බෞද්ධ ක්‍රමයට වීරකාව්‍ය සිනමාපට නිර්මාණය කළ හැකි ද?

ගරා වැටෙමින් තිබෙන සිංහල සිනමාව යම් පමණකින් ඔසවා තබනට හැකි නිර්මාණ කිහිපයක් පසුගිය කාලයේ බිහි විය. සිනමාව ගොඩනගන්නට කළ යුතු ප්‍රධාන කාර්යයන් අතරින් එකක් වන්නේ ප්‍රේක්ෂකයා සිනමාශාලා වෙත යළි කැඳවා ගැනීමයි. එවැනි සිනමාපට නිර්මාණ කිරීමයි. ජනප්‍රිය සිනමාවට මේ වෙනුවෙන් කළ හැකි දේ බොහොමයකි. වීරකාව්‍ය සම්ප්‍රදායේ සිනමාපටවලට එයිටත් වඩා දෙයක් කළ හැකි ය.

වීරකාව්‍ය සම්ප්‍රදායේ (Epic) සිනමා නිර්මාණ යනු ලොව මහා ප්‍රේක්ෂාවක් දිනා ඇති සිනමා නිර්මාණ ප්‍රවර්ගයකි. ඉතිහාස ප්‍රවෘත්තියක් පදනම් කරගෙන නිපැයෙන වීරකාව්‍ය සම්ප්‍රදායේ සිනමා නිර්මාණ ඉතිහාසමය වීරකාව්‍ය (Historical Epic) ලෙස නම් කෙරෙයි. චිර ප්‍රකට බටහිර සිනමා නිර්මාණවන බෙන්හර් (Ben-Hur) බ්‍රේව් හාට් (Brave Heart) ට්‍රෝයි (Troy) ඇලෙක්සැන්ඩර් (Alexander) ස්පාර්ටකස් (Spartacus) එවැනි ලෝකය පුරා මහත් ප්‍රේක්ෂාවක් නිර්මාණය කළ ඉතිහාසමය වීරකාව්‍ය සම්ප්‍රදායේ නිර්මාණ ලෙස ගිණිය හැකි ය. ඉන්දියාවේ නිපයනු ලැබූ ජෝදා අක්බාර් (Jodhaa Akbar) අශෝකා (Ashaka) වැනි සිනමා නිර්මාණ ද එකී වර්ගයේ සිනමා නිර්මාණයෝ ය.

ඉතිහාසය පදනම්ව නිපැයෙන වීරකාව්‍ය පන්නයේ සිනමා නිර්මාණ සරල පහසු කටයුතු නොවේ. මහත් පරිශ්‍රමයක් දරා විශ්වසනීය ලෙස කතා වස්තුව ගොඩ නැංවිය යුතු ය. හිතා මතා ඉතිහාස කරුණු විකෘති කරන්නට නිර්මාණකරුවාට අයිතියක් නැත. යන්ත්‍ර සූත්‍ර අවි ආයුධවලට වඩා මිනිස් නියෝජනය අතිමහත් වූ ඉතිහාසයෙන් ගන්නා කතා වස්තූන් නිර්මාණය අති දැවැන්ත කර්තව්‍යයකි. සිය දහස් ගණන් අතිරේක නළු නිළියෝ ද, අති දැවැන්ත සිනමා පසුතල ද ඊට වුවමනා කෙරෙයි.

ලාංකේය සිනමාවේ වීර කාව්‍ය පන්නයේ සිනමා නිර්මාණ යනුවෙන් හැඳින්විය හැකි නිර්මාණ උක්ත නිර්මාණ හා සැසඳීමේ දී දක්නට නොලැබෙන බව කිව යුතු ය. ජැක්සන් ඇන්තනි විසින් නිර්මාණය කරන ලද “අබා” සිනමාපටය එකී ප්‍රවර්ගය අනුයන්නට උත්සාහ කළ ද හොලිවුඩයට, බොලිවුඩයට හෝ කොලිවුඩයට සාපේක්ෂව එවැනි මට්ටමකට ළඟා වන්නටවත් නොහැකි වූ බව සරල සත්‍යයකි. කුඩා ප්‍රාග්ධනයන් සේ ම විවිධ කරුණු කාරණා එයට බලපාන බව සැබෑවකි.

