උදාර ගනු-දෙනු!


සිල්ලර වෙළඳ සැලේ දී මම අල මිලදී ගනිමින් සිටියදී ඉතා කෙසඟ, වැරහැලි හැඳගත් ප්‍රසන්න කොලුවෙකු මගේ ඇස ගැටිණි. බඩගිනි දෑසින් අලුතින් කඩාගත් ඇපල් කූඩය දෙස ඔහු කෑදර අයුරින් බලා සිටියේය. කඩහිමියා සහ වැරහැළි ළමයා අතරවූ සංවාදය මගේ කන වැකුණේ මා ඔවුන්ට ඉතා සමීපව සිටි බැවිනි.

“කොහොමද පීටර්, හොඳින් නේද?”
“ආ, ජෝන් මහත්මයා, ඔවු හොඳින්. ඔබට ස්තුතියි, මම මේ ඇපල් අගය කරමින් උන්නේ. ඒවා බොහොම අගෙයි”.
“කැමතිද ටිකක් ගෙදර ගෙනියන්න”. ජෝන් මහතා විමසීය.
“නෑ මහත්මයා. මගේ ළඟ මුදල් නැහැ ඒවට ගෙවන්න”.
“හ්ම්, එහෙනම් ඒ ඇපල් වෙනුවට මාත් එක්ක ගනුදෙනු කරන්න ඔබ ළඟ මොනවාද තියෙන්නෙ”?
“මා සන්තකේටම තියෙන්නෙ ජිල්බෝල විතරමයි”.
“කෝ බලමු ඒක. ම්ම්…. කාරණේ මේක නිල් පාට වෙච්ච එකයි. ගෙදර තියෙනවද මේ වගේ රතු පාට එකක්”? කඩ හිමියා විමසීය.
“හරියටම කියන්න අමාරුයි. ඒත් තියෙන්න පුලුවන්”.
“එහෙනම් මම කියන්නම් කරන්න ඕන දේ. මේ ඇපල් මල්ල අරගෙන ගෙදර යන්න. ඊළඟ වතාවෙ එනකොට රතු ජිල්බෝලෙ අරගෙන එන්න”. ජෝන් මහතා කොලුවාට පැවසීය.
“ගොඩක් ස්තුතියි ජෝන් මහත්මයා”.

ඒ අසල හුන් ජෝන් මහත්මිය මට සහාය වනු පිණිස මා වෙත පැමිණියාය.
“අපේ ගමේ ඒ වගේ තවත් පිරිමි ළමයි දෙන්නෙක්ම ඉන්නවා. ඒ තුන්දෙනාම බොහොම දුප්පත්. ජෝන් බොහොම කැමතියි එයාල එක්ක ඇපල් වලට, දොඩම් වලට නැත්නම් ඔය ඕනෙම දේකට හෙට්ටු කරන්න. එයාල අර රතු ජිල්බෝලත් අරගෙන ආපහු ආවම, ඔන්න ජෝන් තීරණය කරනවා රතු ජිල්බෝල වලට එයා අකමතියි කියලා. එයා මොකද කරන්නෙ, ආපහු අර ළමයින්ව ගෙදර අරිනවා තවත් මොනවා හෝ කෑම මල්ලක් එක්ක. හැබැයි එයාල ඊළඟ වතාවෙ කඩයට එනකොට එක්කෝ කොළ පාට නැත්නම් තැඹිලි පාට ජිල්බෝල අරගෙන එන පොරොන්දුව උඩ”. ඈ සිනාසෙමින් කීවාය.

මේ මිනිසා පිළිබඳව විස්මයට පත්වෙමින් මම කඩයෙන් පිටවූයේ මට ම සිනාසෙමින්. මද කලකට පසු මට නගරයෙන් බැහැර නිවසකට මාරුවීමට සිදුවිය. වසර ගණනාවකට පසු මම පැරණි මිතුරන් කිහිප දෙනෙකු බැහැදැකීම පිණිස නැවත ගමට පැමිණියෙමි. එහිදී මට දැනගන්නට ලැබුනේ ජෝන් මහතා පෙරදින මිය ගිය බවයි. මම මගේ මිතුරන් සමඟ ඔහුගේ නිවසට පිය නැගුවෙමි.

අපට ඉදිරියෙන් තරුණයන් තිදෙනෙක් සිටියේය. එක් අයෙකු යුධ හමුදා නිල ඇඳුමක් දරා සිටි අතර, අනෙක් දෙදෙනා කදිම අයුරින් කොණ්ඩය කපා, සුදු කමිස හැඳ කාල වර්ණ ඇඳුම් කට්ටල වලින් සැරසී සිටියහ. ඔවුන් තිදෙනාගේ පෙනුම අතිශයින් වෘත්තිමය බව පෙනුණි. ඔවුහු ජෝන් මහත්මිය වෙත පැමිණ, සැකෙවින් ඇයට කථා කොට මිනී පෙට්ටිය වෙත ගමන් කළහ. ඇගේ අඳුරු, ලා නිල් පැහැති දෑස් ඔවුන් එකිනෙකා පසුපස ගමන් කළේය. තරුණයන් තිදෙනාම වරකට එක් අයෙකු බැගින් මිනී පෙට්ටිය මත තිබූ සුදුමැලි අත මත තමන්ගේ උණුසුම් අත තබා මඳ වේලාවක් නතරවී, ඔවුන්ගේ දෑස් පිසිමින් නුහුරු ලෙස පිටවී ගියහ.

ජෝන් මහත්මිය මුණ ගැසීමේ අපේ වාරය පැමිණියේ ය. මම ඇයට මා හඳුන්වා දුන් අතර, පැරණි සිදුවීම සහ ඇගේ සැමියාගේ ජිල්බෝල වෙනුවෙන් කළ බඩු හුවමාරුව මට විස්තර කළ ආකාරය ඇයට ආවර්ජනය කර දුනිමි. ඇගේ දිලිසෙන ඇස් සමඟින් මගේ අත ගත් ජෝන් මහත්මිය මා මිනී පෙට්ටිය වෙත කැඳවාගෙන ගියාය.

“අර මෙතනින් පිටවෙලා ගිය තරුණයන් තුන්දෙනා ගැනයි මම ඔබට කිවුවේ. ඔවුන් දැන් මට කිවුවේ ජෝන් ඔවුන් එක්ක ගනුදෙනු කළ දේවල් ඔවුන් මොන තරම් අගය කරනවා ද කියලයි. අවසානයේ ජෝන්ට පාට ගැනවත්, තරම ගැනවත් එයාගේ හිත වෙනස්කරගන්න බැරි උනාම, ඔවුන් ඔවුන්ගේ යුතුකම් ඉටුකරන්නට පැමිණියා. අපි කවමදාවත් මේ ලෝකයේ තියෙන ධනවත්කමත් එක්ක කිසිම උදාර ගනුදෙනුවක් කර නැහැ. ඒත් දැන්, මේ ගමේ ඉන්න පොහොසත්ම මනුස්සය හැටියට ජෝන්ව සලකන්න පුලුවන්”. ඇය විස්වාසයෙන් කියා සිටියාය.

ඇගේ මිය ගිය සැමියාගේ ජීවයක් නැති ඇඟිලි ඇය ඉතාමත් ආදරණීය මෘදු බවකින් එසෙවුවාය.
ඒ ඇඟිලි යට දිලිසෙන රතු පැහැති ජිල්බෝල තුනක් සැතපෙමින් තිබිණි.


පරිවර්තනය – ජීවන්ති කෝසලා

Comments are closed.