නවයෙ කතාව – නරකයෙහි දිවිය ගැන හොඳ කතාවක්!


පිටු 134
මිල රු.300.00
සත්‍යා ප්‍රකාශන

විමල් කැටිපෙආරච්චි 2013 දී පළ කළ ඔහුගේ දෙවැනි නවකතාවයි. අපට මතක ඇති හැටියට සමකාලීන සාහිත්‍ය කතිකාව අස්සේ එය එතරම් අවධානයට ලක් වූයේ නැති.

ව්ලැදිමීර් නබකොව්ගේ කෘතියක සිංහල පරිවර්තනයක් කියවීම නමැති දුෂ්කර වෑයමෙන් ඉක්බිති ව මා කියවන්නට ගත්තේ කැටිපෙගේ 9 කතාවයි. මිතුරන්ගේ නිර්මාණ වහා නොකියවා කල්දැමීමේ නරක පුරුද්ද නිසා මගහැරී තිබුණු මේ නවකතාව කියවීමට පොළොඹවනසුළු හොඳ නවකතාවක් ලෙස පිටු කිහිපයක් කියවාගෙන යද්දී මට වහා දැනී ගියේ ය.

9 කතාවට වස්තු විෂය වන්නේ කොළඹාසන්නයේ වෙසෙන පැල්පත්වාසී ජන සමූහයක ජීවිතයෙන් අංශු මාත්‍රයකි. නවය නපුරු යැ යි සම්මතයක් තිබේ. එය ද මෙහි දැනේ. ඒ මදිවාට 9MM මංජු නම් “කල්ලකඩත්තයා” ය. එතැන ද 9 රූපිකයක් වේ. නේරංජනා නම් රූපත් යුවතිය කේන්ද්‍ර කරගනිමින් කතාව විකාශනය වෙයි. ඇය වටා සැරිසරන චරිත ලෙස බියුටි මදූ නමින් දන්නා එක් සංක්‍රාන්ති ලිංගික චරිතයක් ද, පාතාල මැරවර චරිතයක් ද නේරංජනාගේ මව්-පිය ලෙස දැක්වෙන දමිළපිය – සිංහල මව් යුවළක් ද තරුණ වෛද්‍යවරයෙක් ද වශයෙන් පෙනී සිටිති.

9 කතාව වනාහී අමුතු කතාවක් නොවේ. මේ අත්දකින එදිනෙදා ජීවිතය එහි දිගහැරී තිබේ. විටෙක ඒ නේරංජනා ය. විටෙක එහි මංජු ය. විටෙක එහි මා ය. නැතිනම් ඔබ ය. කතාව දිව යන්නේ කියවන අපෙන් දුරස් ව නොවේ. නේරංජනා නමැති චරිතය සාදෘශ්‍යයක් කරගන්නේ නම්, අද පවා බොහෝ කතාකරුවන් විශ්වාසය තබන අති නිර්මල අඹෙන් උපන් කුමාරිකාවක් ( සුචරිතවාදී අරුතින්) බවට ඇය පත් නොකරන්නට රචකයා වගබලා ගනියි. ගමනකට මඟට බසිද්දී අපට හමුවන දෙනෝදාහක් අතර එක් චරිතයක් බවට ඈ පත්වන්නී පාඨකයාගෙන් බැහැර නොයා ඔහු අසල ම රැඳෙන්නී ය. පාසල් අධ්‍යාපනයෙන් අසමත් වුණු, රොමෑන්ටික නවකතාවක පරිද්දෙන් කන්‍යාභාව බලය රැකීමේ පරම ජීවන පැතුමෙන් දුරස් වුණු, මොඩ්ලින් හෝ රංගනය හෝ වෙනත් විනෝද කර්මාන්තයේ කුරුබිලියකින් රිංගා ගොඩයන්නට දතකන සුවහසක් පොත්ත රතු මානවිකාවන්ගෙන් කෙනෙකි, මේ නේරංජනා. ඇගේ ජීවන විජිගීෂාව රැඳෙන්නේ කොතැනක ද?

