රවි කරුණානායක සාර්ථක ව්‍යාපාරිකයෙකි

රවි කරුණානායක මුදල් ඇමැතිවරයා ලෙස ජනතාවගේ විශ්වාසය බිඳගෙන අහවර ය. රවි පමණක් නොව වත්මන් රෙජිමය ම එසේ ය. මුදල් ඇමැති ලෙස පත්වීම් ලද මුල් කාලයේ ම ඔහු සුපිරි ජීප් රථ සිය ගණනක් බදු රහිතව නිදහස් කරමින් රජයට බරපතළ පාඩුවක් සිදු කළේ ය. රේගු ආඥා පණත සංශෝධනය කරන්නට ගොස් සිදු කරගත් අවුල ද සුළු පටු නොවේ.

ලයන් බෘෘවරීස් සමාගමට බියර් ආනයන බදු සහන ලබා දීමෙන් රජයට කෝටි ගණනක පාඩුවක් සිදු කරන ලදැ යි ද රවී කරුණානායකට චෝදනා එල්ල විය. ව්‍යාපාරිකයෙක් මුදල් ඇමැති වීම දේශපාලන ශිෂ්ඨත්වය අතින් දියුණු රටක නම් අරුමයක්වත් අවුලක්වත් නොවේ. එහෙත් දේශපාලනය සේ ම කූඨ ලෙස හැඩ ගැසුණු මෑත කාලීන ලංකාවෙහි ව්‍යාපාරිකයෙක් මුදල් ඇමැති වීම සිනහා නූපදවන හාස්‍යයක් පමණකි.

රවිගේ අලුත් ම ජල්ලිය වාහන කොටස් ගෙන්වා එකලස් කරන සමාගමකට බදු සහන ලබා දීමට දරන උත්සාහයයි. මේ සමාගම වංචනික ලෙස වාහන කොටස් ගෙන්වා එකලස් කර නීතිවිරෝධීව විකිණීම සිදුකරන බව කියැවෙයි. බොහෝ දේශපාලකයන් මොවුන්ගෙන් වාහන ලබා ගන්නා බැවින් මේ මෙකී බදු සහන ජාවාරම සම්බන්ධයෙන් සහය පළ කිරීම හෝ නිහඬව සිටීම යන ස්ථාවරයන්හි සිටින බව දැනගන්නට ඇත.

පැවති රාජපක්ෂ රෙජිමයේ දිගු කාලය තුළ දූෂණය ඉතා නරක අන්දමින් මුල් බැස ගෙන තිබුණි. හවුල් පාලනයක් වන වත්මන් රෙජිමයේ වගකීම් ඍජුව භාර ගන්නට කිසිවෙක් නැති බැවින් රිසි රිසියන් රිසි රිසි පරිදි ඉන්නා ටික කාලෙදි උදර පෝෂණය කරගන්නා අයුරු දකින්නට තිබේ. රවි ඒ අතරින් හොඳම ප්‍රකාශනය බව කිව හැකි ය.

රවි කරුණානායක යනු, තුන්වැනි ලෝකයේ රටක සාර්ථක ව්‍යාපාරිකයෙකි.

Comments are closed.