නිදහස් අධ්‍යාපනය සුරැකීම සඳහා යෝජනාවලියක්

මෙම ලිපියෙහි රචකයා වන ගුණසේන ඩයස් දහනායක මහතා ගුරු සේවයේ වසර 30කට ආසන්න කාලයක් නියුතු වූවෙක් මෙන් ම විදුහල්පතිවරයෙකු ලෙස ද වසර 12ක පමණ කාලයක් කටයුතු කළ අයෙකි. එමෙන් ම ගුරු ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති ක්‍රියාධරයකු, නායකයකු ලෙස වසර 50කට ආසන්න කාලයක් කටයුතු කළ අයෙකි. මෑත කාලයේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ගොඩනැගී ඇති සංවාදය කෙරෙහි ඔහුගේ අදහස් වැදගත්කමක් දරනු ඇත.

-නිවහල් වෙබ් අඩවිය

නිදහස් අධ්‍යාපනය සුරැකීම වෙනුවෙන් මේ දිනවල නොයෙක් දෙනා අදහස් ඉදිරිපත් කරන අතර ඒ වෙනුවෙන් විවිධ ආකාරයේ උද්ඝෝෂණ හා අරගල ද දක්නට ලැබේ. මේ උද්ඝෝෂණ හා අරගල සැබැවින් ම නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීම සඳහා නම් ඒ පිළිබඳව පෙළගැසීමට හා සහාය දැක්වීමට අපද ඉතාමත් කැමැත්තෙමු. ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කිරීම වෙනුවෙන් අප බොහෝ කාලයක් කටයුතු කර ඇත්තෙමු.

එසේ වුවද සැබෑ නිදහස් අධ්‍යාපනය ස්ථාපිත කරගැනීම අරභයා ප්‍රමාණවත් වූ අයුරු ඒ පිළිබඳ කරුණු දැක්වීමක් හෝ විග්‍රහ කිරීමක් දැකීමට අපි අසමත් වෙමු.

මේ ලිපිය ඒ පිළිබඳ කිසියම් අදහස් මාත්‍රයක් දැක්වීම සඳහා ලියැවෙන අතර එය සංවාදයකට පාත්‍රකොට වැඩි දියුණු කිරීම පාඨක ඔබට භාර කරමි.

නිදහස් අධ්‍යාපනය යන්න මා අවබෝධ කරගන්නා අකාරයට නොමිලයේ රජය සපයන අධ්‍යාපනය පමණක් නොවේ. මන්ද රජය යනු පවතින සමාජයේ එක් වැදගත් අංශයක් පමණක් වන බැවිනි. එපමණක් නොව රජය හැම විටකම අධ්‍යාපනයේ ආරක්ෂකයා ලෙස කටයුතු කෙරෙතියි විශ්වාසය තැබීමටද නොහැකිය. එමෙන්ම අධ්‍යාපනය රජයේ ඒකාධිකාරයක් වීමේ ප්‍රතිවිපාක අපි අත්විඳ ඇත්තෙමු. රජයන් වෙනස්වන ආකාරයට අධ්‍යාපන ප්‍රතිපත්ති හා ව්‍යවහාර වෙනස්වීම තුළින් රජයේ දේශපාලන අතගැසීම තුළින් අධ්‍යාපනය අධ්‍යාපන ආයතන හා එම සේවක පිරිස් අත්වින්දා වූ ගැහැට, දුෂ්කරතා, අසාධාරණයන් අපි හොඳින්ම දැන සිටිමු. පූර්ණ සමාජවාදී රාජ්‍යයක හැර සමාජයක දේපළ හිමිකාරිත්වය හා හැසිරවීම රජය මෙන්ම වෙනත් අංශ විසින් ද කරනු ලැබේ. උදාහරණ ලෙස පෞද්ගලික හා සමුපකාර අංශ. සමාජවාදී රාජ්‍යවල පවා අධ්‍යාපනයේ ප්‍රගතිය සම්බන්ධව රාජ්‍ය ඒකාධිකාරය අනිසි ලෙස බලපෑ ආකාරයද අප වටහාගෙන සිටිමු. එසේ වූ කල අධ්‍යාපනයේ වගකීම රජය සතු බව අප පමණක් නොව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධ්‍යාපනය පිළිබඳ ලියකියවිලිවල සඳහන් කර තිබෙතත් ප්‍රායෝගිකව රජයන් මඟින් ප්‍රමාණවත් පරිදි එකී වගකීම ඉටුකර තිබේ ද යන්න ප්‍රශ්නයකි. එමෙන්ම සමාජයේ ප්‍රබලම අංශය ‍ලෙස ජනතාවගේ අදහස්, වුවමනා එපාකම්, අභිලාශ වරින්වර පැමිණෙන රජයන් සැබෑ ලෙස නියෝජනය කෙරේ ද යන්නයි.