නිරූපණය, නේරංජනාගේ නිරුත්සාහී ආශාව ය. බියුටි මදූ වැන්නකුගේ විවරණ ලබන්නට බොහෝ පෙර පවා තමා හැඩ ඇඟක් ඇති එකියක වග ඈ දැන සිටියා ය. තමාගේ මවටවත් පියාටවත් පිහිටා නැති නමුත් තමා වෙත ඇති අසාමාන්‍ය ඡවි වර්ණය ඈ නොයෙක් වර කැඩපතෙන් වින්දාය. නේරංජනා සිතින් නිරූපිකාවක වූයේ පාසල් යන සමයේ දී ය. නවයෙ කණුව ප්‍රාථමිකයෙන් පසු නගරයේ පාසලක අධ්‍යාපනය ලබන්නට ඈ ගියේ ශිෂ්‍යත්වය අසමත් දැරියක ලෙසිනි. අදටත් නවයේ සිටින කට කැඩිච්ච ගැහැනුන් ඇහෙන නෑහෙන ගාණට කියන, තමන්ගේ චරිතය විවරණය කරන වචන තුන, නේරංජනා ද සැබැවින් ම විශ්වාස කළා ය.

“පොත්තෙ රත විතරයි.”
(9 කතාව – 16 පිට)

කතා ගෙතීමේ අතිමහත් ශූරත්වයක් කැටිපෙ එහි විශද කර තිබේ. කතා කැබිලිති කිහිපයක් කෘතිය පුරා විසුරුවා හරින ඔහු අවසානයේ දී මනරම් ලෙස පූර්වාපර සන්ධි ගලපාලයි. ( අවසානය ගැන වෙනත් අදහසක් දරන බැවින් අය මතුවට සඳහන් කරමි) එයින් පෙනී යන්නේ මෙය මහා කෘතියක් නොවුවත් ඉතා විශිෂ්ට නවකතාවක් නිර්මාණය කිරීමේ අතිමහත් ශක්‍යතාවක් අප මිතුරා වෙත ඇති බවයි. ජෝතිගේ සිංදු කියමින් නවයෙ කණුවේ ආතක් පාතක් නැතිව වෙසෙන “දූවිලි ගාන්ධර්වයා”ට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වෙයි. එවැන්නක් කිසිසේත් ම බලාපොරොත්තු නොවන කියවන්නා ඇස් උඩ ඉන්දා ගන්නේ ජෝතිපාල මාස්ටර් නමින් එකලාව සැඟව දිවි ගෙවා ඇත්තේ මුදල් පොලියට දෙන දඩි-බිඩි බැංකුවක් නිමවා මිනිසුන්ගෙන් සල්ලි ගැරූ සක්විති පන්නයේ මිනිසකු බවට පසුව දැන ගැනීමෙනි. ඉතින් තවදුරටත් කිසිවක්, කිසිවෙක් අහිංසක නොවන බව නවකතාව අපට ඇඟිල්ලෙන් ඇන කියයි. නේරංජනා රමණ කාරිය ම පිණිස ඇසුරු කරන සමිර නම් දොස්තරවරයාග‍ෙ පවා ගොදුරක් මිස දඩයක්කරුවෙක් නොවේ. ඔහුගේ ඇසෙහි පවා අනෙකෙකුගේ දුකක දී කඳුළක් නැගෙයි.

කැටිපෙගෙ අනෙක් ලේඛනවලද පැනෙන රහට ලිවීමේ හැකියාව, යම් යම් තැන්වල රටාව බිඳ වැටී තිබුණත් මෙහි ද රමණීය අයුරින් බහා තිබෙනු අපට හසු වෙයි. සුගතපාල ද සිල්වාගේ අති ප්‍රබල මනෝහර ප්‍රබන්ධයන්හි පමණක් මෙතුවක් මේ කියවීමේ දිවියේ දී මට හමුව ඇති “කල්ලකඩත්තයා” නම් වචනය කැටිපෙ යොදා ඇත්තේ බුහුටි ව ය.

