SAITM දෙස මහා කෝණ බැල්මක්

මාලබේ පෞද්ගලික වෙද විදුහලේ හෙවත් SAITM ආයතනයෙහි වෛද්‍ය උපාධිය මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති ප්‍රශ්නයකි. මේ පිළිබඳ මෑත ම සිදු වීම අභියාචනා අධිකරණය විසින් එම උපාධිය නීත්‍යනුකූල සේ තීන්දු කැරීම ය.

කෙසේ වෙතත්, එයින් සයිටම් විරෝධී උද්ඝෝෂණ නතර ව නැත. එසේම ඒවා ඉදිරියෙහි ද පවතිනු ඇතැ යි අනුමාන කළ හැකි ය. මේ වන විය එය බරපතල දේශපාලන ප්‍රශ්නයකි. දේශපාලන ප්‍රශ්නවලට අධිකරණ තීරණවලින් පිළියම් සොයා ගත හැකි ද යන්න විවාදාත්මක ය. මන්ද යත් අධිකරණය සලකා බලන්නේ එයට ඉදිරිපත් කැරැ ඇති කරුණු පමණකි. එහෙයින් ප්‍රශ්නයෙහි සමස්ත චිත්‍රයක් අධිකරණය හමුවට නො පැමිණෙන අවස්ථාවෙක එක් කෝණයකින් හෝ සීමිත කරුණූ මත හෝ එය යම් නිගමනවලට එළැඹෙන්නට ඉඩ තිබේ.

කවර ප්‍රශ්නයක් ගැන වුව නිවැරැදි නිගමනයනට එළැඹීම සඳහා සමස්ත චිත්‍රය ම සලකා බැලිය යුතු ය. ප්‍රශ්නය දෙස සුළු කෝණවලින් බලනු වෙනුවට මහා කෝණයෙන් බැලිය යුතු ය. මේ එවන් උත්සාහයෙකි. එහි දී විවිධ පුද්ගලයන්, කණ්ඩායම්, හිමිකම් කියන තැනැත්තන් කියන කරන දෙය වටහා ගැනීම වැදැගත්.

මෙහි දී මතු කරන ප්‍රධාන ම තර්ක කිහිපයෙකි. වඩාත් ම පුළුල් පදනමකින් ඉදිරිපත් කැරෙනුයේ සයිටම් ද අධ්‍යාපනය පෞද්ගලීකරණයක් වන නිසා එය නතර කළ යුතු බව. එයින් නිදහස් අධ්‍යාපනයට තර්ජනයක් වන බව. ඇත්ත වශයෙන් ම, අද අධ්‍යාපනය බොහෝ දුරට පෞද්ගලික ව පවතී.

ඊනියා ජාත්‍යන්තර පාසල් මාධ්‍යයෙන් ප්‍රාථමික අධ්‍යාපනයට පවා පෞද්ගලික අංශය පිවිස ඇත. මුලින් එසේ පැමිණියේ හොර පාරකින් ආයෝජන මණ්ඩලය හරහා. දැන් එළිපිටම එයි. ද්වීතීය අධ්‍යාපනයෙහි පෞද්ගලීකරණය එහි ම දිගුවකි.

තවත් කරුණක් වන්නේ රජයේ පාසලක  “නොමිලයේ” අධ්‍යාපනය ලැබුව ද අධ්‍යාපන බරපැනෙන් බහුතරයක් දෙමාපියන් විසින් ඉසිලීම ය. ඒ අතින් බලන කළ නිදහස් අධ්‍යාපනයක් නැති තරම්.

පූර්ව-ප්‍රාථමික අධ්‍යාපනය මුළුමනින් ම වාගේ පෞද්ගලික ය. දරුවාට හාපුරා කියා අකුරු කැරැවීමෙහි වගකීමෙන් රජය වගක් නැති ව අත ගසා දමා ඉවත් ව සිටීම ගැන කිසිදු අධ්‍යාපනඥයෙකු ගේ අවධානය මෙතුවක් කල් යොමු ව නැත.

