේගශීලී ප්‍රතිචාර ලැබී තිබුණි. මේ අපේ හැටිය. අප කරන්නේ අමරදේව හෝ වික්ටර්ගේ සංගීත භාවිතය විඳීම වෙනුවට ඔවුන් සහමුලින්ම ඇඟේ දමා ගැනීමය. ඉන් අනතුරුව ඔවුන්ටද තම ස්වාත්මය (Self)අහිමි විය යුතු බව විශ්වාස කරන මේ අයට අනුව ඔවුන් ඉන් පසුව ජීවත් විය යුත්තේ තමන්ගේ ෆැන්ටසිය තුළ ලියා ඇති ආඛ්‍යානයට අනුවය.‍මෙය අප මුහුණ දී සිටින පසුගාමී සංස්කෘතික පරිහානියේම කොටසකි. ලෝකය විවෘතව දකින්නට හැකි ආකාර ගැන සංස්කෘතික පුරාකෘති විසින්ම අපට උගන්වා නැත.

කලාකරුවන් අතින්ද මේ පසුගාමී දෘෂ්ටිවාදයේ නිමැවුමට එක් වී ඇති දායකත්වය සුළුපටු නොවේ. එනිසාම අධිපති කලා කතිකාව නියෝජනය කරන වික්ටර් වැන්නෙකුට මෙවැනි ප්‍රතිචාරවලින් ගැලවෙන්නට නොහැකි වීමද වික්ටර් ගයන වචනවලින්ම කියනවා නම් ‘දෛවයෝගයක්ම’ ය. මා ආරිංවංශ රණවීර කවියාට මහත් සේ ගරු කරන්නේ එබැවිනි. පුරුද්දට කවි ලියනවා වෙනුවට ගැඹුරු හැදෑරීමක් සහිතව ලියන්නෙකි, ඔහු. ඔහුගේ “ඉසුරුමුණි පෙම් යුවළ අබියස” නම් කවියේ මෙසේ දැක්වේ:

සුපතිට්ඨිත රට්ඨනුරාධපුරේ…….

නැත

නැත

උගන්වා නැත මට

ඔබ වඳින ගාථාව

ගල් පිළිමවලටත්, නටඹුන්වලටත් වන්දනා කරන්නට උගන්වා ඇති සිංහල-බෞද්ධ සංස්කෘතිය, ප්‍රේමය හා මිනිස් සම්බන්ධතාවලට වඳින්නට උගන්වා නොතිබීමේ ඛේදවාචකය ගැන මීට වඩා ලියන්නට ක්‍රමයක් නැත. වික්ටර්ගේ සංස්කෘතික අප්පච්චිලාට උගන්වා ඇත්තේ ඒවාට ඊර්ෂ්‍යා සහ වෛර කරන්නට පමණි.

වික්ටර්! ඔබට ජය.

අශාන් වීරසිංහ – ashanweerasinghe@gmail.com

2 Comments

  1. සීලගවේසී says:

    “ගල් පිළිමවලටත්, නටඹුන්වලටත් වන්දනා කරන්නට උගන්වා ඇති සිංහල-බෞද්ධ සංස්කෘතිය”

    සම්පූර්ණ්යෙන් වැරදි අදහසකි. ගල් පිලිම වලට ගරු කිරීමක් අප අතර නැත. සිහිකරන්නේ බුදු ගුණ පමණි. පිලිමය දෘෂ්‍යාදාරකයක් පමණි.

  2. Godaya says:

    This is clarification of the comment that Buddhists worship statues. While it’s only a visual aid some people ‘own’ them. It’s another manifestation of the.’owning’ of the artists.

    This celebrity worshipping happens not only in Sri Lanka. Same happens when a celebrity make a controversial personal choice in India in the West.
    I’m proud that the majority speaks against such misguided views in SL.
    In the West, the celebrity is destroyed just because of his personal choice which has nothing to do with the talent.