හෙට යනුවෙන් ඇති දවස සදාකාලික මනෝරාජිකයකි. එහෙත් හෙටක් නැති දවසක් නැත. අලසයෝ ද සොරු ද පූජකයෝ ද වෙළෙන්දෝ ද පාලකයෝ ද ප්‍රේමවන්තයෝ ද ජීවත්වන්නෝ හෙට දෙස බලාගත්වන ම ය.
(9 කතාව – 56 පිට)

මේ කුමන ගමනක් ද? එක අතකට අපි සියල්ලෝ ම සීතල මළසිරුරු අවදානම් රථවල රුවාගෙන ඔසු සොයා දුවන මිනිසුන් වෙමු. කේශ නාලිකාවන්හි රුධිරය අතුරුදන් වෙමින් තිබේ. ඒවා මළකුණුවල සමට උරා ගන්නවා වත් ද? ඇස්වල දිළිසුම මරණය ඉක්මනින් ම රැගෙන යයි. නාස්පුඩු දිගේ අනායාසයෙන් සැරිසරන්නේ දූවිල්ල මුසු වූ හාත්පස සාමාන්‍ය වාතය පමණි. ඒ වාතයෙන් අම්ලකරය පෙරා ගන්නට වෙනදා බලා සිටින හෘදය, මරණය විසින් නිහඬ කරවනු ලබයි.
(9 කතාව – 104 පිට)

9 කතාවේ එන එක් ප්‍රධාන දුබලතාවක් ලෙස සැලකිය හැකි වන්නේ නවකතාකරු කතා කියන්නෙකු මෙන් වරින් වර කියවන්නා වෙත කඩා පැනීම යි. රචකයා හිතා-මතා යොදා ඇතැ යි හැඟෙන මේ කඩාපැනීම පැරණි නවකතාහි ආ නමුත් බැහැර කෙරුණු ලක්ෂණයකි. සිහිගන්වන්නේ ඩබ්ල්යු. ඒ. සිල්වාගේ කතා කීමේ ශෛලියයි. කතාව සහ කියවන්නා අතර බාධකයක් සේ එය මතුව ඒ. 9 කතාව වෙත කියවන්නා එළැඹෙන පළමු පරිච්ඡේදයේ එය මහත් සේ දක්නට ලැබෙයි. රචකයා එහි දී සිටින්නේ විස්තර විභාග වර්ණනා ගොන්නක අතරමං ව ය. එය තවද එක් සමයෙක බරණැස් නුවර ආදී බණකතා සාහිත්‍යයක් සිහිගන්වන අතර කතාවට කරන සෙතක් නැත. නවකතාවේ සැබෑ ආරම්භය ඇත්තේ දෙවැනි පරිච්ඡේදයේ ය.

ඇය ඒ කී විලාසයත් මදූ සවන් දීගෙන සිටි විලාසයත් ඔබ දුටුවේ නම් මේ දෙදෙනා අප්‍රකාශිත ප්‍රේමවන්තයන්ද කියා ඔබ මගෙන් විමසනු ඇත.

හ්ම්! නේරංජනා විසින් මේ කියන මොහොතේ පිරික්සනු ලබමින් සිටින කාන්තිගේ අත්ල මත ඇති නොසේදෙන කහට පැල්ලම් මොනවාද යන්න තවමත් ඔබ හට නොකීම මා කළ වරදකි. මම දැන් එය නිවැරදි කරමි.
(9 කතාව – 41 පිට)

එසේ ම නවකතාවේ ගලා යාම විසින් එහි කූටප්‍රාප්ති දෙකක් සනිටුහන් කෙරෙයි. නවකතාකරුවා පූර්වාපර සන්ධි ගළපාලන අවසන් පරිච්ඡේදයට පෙර පරිච්ඡේදය එක් කූටප්‍රාප්තියක් සටහන් කරයි. එය කතාවෙ ප්‍රස්තුත මිනිසුන්ගේ ජීවිත, (එනම් අපගේ ජීවිත) මෙන් ම ඊළඟ මොහොතේ සිදුවෙන්නේ කුමක් දැ යි නොදන්නා පැටලැලි සහගත, ව්‍යාකූල විවෘත අවසානයකි.

දෙවැන්න පෙර කිව් පරිදි, කැටිපෙ විසින් පූර්වාපර සන්ධි ගළපා ගැටලු විසඳන අවසානයයි. එකක් අනෙකට වඩා හොඳ හෝ නරක යැ යි නොකියා මා කැමැති පළමු අවසානයට බව ලියමින් මේ සටහන නිමා කරමි.


සඳුන් ප්‍රියංකර විතානගේ

Comments are closed.