තෘතීය හෙවත් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි පෞද්ගලික අංශය මේ වන විට අනල්ප ව වර්ධනය ව හමාර ය. සයිටම්හි අලුත් තත්ත්වය වෛද්‍ය අධ්‍යාපනයෙහි පෞද්ගලික අංශයෙහි පුරෝගාමියා වීම ය. සරසවි අධ්‍යාපනය අන් හැම විෂය ධාරාවක ම පෞද්ගලික ව සිදු කැරේ නම් වෛද්‍ය අධ්‍යාපනය ද එයට එක් වීම ගැන පමණක් එරෙහිවීම අවිචාරශීලී ය. එය විචාරශීලී වන්නේ උසස් අධ්‍යාපනය සහමුලින් ම රජය විසින් පවරා ගත යුතු යැයි පිළිගන්නේ නම් පමණි. තනිකර ම එම බර කරට ගන්නට රජය ආර්ථික වශයෙන් අපොහොසත් ය. එහෙත් සරසවි වරම් සහිත ව අ.පො.ස උසස් පෙළ සමතුන්ගෙන් සරසවියට පිවිසෙන්නට ඉඩ ඇත්තේ සියයට 16කට පමණකි. එහෙයින් පෞද්ගලික අංශයෙහි දායකත්වය අවශ්‍ය ය.

එහි දී ගැටලු දෙකක් මතු වෙයි. පළමු වැන්න, පෞද්ගලික  අධ්‍යාපන ආයතන කිසිදු ප්‍රමිතියකට යටත් නොවීම හෝ ඒ පිළිබඳ අධීක්ෂණයක් නැතිකම ය. ඇත්තට ම පෞද්ගලික අංශයෙහි රුචිය ගුණාත්මක අධ්‍යාපනයක් සැපැයීමට වඩා ලාභ ගැරීම ය.

පෞද්ගලික අංශයෙහි අධ්‍යාපන ආයතන පැවැතිය ද රජයට අධ්‍යාපනයෙහි වගකීමෙන් බැහැර වන්නට නොහැකි ය. සමස්ත අධ්‍යාපන ජාලයෙහි ම ප්‍රමිතිය ගැන රජය වගකිව යුතු ය.  උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය ගතහොත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්  සභාව වගකියන්නේ රජයේ විශ්ව විද්‍යාල පද්ධතිය ගැන පමණකි. එහෙයින් උසස් (තෘතීය)  අධ්‍යාපන නියාමන සභාවක් අනිවාර්ය ය.

දෙවැනි ගැටලුව නිදහස් අධ්‍යාපනයෙහි ඉරණම හා සම්බන්ධවූවකි. සයිටම් ඇතුළු පෞද්ගලික විශ්ව විද්‍යාල පද්ධතිය සඳහා රජයේ විශ්ව විද්‍යාලයන්හි ආචාර්යවරුන් හා වෙනත් සේවක පිරිස් මෙන් ම භෞතික සම්පාදන සඳහා වන ආණ්ඩුවෙහි ප්‍රතිපාදන හා පහසුකම් යොදවා ගැනෙන්නේ නම් එයින් නිදහස් උසස් අධ්‍යාපනයෙහි විද්‍යාල පද්ධතිය විනාශය වන්නට පිළිවනි. සරසවි සිසුන් සහ රජයේ වෛද්‍යවරුන් දක්වන විරෝධතාවන්හි සාධාරණයක් පවතින්නේ මෙම කාරණය තුළ ය. එය ආණ්ඩු විරෝධී කඩාකප්පල් ක්‍රියාවක් සේ බැහැර කළ නො හේ.

සයිටම් ආරාවුලට ප්‍රධානතම හේතුව වන්නේ එහි ප්‍රමිතිය පිළිබඳ තාක්ෂණික ගැටලුව ය. සයිටම් වෙද විදුහලෙහි සිසුන්ට ප්‍රමාණවත් ගුණාත්මක සායනික පුහුණුවක් නොලැබීම ප්‍රධානතම තාක්ෂණික ගැටළුව යි. එහි ප්‍රතිඵලය වන්නේ ගුණාත්මකභාවයෙන් අඩු වෛද්‍යවරුන් බිහි වීම සහ එමඟින් ජනතාව ගේ සෞඛ්‍යයට එල්ල වන තර්ජනය ය. මෙය බරපතල ප්‍රශ්නයකි. එහෙයින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙහි අනුමැතිය අනිවාර්ය කළ යුතු බවට නඟන තර්කය ප්‍රබල ය. වෛද්‍ය ආඥා පනත අනුව සෞඛ්‍ය ඇමැතිවරයාට වෛද්‍ය සභාව අභිබවා තීරණ ගත හැකි ය. එසේ ම වෛද්‍ය සභාවට හිමි  නෛතික බලයෙහි සීමා ද ඇත. මෙම නිසා දේශපාලනඥයන්හට මහජන සෞඛ්‍යයට අහිතකර ව බලපාන තීන්දු වුව ගත හැකි ය. මෙම තත්ත්වය ද වෙනස් කළ යුත්තකි.