ඒ අනුව සමාජයේ අනාගතය හැඩගස්වන අධ්‍යාපනය රජයට පමණක් භාරදීම තුළ සැබෑ නිදහස් අධ්‍යාපනයක් ගොඩ නැගේද යන්නයි

නිදහස් අධ්‍යාපනය යන්නෙන් එය සැබැවින්ම ජාති, ආගම්, පංති, කුල, ලිංග භේදයෙන් තොර අධ්‍යාපනයක් විය යුතු ය. විශේෂයෙන් එය අනාගමික විය යුතු ය. බොහෝ දියුණු රටවල මේ අනුව අධ්‍යාපනය සැකසීමට උත්සාහ දරා ඇත. ආසන්නතම උදාහරණ ලෙස ඉන්දියාව සැලකිය හැකි වේ. දැනට අප රට තුළ රජයේ පාසල් අතර පවා මෙකී භේදයන් පවතින බව ප්‍රචලිත ය. වර්තමානයේ ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීමේ අවශ්‍යතාවය අපි සියල්ලෝ ම පිළිගනිමු. එහිදී ආගම් අනුව හෝ ලිංග අනුව හෝ ජාතින් අනව හෝ පාසල් පැවතීම ජාතිය ගොඩනැගීමට බරපතළ බාධාවක් වේ. එකිනෙකාගේ ජාතික, ආගමික, ලිංගික අනන්‍යතාවන් ආරක්ෂාවන පරිදි සියල්ල එකම ආයතනයක එකට හැදී වැඩී ඉගෙනීම ජාතිය ගොඩනැගීමේ මූලික කොන්දේසියකි.

තෙවනුව නිදහස් අධ්‍යාපනය යනු ශාස්ත්‍රීය නිදහස තහවුරු කිරීමයි. ශාස්ත්‍රීය නිදහස යනු ශික්ෂණය මෙන් ම ශික්ෂාවද ශිෂ්‍යයා මෙන්ම ශික්ෂකයා ද නිරවුල් නිදහස් මනසකින් ස්වකීය කාර්ය ඉටුකරලීමට ඉකඩ අවසර පුළුල් කිරීමයි. රාජ්‍ය ඒකාධිකාරි අධ්‍යාපනය බොහෝ දුරට රාජ්‍ය මතවාදය, අධිපතිවාදය වෙනුවෙන් අධ්‍යාපනය පමණක් නොව ආගම ඇතුළු සංස්කෘතික අංග සෑම එකක්ම භාවිතා කරන බව දන්නෝ දනිති. අධ්‍යාපනයේ අරමුණු, සැලසුම්, විෂය පථය, ඉගැනුම් ඉගැන්වීම් ක්‍රම මෙන්ම ඇගැයීම් ද සකස් වන්නේ රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූලව ය. වර්තමානයේ මතු වී ඇති අධ්‍යාපන ගැටලු බොහෝමයකට හේතු සාධක වී ඇත්තේ රාජ්‍ය අධ්‍යාපන ව්‍යවහාරය බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. ශාස්ත්‍රීය නිදහස ආරක්ෂා කර ගැනීමට රාජ්‍යයේ අයුතු බලාධිකාරය බිඳ‍දැමීම හා වැඩි වශයෙන් ජනතා සහභාගිත්වය නැංවීම වෙනුවෙන් ජනතා සිතුම් පැතුම් අභිලාෂ ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ අප ගැඹුරින් සිතා බැලිය යුතු ය.

තවමත් යමෙකු දැඩිලෙස රාජ්‍ය අධ්‍යාපනය කෙරෙහි එල්බ සිටින්නේ නම් පහත සඳහන් යෝජනා සාකච්ඡාවට ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.

01. පාසැල් පද්ධතිය තුළ පවතින බරපතළ විෂමතාවන් වෙනස් කිරීමේ ආරම්භයක් ලෙස ජාතික පාසල් වර්ගය වෙනස්කොට එකී පාසැල්වල ප්‍රාථමික අංශ වහාම ඒවායෙන් බැහැර කිරීමට කටයුතු කළ එකී ජාතික පාසල්වල පහසුකම් වැඩි සිසු පිරිසකට ලබා දීම සඳහා 6 ශ්‍රේණියට ඇතුළත් කරගැනීමේ විධිමත් වැඩපිළිවෙලක් ඇරඹිය යුතු ය.

02. ගුරු වෘත්තිකයන්ගේ වැටුප් වෛද්‍ය සේවයේ වැටුප් හා සමාන කොට මුදල් අයකර උපකාරක පංති පැවැත්වීම ක්‍රියාකාරී රජයේ සේවයේ යෙදී සිටින ගුරුවරුන්ට තහනම් කළ යුතු ය.

03. නිදහස් අධ්‍යාපනය යටතේ පෙරපාසලේ සිට විශ්වවිද්‍යාලය වැනි උසස් අධ්‍යාපන ආයතන දක්වා සියලු ආයතන රජයේ පාලනයට යටත් කළ යුතු අතර එම ක්‍රියකාරිත්වය ප්‍රජාතන්ත්‍රවාදී ලෙසත් විද්‍යාත්මක ලෙසත් විධිමත් ලෙසත් නියාමනය කිරීම සඳහා ස්වාධීන මණ්ඩල පත් කළ යුතු ය.