“ආලෝකෝ උදපාදි” සිනමාපටය මෙම වීරකාව්‍ය සම්ප්‍රදාය ලංකාව තුළ තහවුරු කරනු ඇතැයි යම් විශ්වාසයක් සිනමාවට සම්බන්ධ යම් යම් පිරිස් අතර ගොඩ නැගී තිබුණේ එය ප්‍රදර්ශනය වන්නට පෙර සිට ම ය. “ශ්‍රී ලංකාවේ සිනමාවේ නැවුම් පෙරළියක ආරම්භය” යැ යි පූර්ව ප්‍රචාරණයේ දී පැවසුණු මෙහි, පූර්ව ප්‍රචාරක පටය දෙලක්ෂක පනස්දහසකට ආසන්න පිරිසක් නරඹා තිබේ. සිනමාපටය සම්බන්ධව නිර්මාණය කර ඇති විකපීඩියා පිටුවේ ද එය (epic historical film) ඉතිහාසමය වීරකාව්‍ය ප්‍රවර්ගයේ සිනමාපටයක් ලෙස දක්වා තිබේ. සිනමාවේ ඉදිරිය සුබාවාදී වේවයි ඉත සිතින් පතන අපිදු ආලෝකෝ උදපාදි සිනමා නිර්මාණය නරඹන්නට ගියේ සුපසන් සිතිනි.

යම් නිර්මාණයක් විවේචනය නොකරන්නට හේතු දෙකක් තිබේ. එකක් නම් එය අතිවිශිෂ්ට නිර්මාණයක් වීමයි. අනෙක නම් විවේචනය කරන්නට තරම් දෙයක්වත් එහි නොතිබීමයි.

ආලෝකෝ උදපාදි සිනමාපටයේ සමස්තය පුරා ම විහිද ඇත්තේ ඕලාරික බවකි. වීර කාව්‍යමය සම්ප්‍රදායේ සිනමාපටයක පමණක් නොව ඕනෑම සිනමාපටයක තිරරචනය ශක්තිමත් විය යුතු ය. ප්‍රේක්ෂකයා දැනටමත් දන්නා පුවතක් කේන්ද්‍රකරගන්නා බැවින් තිරපිටපත විෂයෙහි මහත් කාර්යයක් පැවරේ. ආලෝකෝ උදපාදිහි තිරරචනය අතිශයින් ඕලාරික ය. සිනමාපටය බොහෝ වෙලාවක් දක්වා බලා සිටින්නට සිදුවන්නේ කම්මැළිකමෙනි. දන්නා කියන කතාන්දරයක් ද වන බැවින් අල්ලා සිටීම පහසු නොවේ. සිදුවීම් ගැටෙන අවස්ථා ද තිබේ. ගැමියන්ට සිය දරු සොයුරන් හිතැතියන් අහිමිවීමේ දී බණ දේශනා කරන භික්ෂුව එම හානිය තම පන්සලට ඒමේ දී හඬා වැටෙන අයුරු දැක්වීම එබන්දකි.

රණකාමය නංවන දෙබස් ද ඕලාරික ය. සාතිශය බහුතරයක් රංගන ශිල්පීන් ඔහේ වැනෙනවා විනා රංගනයේ යෙදෙන්නේ නැත. වළගම්බා රජුගේ චරිතය රඟන උද්දික ප්‍රේමරත්න එයින් ප්‍රමුඛ ය. ඔහුගේ චරිතය දකින විට සිතෙන්නේ ඒ රජු නම් අමු කාලකණ්ණියෙකු බවයි. චරිතය වෙනුවෙන් සතපහක කැපකිරීමක් කරන්නට ඔහුට වුවමනා වී නැති බව පෙනේ. බිරිඳ මිය යන්නට පෙර සිට ම ඔහු හැසිරෙන්නේ බිරිඳ මිය ගිය අයෙකු සේ ය. ඔහු සතුරන් ශක්තිමත් ව තමා දුබලව සිටියදී පළා යන්නේ වුවද නැවත වෙනත් වටයකින් සේනා සංවිධානය කරමින් පැමිණ සතුරන් පැරදවූ රජෙකි.

කලා අධ්‍යක්ෂණය පෙන්වන්නේ ද දුබලතා ය. ගැමි ගෙවල් කෘත්‍රීමව සැදූ ඒවා බව බැලූ බැල්මට පෙනෙයි. රංග වස්ත්‍ර ගැන එතරම් සැලකිල්ලක් දක්වා නැත. කාල වකවානු වෙනස් වුව ද කිසිදු ඇඳුමක් සැලකිය යුතු අන්දමින් වෙනස් කර ඇත්තේ නැත. අඩු ම තරමින් වසර 12කට පසුත් සියලු දෙනා කිසිම වෙනසක් නැතිව පෙර මෙන් ම තිරිහන්ව සිටිති. මහලු භික්ෂුවකගේ චරිතය රඟන බුද්ධදාස විතානාරච්චිගේ මුහුණෙහි රැල්ලක්වත් වැටී නැත. අනෙක් චරිත ද එසේ ම ය.