සයිටම් වෛද්‍ය උපාධිය පිළිබඳ අධිකරණ තීරණයට පාදක ව ඇත්තේ අධ්‍යාපන ඇමතිවරයා විසින් සිය බලය භාවිතා කැරැ පසු ගිය ආණ්ඩු සමයෙහි පළ කළ ගැසට් නිවේදනය ය. එහෙත් එම තීරණයට එළැඹීමට ඔහුට සාධාරණ හේතු පැවැතියේ දැ යි සැකයෙන් තොර ව කිව නොහැකි ය. අධිකරණ තීරණය එම දේශපාලකයා ගේ තීරණය මත රඳන බැවින් ප්‍රශ්නයෙහි දේශපාලන ස්වභාවය යටපත් කළ නොහැකි ය. අවසාන  තීරණය අධිකරණය මත යැයි කියමින් තර්ක නඟන්නවුන්ට ඒ බව මතක් කැරැ දිය යුතු ය.

සිය වෙද විදුහල සංවර්ධනයෙහි දී වෛද්‍ය සභාව සමග සහයෝගයෙන් කටයුතු කරනු වෙනුවට අමාත්‍යවරයා සහ ආණ්ඩුව සමග හාද වෙමින් සයිටම් බලධාරීන් වෛද්‍ය සභාව පමණක් නොව වෛද්‍ය වෘත්තියෙහි ප්‍රමිතිය පිළිබඳ ව ද දක්වා ඇත්තේ  අඩු සැලැකිල්ලකි. ඔවුන් සායන කටයුතු සඳහා පහසුකම් සලසා ගැනීමට පෙර ම දේශන පාඨමාලා කටයුතු අවසන් කෙළේ දළ වසරකට දෙවරක් සිසුන් බඳවා ගත්තේ ද ඔවුන්ට මුහුණ දෙන්නට වන අකරතැබ්බය ගැන තැකීමකින් තොර ව ය. වෘත්තීය වෛද්‍යවරයෙකු වන සයිටම් සභාපතිවරයා දැනගත යුතු ව තුබූ කාරණයක් වන්නේ අවුරුද්දකින් දෙකකින් ශික්ෂණ රෝහලක් බිහි කළ නොහැකි බව ය. එහි අනිටු ඵලවිපාක අත්විඳින්නට ඇත්තේ අහිංසක සිසුන්ට සහ දෙමාපියන්ට ය.

මෙම ප්‍රශ්නයෙහි මානුෂික පැත්තක් ද වෙයි. එනම් වෛද්‍ය පාඨමාලාව සම්පූර්ණ කැරැ සායනික පුහුණුව නොලබා සිටින සිසුන් ගේ තත්ත්වය යි. එහෙයින් කවර විසඳුමක් වුව එය ඔවුන්ට සාධාරණය ඉටු කරන්නක් විය යුතු ය. ඔවුනට අඩුවක්  වන පුහුණුව සම්පූර්ණකැරීමට නිසි වැඩපිළිවෙලක් ඇතුළත් විසඳුමක් විය යුතු ය.

මෙම ප්‍රශ්නය නොවිසඳා තවත් ඔඩු දුවන්නට ඉඩ හැරිය හොත් බොර දියෙහි මාළු බෑමට වලිකන අවස්ථාවාදී නඩයට එය රුකුලක් වනු පමණක් නොව රට දේශපාලන අසථාවරත්වයට ඇද වැටෙන්නට සහ දැනට විවර ව ඇති  ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය ඇහිරී යන්නට ද ඉඩ තිබේ.

කෙසේ වෙතත්, මෙම ප්‍රශ්නය විසඳිය නොහැකි මහමෙරක් සේ නොසැලැකිය යුතු ය. අදාළ සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කැරැ එය විසඳීම රජයෙහි වගකීම ය. එතෙක්  වහසි බස් දෙඩීමෙන් ප්‍රශ්නය අවුල් කළ ඇමැතියා ඇතුළු වගකීමෙන් තොර වාචාලයන් හික්මවා ගැනීම ආණ්ඩුවෙහි ලොක්කන්ට ම භාර ය.

– දේශපාලන විශ්ලේෂක

Comments are closed.