වඩා යහපත් ලොවක් ගැන නිමා නොවෙනා සිහිනය – Zootopia


ඩිස්නි චිත්‍රපට සමාගම විසින් සිය 55 වැනි ත්‍රිමාණ සජීවිකරණ නිර්මාණය ලෙස Zootopia සිනමාපටය ලොව පුරා අාදායම් වාර්තා තබමින් තිරගත විය. ත්‍රිමාණ සජීවිකරණ නිර්මාණ විෂයෙහි අතිදැවැන්ත සංවර්ධනයක් සිදුව ඇති බව මේ සිනමාපටය නැරඹීමෙන් තහවුරු කර ගත හැකි ය. ත්‍රිමාණ තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද චරිතයන්හි සාත්වික අභිනයන් අතිශය දියුණු සහ ළගන්නාසුළු ය.

Zootopiaහි කතා තේමාව දිව යන්නේ පරමත්වයට නැංවුණු නගරයක දිවි ගෙවන සතුන්ගේ ජීවනය පිළිබඳව ය. ග්‍රීක යුටෝපියාම ය අරුතින් ම එහි පැතුම ද නිදහස් පරමෝත්තම රාජ්‍යයකි. මෙම සිනමාපටයට අනුව මෙහි වෙසෙන්නේ විවිධ සතුන් ය. නගරාධිපතිවරයා සිංහයෙකි. උපනගරාධිපතිනිය බැටළු දෙනකි. ආදී වශයෙන් අසමානතාවන් සහිතවුන් සමාන තත්වයන් සහිතව දිවි ගෙවති. කෙසේ නමුත් ජූඩි නම් සාවිය ප්‍රත්‍යන්ත ජනපදයකින් Zootopiaවට පැමිණෙන්නී එහි ප්‍රථම පොලිස් නිලධාරිනිය ලෙස පත්වෙමිනි. (පරමත්වයට නැංවුව ද එහි ඇති අසමානතාව ඇය එම තනතුරට පත්වීමට ගන්නා වෑයමෙන් පෙන්වාදෙයි) ඇය එම තනතුර ලබා ගන්නේ මහත් කැපකිරීම් කරමින් සිය සිහිනය සැබෑ කරගනිමිනි. හදිසියේ මේ සුන්දර නගරයට ඇතිවන සතුන් නැවත තිරිසනුන් බවට පත් වීමේ ගැටලුවකින් නගරයේ සාමය අභියෝගයට ලක් වෙයි. එයට මුහුණ දී ජයගන්නට ජූඩිත් ඇගේ සහයට කැඳවා ගන්නා නික් නම් නරියා ගන්නා වෑයමත් සිනමාපටයේ ප්‍රධාන දෘශ්‍යමාන ගැටුමයි.

කෙසේ වෙතත්, සිනමාපටය හරහා කුළුගැන්වෙන යටි අරුත් රාශියක් අතර වඩා යහපත් ලොවක් නිර්මාණය කර ගැනීම පිළිබඳ සිහිනමය තේමාව වැදගත් තැනක් ගනියි. ලෝක ධනවාදයේ උත්තුංග මූලස්ථානය ලෙස සැලකිය හැකි නිව්යෝක් නම් පුරවරය සිහිනමය ලෙසින් Zootopiaව ලෙස හැඩ ගන්වා ඇතැයි පෙනේ. සැබෑ නිව්යෝකයට වඩා Zootopiaව අතිශය සිත් ඇදගන්නා සුළු ය. ඇමරිකන් ධනේශ්වරයේ සිහිනය එහි කුළුගැන්වී තිබේ. එය බලන බලන ඇස නංවන්නේ එවන් නගරයක ජීවිතයක් පිළිබඳ ආශාව ය.

ඇමරිකානු ඉතිහාසය යනුම වෙනස් අන්දමින් සැලකීම පිළිබඳ ඉතිහාසයකි. බ්‍රිතාන්‍යයෙන් පැමිණියේ වුව ද ඇමරිකානුවන්ට බ්‍රිතාන්‍යයෙන් නිදහස දිනාගැනීමට සිදුවූයේ මහත් සටනකින් පසුව ය. බ්‍රිතාන්‍යයෝ තමන්ගේ ම වැසියන්ට සැලකුවේ වෙනස් අන්දමිනි. මහත් වැර වෑයමින් තුරන් කරන ලද වහල්බවේ ඉතිහාසය ද තවත් නිර්ලජ්ජිත ඉතිහාසයකි. වර්ණභේදවාදීබව විසින් අතිශය පහත් ඉතිහාස සටහන් ද ඔවුනට ඉතිරිකර දී තිබේ. නැවත ට්‍රම්ෆ්ගේ ආගමනයට පසුවත් හිස ඔසවමින් තිබෙන්නේ එවන් තත්වයකි.

සිනමාපටයට අනුව විලෝපිකයන් විෂ ද්‍රාවණයකින් ශිෂ්ටත්වයේ සිට අශිෂ්ටත්වයට හෙවත් තිරශ්චීනභාවයට ඇද දමයි. එයින් පරමත්වයේ සත්ව රාජ්‍යය වන Zootopiaව අර්බුදයට යන අතර ජූඩි සිය විලෝපික මිතුරු නරියා සමඟ නීතියේ ආධිපතිත්වය තහවුරු කරමින් සුනම්‍ය Zootopiaව නැවත ස්ථාපිත කරයි. අතිශය නිර්මාණශීලිව වුව ද සිනමාපටයේ යටිපෙළ විසින් යෝජනා කරනු ලබන්නේ උවදුර නීතියේ ආධිපතිත්වය තහවුරු කරමින් මැඩලිය හැකි බව යි.

එසේ වුවත්, සත්‍ය නිව්යෝක් නම් පුරවරයේ අතිශය පහත් වර්ණභේදවාදය නැවත මතුවෙමින් තිබේ. නීතිය රකින්නට සිටින සුදු ජාතික පොලිස් නිලධාරින් වෙඩි තබා කල්ලන් ඝාතනය කරති. අනෙක් පසෙන් අයි.එස්.අයි.එස් ත්‍රස්තයන්ගේ බිය නිව්යෝකය වෙළාගෙන තිබේ. Zootopiaවේ ප්‍රශ්නය විසඳන තරම් ලෙහෙසියට නීතියේ ආධිපතිත්වය තහවුරු කළ හැකි ද?

අසමාන ආකාරයට නොසලකන බවක් සිනමාපටය ගම්‍ය කළ ද කෙරෙන්නේ ම අසමාන ආකාරයට සැලකීම යි. මනුෂ්‍ය වර්ගයා සමාන තත්වයේ ලා සලකන ඇත්ත සමානාත්මතාවය රජයන ලොවක් නිර්මාණය කෙරෙන තුරු උටෝපියාවන් පිළිබඳ සංකල්ප ලොව රජ කරනු ඇති. එසේ ම වඩා යහපත් ලොවක් නිර්මාණය කිරීම පිළිබඳ සිහිනය එන්නේ ම තිබෙන ලෝකය අයහපත් තැනක් නිසාවෙනි. වඩා යහපත් ලොවක් නිර්මාණය කරගන්නා තෙක් ම ඒ සිහිනමය පාඨය ද ලොව රජයනු ඇති.


සඳුන් ප්‍රියංකර විතානගේ

Comments are closed.