‘ඉරුදින’ පාලකයෝ, දඩයම් අරඹති!

ඉරුදින පුවත්පත වනාහී බොහෝ කලෙක පටන් විවිධ කලි-කලහයන් සම්බන්ධයෙන් දනන් තුඩග නම කියැවුණු පත්‍රයකි. කෙසේ වෙතත්, මෑත කාලයේ නම් එහි නම කියවුණේ සේවය කරන මාධ්‍යවේදීන්ට පඩි-නඩි නොගෙවා රක්ෂාව එපා කරන තැනට පත් කිරීම නම් අකටයුත්ත නිසා ය. එහි කර්තෘ ලෙස සේවය කළ විමලනාත් වීරරත්නගේ සේවය කිසිදු සාධාරණ හේතුවකින් තොරව අවසන් කර තිබේ. දැනගන්නට ඇති පරිදි දැනට සේවය කරන තමන්ගේ රූකඩ නොවන මාධ්‍යකරුවන් එළවා දමන්නට ය මේ පාලනාධිකාරිය කැසකවමින් සිටින්නේ!

ඉරුදින සේවක එකමුතුව විසින් නිකුත් කර ඇති පුවත්පත් නිවේදනයක් අප වෙත ලැබී තිබේ. පහත පළ කැරෙන්නේ එයයි. මෙරට මාධ්‍ය ආයතන බොහෝමයක් සිය සේවකයන් විශේෂයෙන් මාධ්‍යකරුවන් විෂයෙහි බලපවත්වන්නේ අන්තිම පහත් ක්‍රියාකලාපයකි. මේ ප්‍රශ්නයේ දී  නිවහල් අප නොවක් ව, අචල ව, අනම්‍ය ව ඉරුදින සේවක එකමුතුව සමඟ ඔවුන්ගේ සටන හා එක්වන්නෙමු.

‘ඉරුදින’ පුවත්පතේ ප‍්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කළ විමලනාත් වීරරත්න මහතා නීතිවිරෝධී ලෙස සේවයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් එම පුවත්පතේ කර්තෘ මණ්ඩලය සියලු රාජකාරි වලින් ඉවත් වීමට තීරණය කර තිබේ. පෙබරවාරි 27 දින සඳහන් කරමින් ඉරුදින පුවත්පත ප‍්‍රකාශයට පත් කරන ලීඩර් හෝල්ඩින්ස් පෞද්ගලික සමාගමේ විධායක අධ්‍යක්ෂ නලින් ජයතිලක විසින් නිකුත් කර ඇති ලිපියකට අනුව පෙබරවාරි 28 දින සිට විමලනාත් වීරරත්න මහතාගේ සේවය අවසන් කර ඇත. කිසිදු කරුණක් සම්බන්ධයෙන් පූර්ව දැනුම්දීමක් හෝ යම් විමර්ශනයක් හෝ සිදු නොකොට හදිසියේ මෙසේ ප‍්‍රධාන කර්තෘවරයා ඉවත් කිරීම නීතිවිරෝධී මෙන් ම අයුක්ති සහගත ද වේ. ආයතනයේ සේවකයන්ට හිමි විය යුතු ජනවාරි මාසයේ වැටුප පවා සම්පූර්ණයෙන් ලබා දී නැති සහ සේවය කළ කාලයට අදාළ සේවක අර්ථසාධක අරමුදල් හෝ සේවක භාරකාර අරමුදල් කොටස් ගෙවා නැති තත්ත්වයක් තුළ මාර්තු මාසයේ වැටුප පමණක් ගෙවීමේ පොරොන්දුව පිට මෙසේ සේවකයකු ඉවත් කිරීම තරයේ හෙළා දැකිය යුතුය. මේ නිසා අදාළ නීතිවිරෝධී සහ අයුක්ති සහගත ලිපිය වහාම ඉවත් කර ගන්නා ලෙසත්, සේවක මර්දනය වහාම නවත්වන ලෙසත් බල කරමින් සහ එම පියවර ගන්නා තුරු පුවත්පතේ රාජකාරි වලින් ඉවත් වන බව සඳහන් කරමින් ‘ඉරුදින’ කර්තෘ මණ්ඩලය ආයතනයේ කළමනාකාරිත්වයට ලිපියක් මගින් දැනුම් දී තිබේ.

ස්තූතියි.

‘ඉරුදින’ සේවක එකමුතුව

Comments are closed.