වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනයේ ක්‍රියාව ගැන සිත්තැවුළක්!

ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනයේ ජාතික සම්මේලනය වෙනුවෙන් දේශකයෙකු ලෙස ඊශ්‍රායෙල් වාස්තු විද්‍යාඥ මොෂේ සෆ්දි මහතාට ආරාධනය කිරීම සම්බන්ධයෙන් තමන් මහත් සිත්තැවුළට පත් වූ බව පවසමින් ගෝලීය සාධාරණත්වය සඳහා ශ්‍රී ලාංකේය මාධ්‍යවේදියෝ සංවිධානය විසින් ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනය වෙත ලිපියක් යොමු කර තිබේ.

පහත දැක්වෙන්නේ එම ලිපියයි.

ගෝලීය සාධාරණත්වය සඳහා ශ්‍රී ලාංකීය මාධ්‍යවේදියෝ
42/2ල  දෙවැනි පටුමඟල  කොස්වත්ත පාර,  රාජගිරිය

2017 පෙබරවාරි 14

ගරු සභාපති
ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ ආයතනය 110/10 විද්‍යා මාවත
කොළඹ7

මහත්මයාණනි

ඔබ ආයතනයෙහි ජාතික සම්මේලනය අවස්ථාවෙහි ගෝලීය සාධාරණත්වය සඳහා ශ්‍රී ලංකා මාධ්‍යවේදියෝ ඔබ වෙත සුබ පැතුම් පිරිනමන්නී   ය.

වාස්තු විද්‍යාවෙහි උසස්තම වෘත්තීය ප්‍රමිති හඳුන්වාදීමට සහ එමඟින් රටෙහි සංවර්ධනයට දායකවීමට ඔබ ගන්නා ප්‍රයත්නයන්හි සාර්ථකත්වය පතන අතර  මෙම සතියෙහි පැවැත්වෙන ඔබ සම්මේලනයෙහි ප්‍රධාන දේශකයකු ලෙස වාස්තු විදාඥ මොෂේ සෆ්දිට ආරාධනය කිරීමට ගත් තීරණය පිළිබඳ අප ගේ බලවත් සිත් තැවුල දැන්වීමට අපට අවසර දෙන්න.

වසර 2009 ජුලි මස ජාත්‍යන්තර වාස්තු විද්‍යාඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් මෙසේ කියා සිටියා ය:  “ජනවාර්ගික පවිත්‍රකරණයට ලක් කරන ලද භූමියෙහි සංවර්ධන ව්‍යාපෘති සහ ගොඩනැගිලි ඉදිකිරීම් සහ ජනවාර්ගික ව හෝ සාංස්කෘතිකමය ව හෝ අසාධාරණවලින් යුත් විධිවිධාන පදනම් වන ව්‍යාපෘති ජාත්‍යන්තර වාස්තු විද්‍යාඥ සංගමයෙහි කවුන්සිලය හෙලා දකින අතර එපරිද්දෙන් ම හතර වැනි ජිනීවා සම්මුතිය උල්ලංඝණය වන සියලු ක්‍රියා ද හෙලා දකී.”

යුද්ධයෙන් අල්ලා ගත් භූමියෙහි සදාචාර ප්‍රතිපත්තීන්ට සහ අන්තර්ජාතික නීතිය උල්ලංඝනය කරමින් සිදු කරන ජනාවාස ඉදිකිරීමෙහි කටයුතුවලට සෆ්දි මහතා ඍජු ව ම සම්බන්ධ යැයි අපි විශ්වාස කරමු. ඔබ දන්නා පරිදි නීති විරෝධී ජානපදකරණ ඉදිකිරීම්වලට සෆ්දි මහතා සම්බන්ධ බව ලන්ඩනයෙහි Guardian   පුවත්පත ද තහවුරු කරයි.