04. පන්ති කාමරය තුළත් පාසල තුළත් උසස් අධ්‍යාපනික ආයතන තුළත් දේශපාලනික සාමාජික සංස්කෘතික හා ආර්ථික බලපෑම්වලින් තොර ශාස්ත්‍රීය නිදහස ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය විධිවිධාන සැලසිය යුතු ය.

05. අධ්‍යාපන සේවයට සම්බන්ධ සියලු දෙනාගේ සක්‍රීය සහභාගිත්වය, ව්‍යවස්ථා පැනවීම, සැලසුම්කරණය හා ඒවා ක්‍රියාත්මක කිරීම යන අවස්ථාවන්හි දී ප්‍රශස්ත ලෙස ලබා ගැනීම සඳහා අධ්‍යාපන වෘත්තීය සභාව පිහිටුවිය යුතු අතර එයට ස්වාධීන ලෙස කටයුතු කිරීමේ ඉඩ-කඩ සැලසිය යුතු ය.

06. දැනට පවත්නා අසමතුන් හා නිකමුන් බෝ කරන අසාධාරණ විභාග ක්‍රමය වෙනුවට ශිෂ්‍යයකුගේ සැඟවුණු දක්ෂතා හඳුනාගන්නා ඒවා පරිපූර්ණත්වය දක්වා ගමන් කරවන රටට ප්‍රයෝජනවත් තරුණ පරපුරක්, පුරවැසි පිරිසක් බිහි කරන විභාග හා ඇගයීම් ක්‍රමවේදයක් සකස් කළ යුතු ය. එසේ නොවන තාක් ඊනියා නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල ලබාගන්නේ මුළු ශිෂ්‍ය පරම්පරාවෙන් ඉතා අඩු ප්‍රතිශතයක් වන අතර එය කුසලතාවය මත යැ යි ප්‍රකාශ කළ ද එකී කුසලතාව ලබා ගැනීම සඳහා ආර්ථික හා සාමාජික බලපෑම් අදාළ වන බව ද පැහැදිලි ය.

07. රාජ්‍ය සේවකයන් අතර දැනට පවතින අසාධාරණ වැටුප් පරතරය නිසා ගොඩනැගී ඇති සුපිරි වෘත්තික සේවාවන්වල සුවිශේෂී වරප්‍රසාද ඉවත් කොට සියලු වෘත්තිකයන් අතර පිළිගත හැකි සාධාරණ ජාතික වැටුප් ප්‍රතිපත්තියක් ඇති කළ යුතු ය. එවිට කිසියම් එක් වෘත්තියක් හෝ වෘත්තීන් කිහිපයක් සඳහා පමණක් සමාජයේ ඇති ඉල්ලීම සහ හඹායෑම නතර කොට නිදහස් අධ්‍යාපනය සැබෑ ලෙස අර්ථවත් කළ හැකි වනු ඇත.

08. සමස්ත පාසල් පද්ධතිය තුළ පවතින බරපතළ විෂමතාවන් ඉවත් කළ යුතු ය.

09. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය හා ව්‍යවහාරය තුළ ජාතික සමඟිය ගොඩනැගීම නිදහස් අධ්‍යාපනයට අත්‍යාවශ්‍ය කාරණයකි.

10. අධ්‍යාපනය හා සෞඛ්‍ය වෙනුවෙන් රජය විශාල මුදලක් රාජ්‍ය ආදායමෙන් වෙන් කළ යුතු නිසා මෙම මුදල් ලබා ගැනීම වෙනුවෙන් දැනට පවතින වක්‍ර බදු ක්‍රමය වෙනුවට එකිනෙකාගේ පෞද්ගලික ආදායමට අනුපාතික සමාජ සුබසාධන බද්දක් අය කළ යුතු ය. කිසිදු රාජ්‍ය සේවකයකු තම වැටුපට අමතරව මුදල් ඉපැයීමේ මාර්ගවලට අවතීර්ණවීම වැලැක්විය යුතු ය. ඒ අනුව පෞද්ගලික රෝහල් ද රජයේ පාලනයට යටත් විය යුතු ය.

11. අවසාන වශයෙන් රාජ්‍යයේ ක්‍රියාකාරිත්වය තුළ ජනතා පරමාධිපත්‍ය සැබෑ ලෙස තහවුරු කිරීම උදෙසා එහි ප්‍රධාන අවයව වන ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ යන ආයතන තුන අතර බලය බෙදීම ස්ථාපිත කරන අතර ප්‍රාදේශීය වශයෙන් ජනතාවගේ සක්‍රීය දායකත්වය හා සහභාගිත්වය ලබා ගැනීම සඳහා පළාත් හෝ ප්‍රදේශ වශයෙන් රාජ්‍ය බලය බෙදා හැරීම ද අඩංගු වන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කළ යුතු ය.

Comments are closed.