වළගම්බා රජුගේ ප්‍රධාන සෙනෙවියෙක් බවට පත්වෙන සිවුරුහළුවා තීය බ්‍රාහ්මණයා විසින් පහර දීමෙන් පමණක් සෑහීමකට පත් වී නිදහස් කර යවන්නේ ඇයි දැ යි පැහැදිලි නැත. සටන් ජවනිකා පවා අතිශය දුප්පත් ය. කැමරාව කේන්ද්‍ර කරන ද්වන්ද්ව සටන පරිවාරයේ සියලු සටන් උදෑසන ව්‍යායාම කරන පිරිසක් සිහිගන්වයි. අවසන් සටන් ජවනිකාව රඟන උද්දික ප්‍රේමරත්න සහ දර්ශන් ධර්මරාජ් දෙපළගෙන් එකී ජවනිකාවට සාධාරණයක් කරන්නේ දර්ශන් පමණක් බව කිව යුතු ය. වසර දහයකට වඩා අල්ලා සිටින මහා නියඟයක් වන බැමිණිතියාසාය කාලය නිරූපණය කර ඇත්තේ ද අතිශය දුබල ලෙස ය.

කැමරාකරණයෙන් දක්ෂතා පෙන්වන අවස්ථා නම් කිහිපයකි. පරිගණක සජීවීකරණ ප්‍රයෝග (visual effects) විෂයෙහි මනරම් අවස්ථා දක්නට තිබෙයි. සිනමාභාෂාව ළගන්නා  ලෙස හසුරුවා ඇති දර්ශනද කිහිපයකි. ඒවා අගය කළ යුතු ය. එසේ ම පූර්ව ප්‍රචාරක පෝස්ටරය ද සිත්ගන්නාසුළු ය.

වීරකාව්‍ය පන්නයේ සිනමා නිර්මාණයක් නම් එය වීරකාව්‍යක් ලෙසින් කළ යුතු ය. අවසන් සටන දක්වා සියලු උද්වේගකර අවස්ථා මොට කර දැමෙයි. යුද්ධය අස්සේ ඇති මානුෂිකකමක් ඇත්තේ නැත. යුද්ධය කිකලෙකත් තිරශ්චීන ස්වභාවයක් ගන්නේ ය. තිරරචකයාගේ ඔලුවේ මානුෂික යුද්ධය නම් වචනය හොල්මන් කරන නිසාදෝ නැතිනම් යුද්ධය බෞද්ධකම සමඟ පෑහීම වරදකාරී හැඟුමක් දනවන නිසාදෝ එම ජවනිකා මොට කර දමා බොදු මග පොලා පන්නා ගනියි.

යුද්ධයෙහි ඇති අමානුෂිකකම එහි අවසන ඇති නිෂ්ප්‍රයෝජනත්වය සහ වරදකාරී හැඟුම් වීරකාව්‍ය සම්ප්‍රදායේ සිනමා නිර්මාණවල දක්වාලන අවස්ථා කොතෙකුත් තිබේ. එය ට්‍රෝයි සහ අශෝකා සිනමාපට දෙකෙහි ම මනාව දක්වාලයි. ට්‍රෝයි හි එය සිදු කරන්නේ ඉතා මනහර ශෝකි සංගීත සංධ්වනියකින් විනා සිනමාපටයේ කූටප්‍රාප්තියක දී විනා සෑම විනාඩි 10කට පමණ වරක් භික්ෂුවක් හෝ ධම්මපදය පෙන්වීමෙන් නොවේ. වීරකාව්‍යමය රණකාමය සහ අවිංහසාවාදී බුදු දහම එක්තැන්කොට වීරකාව්‍යයක් නිර්මාණය කළ හැකි ද? සත්‍ය බුදුදහම යනු ඥානසාර පන්නයේ එකක් නම් එය කළ හැකිව තිබුණි.

ඒ අනුව අලෝකෝ උදපාදි ලාංකේය ඉතිහාස වීරකාව්‍ය සම්ප්‍රදායේ සිනමාවක් කෙරෙහි ආලෝකයක් නූපදවයි. වැය කළ බව කියන රුපියල් කෝටි 13 උපයාගන්නට ආලෝකෝ උදපාදි සමත් වනු ඇති නමුත්, ලාංකේය සිනමාවට වීරකාව්‍ය සම්ප්‍රදායේ සිනමාපටයක් තිළිණ කරන්නට අධ්‍යක්ෂවරයා සමත් වී නැති බව කණගාටුවෙන් වුව ද කිව යුතු ය.



සඳුන් ප්‍රියංකර විතානගේ

One Comment

  1. අපේ ගොඩක් ෆිල්ම් වල පුර්ව ප්‍රචාරක පටය තමා සුපිරි, එක බලල හෝල් එකට ගිහින් පට්ට ෆිලුමක් බලන්න කල්පනා කොරන අපිට මඩු වල්ගෙන් ගහන්න ඕන බව මම තේරුම් ගත්තේ “මහරජ ගැමුණු” බලන්න ගිහින් :v නින්දත් ගියා :v