අල්ලා ගත් පලස්තීන භූමියෙහි ඊශ්‍රායල ජනාවාස ඉදිකිරීම ලොව පුරා බුද්ධිමත්හු සහ විද්වත්හු හෙලා දැක ඇත්තා හ.  අල්ලා ගත් පලස්තීන භූමියෙන් ඉවත්වීමට ඊශ්‍රායලයට බල කරනු පිණිස බටහිරල ආසියාවෙහි සහ වෙනත් කලාපයන්හි බුද්ධිමතුන්ල  විද්වතුන් සහ ප්‍රජා අයිතිවාසිකම් ක්‍රියාධරයන් විසින් Boycott –Divestment –Sanctions (වර්ජනය – ආපසු ගැනීම – තහංචි)  නැමැති ව්‍යාපාරයක් අරඹා ඇති බව අපි ඔබ ගේ කාරුණික අවධානයට යොමු කරවනු කැමැත්තෙමු.  අපේ සියවසෙහි නිදහස් අරගලයෙහි පතාක යෝධයන් දෙදෙනා වන මහත්මා ගාන්ධි සහ නෙල්සන් මැන්ඩෙලා පලස්තීනුවන්ගේ නිජබිම ඊශ්‍රායලය විසින් අල්ලා ගෙන සිටීම තරයේ හෙළා දුටහ.

ගාන්ධි මෙසේ පැවැසී ය:  “එංගලන්තය ඉංග්‍රීසින්ට අයත් සහ ප්‍රංශය ප්‍රංශ ජාතිකයන්ට අයත් යන අර්ථයෙන් ම පලස්තීනය අරාබින්ට අයත් ය — පලස්තීනය සිය ජාතික භූමිය ලෙස අර්ධ වශයෙන් හෝ මුළුමනින් ම හෝ යුදෙව්වන්ට ආපසු පැවැරීම සඳහා ප්‍රෞඩ අරාබිවරුන් හෑල්ලු කිරීම මානව සංහතියට එරෙහි අපරාධයකි”. නෙල්සන් මැන්ඩෙලා කීවේ මෙසේ ය:  “පලස්තීනුවන් ගේ නිදහස නැති ව අපගේ නිදහස අසම්පූර්ණ ය.”

ලොව පුරා බොහෝ බුද්ධිමතුන්,  විද්වතුන් සහ ප්‍රජා අයිතිවාසිකම් ක්‍රියාධරයන් සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටිමින් හඬක් නැති මිනිසුන්ට හඬක් දෙන අතර ලොව පුරා සාම ලැදි ජනතාවට ආඩම්බර විය හැකි ආකාරයෙන් කැපී පෙනෙන ලෙස ශ්‍රී ලංකාවෙහි වෘත්තීයවේදීන් සහ විද්වතුන් අතර සාධාරණත්වය වෙනුවෙන් ක්‍රියාකාරිත්වයක් වර්ධනය ව නොතිබීම අප සනිටුහන් කරන්නේ කණගාටුවෙනි.

වාස්තු විද්‍යා මහා ප්‍රාඥයෙකු වශයෙන් සෆ්දි මහතා ගේ සුදුසුකම් කෙතරම් ප්‍රබල වුවද ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ ආයතනය සිය වාර්ෂික සැසිවාරයට එම මහතාට ආරාධනය කිරීමෙන් වැළැකී සිටියේ නම් එයින් සාධාරණත්වය වෙනුවෙන් ප්‍රබල පණිවිඩයක් දෙන්නට තුබූ බවත්,  1948 නිදහස දිනා ගැනීමෙන් අනතුරු ව ශ්‍රී ලංකාව අනුගමනය කළ පලස්තීනු ජනතාව ගේ නිදහස් අරගලයෙහි ඔවුන් සමග සිටීමෙහි ප්‍රතිපත්තියට එය අනුකූල වන්නට තුබූ බවත් අපට දැනෙන්නේ එම සන්දර්භය තුළ ය.

ප්‍රධාන දේශකයෙකු වශයෙන් සෆ්දි මහතාට ඔබ කළ ආරාධනය අප ගේ විවේචනයට ලක් වන අතර පලස්තීන ජනතාවට සාධාරණත්වය ඉටු කිරීම සඳහා වන ව්‍යාපාරය ගැන ද සිත යොමු කරන මෙන් අපි ඔබෙන් ඉල්ලා සිටිමු.  නිවාස සහ අහස් කුස සිඹින උස් මහල්  ඉදිකිරීමට පමණක් නොව හැමගේ යහපතට සාමය සහ සාධාරණත්වය රජයන ගෝලීය නිවහනක්   තැනීමට ද අපි සැවොම අත්වැල් බැඳගනිමු.

ස්තුතියි

ජයතිලක ද සිල්වා  – සභාපති

මහින්ද හත්තක – ප්‍රධාන ලේකම්

Comments are closed.