මෛත්‍රීට ගුවනින් යන ලෙඩක්!

ලංකා මිනරල් සෑන්ඩ් ආයතනයට වත්මන් රජය යටතේ 2015 වසරේ දී පත් කළ කීර්තිමත් පරිපාලන නිලධාරියෙක් වූ අශෝක පීරිස් ඉන් ඉවත් කර මෛත්‍රී ගුණරත්නව පත් කිරීම විවිධ අංශවල කතා-බහට ලක් වූ සිදුවීමක්ව තිබේ. අශෝක පීරිස් ලංකා මිනරල් සෑන්ඩ් ආයතනයේ නිසි බලධාරියා ලෙස වැඩ බාරගනිද්දී එම ආයතනයේ ගිණුමේ ශේෂය ලෙස තිබූ රුපියල් මිලියන 61ක මුදල ඔහු ඉන් ඉවත් කරන අවස්ථාව වන විට රුපියල් මිලියන 385ක් දක්වා වර්ධනය කර තිබීම මතින් ම ඔහුගේ කාර්යක්ෂමතාව පිළිබඳ අදහසක් ඇති කර ගත හැකියි.

ආයතනයේ මාසික වියදම රුපියල් මිලියන 100 සිට 65 දක්වා අඩු කරන්නට ද ඔහුගේ පාලනය සමත්ව තිබුණි. සේවක සුබසාධනය ද ඉතා ඉහළ මට්ටමකට ගෙන එන්නට ඔහු සමත්ව තිබීම විශේෂත්වයකි. ආයතනයක් ලෙස පාඩු ලබන තත්වයේ සිට ලාභ ලබන සහ සේවක සුබසාධනය ඉහළ මට්ටමකට ගෙන ඒමට සමත්ව තිබූ අශෝක පීරිස් එයින් ඉවත් කර මෛත්‍රී ගුණරත්න නමැත්තා නිසි බලධාරී තනතුරට පත් කර තිබේ. ඔහු එයට පෙර ලංකා ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර එයින් ඉවත් කරන ලද්දේ ටෙන්ඩර් ගනුදෙනු සඳහා සම්බන්ධවීම නිසා බව ද දැනගන්නට තිබේ.

හානා හීය පානා අඬහැරයෙන් දැනෙන්නේ යැ යි කියන්නාක් මෙන් මේ නවමු බලධාරියා පසුගිය දා පුල්මුඩේ සංචාරයක් සඳහා ගොස් ඇත්තේ හෙලිකොප්ටරයක් භාවිතා කරමිනි. අශෝක පීරිස් වැනි කාර්යක්ෂම නිලධාරියෙක් විසින් වියදම් අඩු කරමින් ඉහළට ගෙනා ආයතනයක් විනාශ මුඛයට ගෙනයන්නට මෛත්‍රී ගුණරත්න වැන්නෙක් කටයුතු කරන ආකාරයට මෙය කදිම නිදසුනකි.

විකුණා දැමීමට නියමිතව තිබූ ආයතනයක් ගොඩ ගැනීම වෙනුවෙන් ආණ්ඩුව එහි නියමුවාට සැලකූ අයුරුයි ඒ. මෙයින් පෙනී යන්නේ උලව් යහපාලන ආණ්ඩුවට අවශ්‍ය නිවැරදි දැක්මකින් යුතු දක්ෂ, කාර්යක්ෂම නිලධාරීන් නොවේ. අවශ්‍ය වන්නේ මෛත්‍රී ගුණරත්න වැනි කුප්‍රකට කාපාලුවන් බව ය.

ආණ්ඩුවේ නිසි බලධාරියා ද මෛත්‍රී කෙනෙකු බැවින් මේ මෛත්‍රී ගැන කටයුතු කිරීම ගැන පුවත්පතකින් කියවා වත් අවධානය යොමු කළ යුතු ය.

– නිවහල්

Comments are closed.